අපේ පාරම්පරික ආහාරයේ සම්භවය


වත්මන් කෘෂි රසායනික ගොවිතැන හා වත්මන් බීජ නිසා බිඳ වැටුණු ආහාර රටාව හමුවේ සමස්ත සමාජයේ ම සෞඛ්‍ය මෙන් ම ආර්ථිකය ද බිඳ වැටීමට මඟ පාදන අයුරු covid-19 වසංගතය හමුවේ අපට මොනවට පැහැදිලි වේ. එය අපගේ කායික හා මානසික සුවය විනාස කරනවා පමණක් නොව සමාජීය යහපැවැත්ම මෙන් ම ආධ්‍යාත්මික සෞඛ්‍යය ද විනාශ මුඛයට ම ඇදහෙළන බව අපට වැටහේ.


ආහාර සුරක්ෂිතභාවය ළඟා කර ගත්තා යැයි කියන, තාක්ෂණයේ හිනිපෙත්තට ම ගිය, ඉතා දියුණු සෞඛ්‍ය පද්ධතියක් ඇතැයි කියන ඇමෙරිකාව වත්මන් Covid-19 වසංගතය හමුවේ අසරණ වී ඇති අයුරු අපට පෙනේ. කෙසේ නමුත් වත්මන් සෞඛ්‍යයේ ඉහළ ම තැන නියෝජනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් “ආධ්‍යාත්මික සෞඛ්‍ය” තම සෞඛ්‍ය පිළිබඳ නිර්වචනය තුළට ඇතුළත් කොට නැත. පියවි ඇසට නො පෙනෙන ක්ෂුද්‍ර ජීවියා ගේ පටන් ගැඩවිල් පණුවන් හා කෘමීන් දක්වා මහත් වූ ප්‍රාණ සංහාරයක් සිදු කරන වත්මන් ගොවිතැන හමුවේ මනුෂ්‍ය ජීවිත ද එයට බිලිවෙන මේ යුගයේ ගොවිතැන හා ආධ්‍යාත්මය ගැන කතා කිරීම උචිත යයි සිතමු. රටක අධ්‍යාත්මය හා අප මේ දක්වා කතා බහ කළ ආහාර නිෂ්පාදන රටාව අතර සම්බන්ධතාවක් තිබෙනවා ද? තිබෙනවා නම් එය කෙබඳු ද ?


ගොවිතැන හා ආධ්‍යාත්මය


අපේ ඉතිහාසය දෙසට මඳක් හැරී බැලු‍වොත් උක්ත කාරණය ගැන අපට යම් අවබෝධයක් ලබාගත හැකි වේ. “ගමයි-පන්සලයි, වැවයි-දාගැබයි” කියූ පමණින් එය අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ පදනම බව අප කවුරුත් දනී. එහි සැබෑ අරුත කුමක් ද  යයි කියා කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද ? මනුෂ්‍යයින් ඇතුළු සත්ව ප්‍රජාවකින් හා කෙත් වතු සමුදායකින් සැදුම් ලත් ගමත්, පැවිදි උතුමන් වහන්සේ වැඩ සිටින පන්සලත්, අද්විතීය නිර්මාණ යුගලයක් වූ වැව හා දාගැබ සමඟ ඇති සුවිශේෂී සබැඳියාව පිළිබඳ ව අපට ඇත්තේ දැනීමකට වඩා නො දැනීමකි. මේ බව අපට වැටහුණේ හෙළ සුවය නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් රචිත “හෙළ කෘෂි ඉතිහාසය” නම් වූ කෘතිය කිය වූ පසුවයි. එහි වූ දැනුමෙන් බිඳක් හෝ අපට වැටහෙන ආකාරයෙන් විග්‍රහයකට ලක් කොට ඔබ වෙත ලියන්නේ මෙය කියවන පාඨක ඔබේ ප්‍රඥාව ඉස්මතු කරලීමේ පරම අධිෂ්ඨානයෙනි.


බුද්ධ අධිෂ්ඨානයෙන් බිහි වූ අපගේ පාරම්පරික ආහාර රටාව


බුදුරජාණන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයට පහළ වෙන්නේ උන් වහන්සේගෙන් ධර්මය අසා නිර්වාණාවබෝධය ලබාගැනීමට හැකි වෙන මට්ටමට තම ලෝභ, ද්වේශ, මෝහ අඩු කරමින් පාරමී ධර්මතා සම්පූර්ණ කළ පිරිසක් එහි සිටින අවධියක ය. මෙම පිරිසේ කුසල ශක්තියට හා පාරමී ශක්තියට ගැළපෙන පාරිසරික වටපිටාවක් ද මේ කාලය තුළ එම දීපයේ ඇති වෙන්නේත් එම බුදුරජාණන් වහන්සේ ගේ මෛත්‍රී පාරමිතාව ප්‍රමුඛ පාරමී ශක්තියේ ආනුභාවයට ය. එම පාරිසරික අංග අතරින් ආහාර බෝගවලට හිමි වෙන්නේ ප්‍රධාන තැනකි. ඒ අනුව, බෝධිසත්වයන් වහන්සේ තම බුදු පිරිස පමණක් නොව එම පිරිස සඳහා අවශ්‍ය වෙන ආහාර බෝග ඇතුළු සමස්ත පරිසරය ම තම දිවැසට ගෝචර කොට ගෙන කාලය, දීපය, දේශය.... වශයෙන් “පස් මහ බැලු‍ම් බලා ” අධිෂ්ඨාන පෙරදැරි ව වඩිති.


දිව්‍ය-මනුෂ්‍ය සබැඳියාවෙන් මනු ලොවට පිදෙන අපගේ පාරම්පරික ආහාරය


තව ද, එම බුද්ධ අධිෂ්ඨානය සමඟ බද්ධවෙන්නා වූ දිව්‍ය, නාග, බ්‍රහ්ම සමූහයා ද තම පාරමී දම් පුරාගැනීම උදෙසා අදිටන් තබමින් එම ආහාර හා ඒවා වගා කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණය මනු ලොවට ලබා දෙති. එදා දස මරුන් පරදවා බුද්ධ රාජ්‍යයට පත් වන ඒ අතිදුෂ්කර රාත්‍රියේ ගෞතම බෝධිසත්වයින් වහන්සේගේ කායික මානසික ඒකාග්‍රතාව රැක ගැනීමට හැකි වේවායි අධිෂ්ඨාන තබා සුජාතා උපාසිකාව තමා විසින් ම සකස් කොට පෙර දා උන්වහන්සේට පූජා කළ ඒ උත්කෘෂ්ට වූ කිරි පිඬු දානය බිහිවූයේ මේ අයුරිනි. මේ අයුරින් තම සිතේ උපේක්ෂාව භවයෙන් භවය ප්‍රගුණ කරමින් භව සසරේ පිරූ අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රතිඵලයක් ලෙස බවුන් වඩන උත්තමයින්ට පූජා කළ විට එම අහරින් කෙලෙස් සංසිඳුවන උත්තමයින්ට ලැබෙන්නේ සුවිශාල පිටුවහලකි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ශාසනය පවතින කාලය පුරාවට ම එම මාහැඟි දිව්‍ය-නාග-බ්‍රහ්ම-මනුෂ්‍ය සබැඳියාව පවත්වා ගනිමින් ඒ තාක්ෂණික දායාදය මනු ලොවට ලබා දීමට එම පිරිස ඇප කැප වෙමින් වෙහෙසෙන වන බව සඳහන් ය.


ආහාරය පමණක් නොව මේ අනුව බලන විට හෙළ වෙදකම ද ඒ අයුරින් ම ලොව පහළ වන්නේ යැයි සිතීම ප්‍රඥාගෝචර බව අපගේ හැඟීමයි. අතීත අප රජ දරුවන් සර්වඥ ධාතූන් වහන්සේ නිදන් කළ මහා දාගැබ් පොළොව මත ඉදිකළේ මේ දියුණු ලෝකවාසීන්ගේ සම්බන්ධතාව පොළොව වෙත ලබාගැනීමටය. බුදුන්වහන්සේ පරිනිර්වාණයට පත් වූවත් ශාසනයේ ඉතිරි කාලය තුළ ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සර්වඥ ධාතූන් වහන්සේ තුළ ගැබ් වූ උන්වහන්සේ ගේ පාරමී ශක්තිය හරහා දිව්‍ය-නාග-බ්‍රහ්ම ලෝකවාසීන්ට මෙම පොළොවට සම්බන්ධ වීමේ හැකියාව පවතී. කෙසේ නමුත් මේ සබැඳියාව මල් පල දැරීමට නම් රජ දරුවන් ගේ පටන් සමස්ත සමාජය ම ධාර්මික විය යුතු වේ.


නටබුන් කියා පාන හෙළ කෘෂි ඉතිහාසය


අද අපි නටබුන් ඔස්සේ දකින වැවත්-දාගැබත් එම වැව් දාගැබ් අබියස පිහිටා ඇති නාග පෙන සහිත ශෛලමය සලකුණත් මුරගලත් අතර සබැඳියාව ඔබට වැටහෙනවා ද ? ඉතිහාස විෂය ධාරාව තුළ හෝ පුරා විද්‍යාව විෂය පථය තුළ මේ පිළිබඳ ව අපට උගන්වනවා ද? නාග පෙන 05ක් සහිත මෙම නාග සලකුණ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංකේතයයි. නමුත්, එහි ගැඹුරු අරුත ඔවුන්වත් නො දන්නා බව අපට පසක් වී ඇත. “හෙළ සුවය” දැනුමට අනුව මේ වාරි තාක්ෂණය හෝ දාගැබ්, වෙහෙර විහාර සෑදීමේ දී එවකට ක්‍රියාත්මක වූ ශිල්පීය ඥානය ලබා දෙමින් ඒවා ආරක්ෂා කිරීමට තම දායකත්වය ලබාදෙන ලෝකයක් වෙන්නේ “නාග ලෝකයයි”. දිව්‍ය ලෝකය හා සමාන එම ලෝ වැසියන් වරක නාග රුවකුත් වරක මනුෂ්‍ය රූපයක් හා සමාන කයකුත් ඇති කර ගනී. ඒ බව මේ රූප දෙකෙන් ඔබට වැටහෙනු ඇති. කුසල් දහම් සම්පාදනය කරමින් සිදු කරන කටයුත්තක දී අවසානයේ “දේවා නාගා මහිද්ධිකා” ... යනුවෙන් දෙවිදේවතාවන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ පුරුද්දක් අපට ලැබී තිබෙන්නේ කුමක් නිසා ද ? අපගේ කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය ජල සම්පත ලබාදෙන වාරි කර්මාන්ත හා අධ්‍යාත්මය රැකදෙන වෙහෙර විහාර ආරක්ෂා කර දීම වෙනුවෙන් එම නාගලෝකවලට පින්පෙත් පැමිණවීම අප සතු පරම යුතුකමකි.


බුද්ධ භෝග යනු මොනවා ද?


ගැමි වහර තුළ “බුද්ධ බෝග” යනුවෙන් හැඳින්වෙන ආහාර වර්ග ගැන කතා බහට ලක් වේ. ඉහත සඳහන් “ හෙළ කෘෂි ඉතිහාසය” ග්‍රන්ථය තුළ මෙම “බුද්ධ බෝග” සංකල්පය විස්තර කරන අයුරු අපි ඔබ වෙත ගෙන එන්නෙමු. ඉහත පරිච්ඡේදය තුළ සඳහන් ආකාරයට බුදුවරයින් වහන්සේ නමක ගේ පාරමී ශක්තියට හා උන් වහන්සේ සමඟ පාරමී දම් පිරුවා වූ උතුම් පිරිසේ පාරමී ශක්තියට හා කුසල් ශක්තියට එම පරිසරය තුළ පහළ වන්නා වූ බෝග සම්පත් “බුද්ධ බෝග” ලෙස හැඳින්විය හැක. “බුද්ධ බෝග” වල විශේෂත්වය වෙන්නේ එම බෝග සමුදාය විවිධත්වය අතින් ඉහළවීම ය. වසරේ විවිධ කාලයන්ට, එනම් උෂ්ණ හා සීතල හා ඒ අතරමැද යනුවෙන් විවිධ දේශගුණික තත්ත්වයන් සහිත කාල (සෘතු) වල එම කුසල් සහිත මනුෂ්‍ය රූපවල කායික මානසික සමතුලිතතාව නො බිඳී, නිරෝගී කයක් පවත්වාගත යුතු වේ. කෙලෙස් තවමින් පාරමී දම් පුරමින් බවුන් වැඩිය යුතු වේ. එසේ නැතහොත් ශරීරය තේජෝ ධාතුව මුල් කර ගත් රෝගාබාධයන්ට ලක් වී කායික පීඩා ගෙනදෙමින් සිත් තුළ ද්වේශ සහගත සිතුවිලි ඇති වීමට පටන් ගනී. එය නිර්වාණ මාර්ගය අවහිර කිරීම සඳහා ද හේතුවන්නෙකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වශයෙන් සතර බ්‍රහ්ම විහරණය තුළ ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාවේ චිත්ත සන්තාන තුළ එම උපේක්ෂා ගුණය වැඩි දියුණු කරවන ආකාරයට සිතත් කයත් නිරෝගී වන අයුරින් එම බුද්ධ භෝග පෝෂණයෙන් සම බල වෙන ආකාරයට සකස් වී ඇත. පාරම්පරික සහල් හා ධාන්‍ය වර්ග මෙම ගණයට අයත් වෙයි. සෑම බුද්ධෝත්පාද කාලයක ම මෙවැනි ආහාර ජනිත වනු ඇති බව අපගේ අවබෝධයයි.


ආහාරය හා ආධ්‍යාත්මය පිළිබඳ අන්තර්ජාතික දත්ත


ඉන්දියාවේ ක්‍රි.පූ. 5000 ක් දක්වා වූ ඈතට විහිදෙන උපනිෂද් යුගය (Dietary advice in ancient Ayurveda (Maha- Anaarany Upanishad, 5000 BCE) තුළ භාවිතා වූ ආහාර පිළිබඳ උපදෙස් මාලාවන් තුළ ආහාරයේ ස්වභාවය අනුව කායික, මානසික හා අධ්‍යාත්මික වශයෙන් ඇති වෙන්නා වූ වෙනස්කම් පිළිබද ව වර්ගීකරණයක් සඳහන් වේ. මා හට මේ පිළිබඳ ව දැනගැනීමට ලැබුණේ බටහිර විද්‍යාත්මක   පර්​ෙ‌ය්ෂණ පත්‍රිකා කියවන අතරතුර දීය. බටහිර පෝෂණවේදීන් මෙම ආසියානු දැනුම් පද්ධතිය පිළිබඳ ව ඉතාමත් සෙවිල්ලෙන් පසුවෙන බවට මෙය හොඳ නිදසුනකි.


කායික, මානසික හා අධ්‍යාත්මික සුවය ගෙන දෙන ආහාරය


මෙහි දී “සාත්ව” නමින් හඳුන්වන ආහාරය මනුෂ්‍යයාට සුදුසුම ආහාරය බවත් ඒ තුළින් ශාරීරික, මානසික හා අධ්‍යාත්මික සුවය ගෙන දෙන අතර, ආයුෂය අවුරුදු 100-150 දක්වා වැඩිවෙන නිරෝගී සම්පත්තිය ගෙන දෙන ආහාරයක් බවත් සඳහන් ය. එම ආහාර වර්ග අලු‍ත් පලතුරු (හා යුෂ වර්ග), එළවළු, පැළවීමේ ශක්තිය ඇති පූර්ණ ධාන්‍ය, ඇට වර්ග, අල වර්ග, පැණි, එළකිරි, මුදවාපු කිරි, ඖෂධීය පාන වර්ග මෙම ආහාර ගණයට අයත් වෙන බවත් එම ලිපිවල සඳහන් ය. හෙළ සුවය දැනුමට අනුව ආධ්‍යාත්මික න්‍යාය ධර්මතාවයන් අනුව සෘෂිවරුන්ගේ ප්‍රඥාවට හසුවන ආකාරයට කායික මානසික සමතුලිතතාව ඇති කිරීම සඳහා සුදුසු ම ආහාරය එයයි.


කායික, මානසික හා අධ්‍යාත්මික පරිහානිය ගෙන දෙන ආහාරය


“තමස්” නමින් හඳුන්වන මෙම ආහාරය මනුෂ්‍යයාට නුසුදුසුම ආහාරය බව විස්තර කරයි. එම ආහාර පරිභෝජනය තුළින් තරහ, මානසික ආතතිය හා සාපරාධී මානසික තත්ත්වයන් ඇති කරන අතර එය ආයුෂය පිරිහෙන, ආධ්‍යාත්මික පරිහානිය ඇති කරන ආහාරයකි. මේද අධික, බඳින ලද, ටින් කරන ලද (Baked food), අධික ශීත කරන ලද ආහාර (Frozen food), කෘත්‍රීමව සකස් කරන ලද ආහාර (Artificially Processed/ Junk food), සීනි, ලු‍නු හා මිරිස් අධික ආහාර හා සියලු මස් වර්ග (All meat) විශේෂයෙන් ම මස් පිණිස ඇති කරන සතුන්ගේ මස් මෙම ආහාර ගණයට අයත් වන බව එහි සඳහන් වේ.


මේ අනුව, “හෙළ කෘෂි ඉතිහාසය” ග්‍රන්ථය තුළින් ලත් දැනුමෙන් අප පාරම්පරික ආහාරයේ සම්භවය ගැනත්, බුදුන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ගේ හා උන්වහන්සේලා පසුපස ගමන් කරන උත්තමයන් හේ කුසල් ශක්තියට හා පාරමී ශක්තියට එම බුද්ධ භෝග ඇති වෙන බවත් දිව්‍ය-නාග-බ්‍රහ්ම ලෝකවාසීන් තම පාරමී දම් පුරාගැනීමේ අදිටනින් මෙම ආහාර බෝග මනු ලොවට තිළිණ කරන බවත් අපි සාකච්ඡා කළෙමු. ආහාරයේ අධ්‍යාත්මික බලපෑම පිළිබඳ ව ප්‍රකාශ වී ඇති දත්ත සමහරක් ද අපි කතා කළෙමු.

 

 

වෛද්‍ය කුමුදු දහනායක (MBBS, DLM, MD)