සයිටම් - ස්ලිට් එකතු කරයි


(අජන්ත කුමාර අගලකඩ)  
සයිටම් ආයතනය මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (ස්ලිට් SLIIT) පැවැරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


ඒ අනුව සයිටම් ආයතනය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරිත්වයෙන් ඉවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.  

සයිටම් ආයතනයට එරෙහිව එල්ලවී ඇති විරෝධය හමුවේ එය දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරිත්වයෙන් ඉවත් කර රජයේම ආයතනයක් යටතට පත් කිරීම වඩාත් ප්‍රායෝගික බවට රජයේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති බව දැන ගන්නට තිබේ. සයිටම් ආයතනය පිළිබඳ රජයේ විසඳුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.   


මහපොළ භාරකාර අරමුදල යටතේ 1999 වසරේදී පිහිටුවන ලද මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකයෙකි.  


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය යටතේ එහි උපාධි පිරිනැමෙන අතර ව්‍යාපාර පරිපාලනය, පරිගණක සහ ඉංජිනේරු වශයෙන් පීඨ තුනකින් සමන්විත වේ.  


සයිටම් ආයතනය මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට පැවැරීමෙන් පසුව එහි වෛද්‍ය පීඨය වශයෙන් එය පවත්වාගෙන යාමට යෝජනා වී ඇත.  


සයිටම් අර්බුදයට ස්ථිර විසඳුමක් නොදෙන්නේ නම් සයිටම් විරෝධී දෙමාපිය සංගමය අද (29) දිනයේ උද්ඝෝෂණයක් පැවැත්වීමටත් ලබන 6 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටත් සූදානම් වන බව වාර්තාවේ.