ශ්‍රීලංකන් ගොඩගන්න කෝටි 1320ක ණයක්


 

(අජන්ත කුමාර අගලකඩ)  
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබෙන ශ්‍රීලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා තවත් රුපියල් කෝටි 1,320ක පමණ ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 675ක පමණ මුදලක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 645ක පමණ මුදලක් ද වශයෙන් මෙම ණය මුදල ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග කියයි.  

ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර ගණනාවක් තිස්සේ දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන අතර වසරකට එහි පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 2600ක් පමණ වන බවද වාර්තාවේ.  


මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ණය මුදලක් ලබාගත යුතු බවට වන යෝජනාවක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.  


ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාව සැළකිල්ලට ගෙන අදාළ ණය මුදල ලබාදීමට අනුමැතිය ලබාදුන් බව දැන ගන්නට තිබේ.