වරාය නගර පනත අගමැති අතට ගනී


ඇමැතිවරැන් සමග හසි සාකඡාවක්

(අජන්ත කුමාර අගලකඩ)  

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ සති අන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 

 
අලුත් අවුරුද්දෙන් පසුව නුවරඑළියට ගොස් සිටින අගමැතිවරයා සති අන්තයේ කොළඹට පැමිණීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි එම ආරංචිමාර්ග කියයි. 

මේ අතර අගමැතිවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර හෙට (19) පැවැත්වෙන හමුවේ දී ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.   


අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව කැබිනට් මණ්ඩලය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස රැස්වන අතර එහි දී ද වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.  කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 20 ක් පෙරේද‌ා (16) වනවිට ඉදිරිපත් වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දක්වමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.  
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතරමැදි පෙත්සම ඉදිරිපත් කරන අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණි මාරපන සහ නවින් මාරපන යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැයි වාර්තාවේ. 

 
මේ අතර මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැයි වාර්තාවේ.  


කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත දේශපාලන කරළියෙ මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අතර ආණ්ඩු පක්ෂයෙම මන්ත්‍රීවරයකු වන ජනාධිපති නීතිඥ විජයද‌ාස රාජපක්ෂ මහතා සහ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පසුගිය සතියෙ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එම පනත් කෙටුම්පත දැඩිව විවේචනය කළහ.