රජය දැඩි මූල්‍ය අර්බුදයක


කෝටි දහස් ගණනක හිඟ මුදල්  ගෙවන්න වෙලා

 

(අජන්ත කුමාර අගලකඩ)   

ඉකුත් වසර කීපයේදී නොගෙවූ බිල්පත් ඇතුළුව රුපියල් කෝටි දහස් ගණනක හිඟ මුදල් ගෙවන්නට සිදුවීම හේතුවෙන් රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි වාර්තාවේ.   
සැපයුම්කරුවන් රාජ්‍ය බැංකු ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වවලට රජය ගෙවන්නට ඇති හිඟ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 52,400කට වඩා වැඩි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් බදාදා (05) පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කළේය.   

ඉකුත් වසර කීපයේදී රජයේ සේවාවන් සහ සංවර්ධන කාර්යයන් සඳහා දරන ලද වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 15600 ක පමණ බිල්පත් මහා භාණ්ඩාගාරයේ ගොඩ ගැසී ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයටද පසුගිය සතියේ දැනුම්දී තිබුණි. මීට අමතරව විදේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 21,100ක පමණ මුදල්ද ඇතුළු රුපියල් කෝටි 36,700ක පමණ වගකීම් නිරවුල් කිරීම සඳහා තවත් රුපියල් කෝටි 36,700ක මුදලක් ණයට ගැනීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද රජය තීරණය කර තිබේ.   


පොහොර සහනාධාරය සහ රජයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාරය සඳහා රුපියල් කෝටි 10,100ක පමණ මුදලක්ද සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 5,500ක පමණ මුදලක්ද හිඟ මුදල් වශයෙන් රජය විසින් ගෙවිය යුතුව ඇත.   


රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 2,567ක පමණ මුදලක්ද ත්‍රිවිධ හමුදාවල සේවාවන් හා භාණ්ඩාගාරයෙන් යැපෙන රාජ්‍ය ආයතන වෙනුවෙන් රුපියල් කෝටි 549ක්ද මහාමාර්ග ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් කෝටි 1,844ක්ද පාසල් සංවර්ධනය කටයුතු වෙනුවෙන් ඉදිකිරීම්කරුවන් සඳහා රුපියල් කෝටි 282ක්ද වශයෙන් රුපියල් කෝටි ගණනක හිඟ මුදල් ගෙවන්නට රජයට සිදුව ඇත.   


මෙම හිඟ බිල්පත් ගෙවීම සඳහා රුපියල් කෝටි ගණනක වැය බරක් දරන්නට රජයට සිදුවීමත් ගිය වසරේ රජයේ අපේක්ෂිත ආදායම් ප්‍රමාණය රුපියල් කෝටි 60,000කින් පමණ අඩුවීමක් මත රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත.