මෛත්‍රී නීති මගට


(අජන්ත කුමාර අගලකඩ)   

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.   


හිටපු ජනාධිපතිවරයා ඉකුත් දින කිහිප​යේ ද නීතිඥයන් පිරිසක් හමුවී මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.   


පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.   

හිටපු ජනාධිපතිවයා 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ පසුව සිංගප්පූරුවට ගිය අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යධුරය සඳහා කිසිදු වැඩ බලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් සහරාන්ගේ අයිඑස් තර්ජනයට චේතනාන්විතවම මග පෑදූ බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවත් කොමිෂන් සභාව සිය වාරතාවෙන් පෙන්වා දී ඇත.  මෙම ක්‍රියා හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සාපරාධි වගකීමක් ඇති බව කොමිෂන් සභාවේ අදහස යැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.   


මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය වගකිව යුතු යැයි ද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.  මේ අතර පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාටද ඉකුත්දා බාරදෙනු ලැබීය.  පාස්කු කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ඉකුත් දා ප්‍රතිකේෂ්ප කරනු ලැබීය.