මැතිවරණ සටන ඇරඹෙයි සජිත් කොළඹින් ගෝඨා අනුරපුරෙන් විග්නේෂ්වරනුත් උතුරෙන් එයි


(අජන්ත කුමාර අගලකඩ)   

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පොදු ජන පෙරමුණේ ​අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙන් ද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹින් ද ඡන්ද සටන ආරම්භ කිරීමට තීරණය කර ඇත.   

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජනරැළිය ලබන 9 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ද සජිත් ප්‍රේමදාස මහතාගේ පළමු ජන රැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ දී ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.   


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන රැළියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ඔහුට සහාය දෙන සෙසු පක්ෂවල නායකයන් ද සහභාගි වන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයන් ද සහභාගිවනු ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය උපන්ගම වන අනුරාධපුර, තඹුත්තේගමින් ලබන 8 වැනිදා සිය මැතිවරණ සටන ආරම්භ කිරීමට නියමිතය.   


මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 20 ක් පමණ ඉදිරිපත් වීමට නියමිතව ඇති අතර ඉන් අට දෙනකු ඉකුත් සිකුරාදා වනවිට ඇප මුදල් තැන්පත් කර තිබුණි.   


මේ අතර හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක, ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත, උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.   


හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවිද යන්න පිළිබඳව අද (29) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි දැන ගන්නට ඇත.