බැඳුම්කර වංචනිකයන්ට මහාධිකරණයේ නඩු


(මනෝප්‍රිය ගුණසේකර)   
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් එයට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගනිමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

කොමිෂන් සභා පනත මගින් නීතිපතිවරයාට ලැබී ඇති බලය අනුව රජයට පාඩු සිදුකරමින් සිදුවී ඇති මෙම මුල්‍ය අපරාධයට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව ඍජුවම මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගනිමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.   
ඒ සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියේදී මුල්‍ය අපරාධයක් සිදුවී ඇද්දැයි නිශ්චිතවම හෙළි කර ගැනීම සඳහා රහස් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.   


මේ සම්බන්ධයෙන් නීති විශාරදයන්ගෙන් කළ විමසීමකදී කොමිෂන් සභා පනතට අනුව කොමිෂන් සභාවක් හමුවේ කරන විමර්ශනයකදී හෙළි වන යම් අපරාධමය කරුණු සම්බන්ධයෙන් එයට වගකිවයුත්තන්ට එරෙහිව ඍජුවම මහාධිකරණයේ නඩු පැවරීමට කොමිෂන් සභා පනත මගින් නීතිපතිවරයාට බලය පවරා ඇති බව ඔව්හු පෙන්වා දෙති.   


භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියේදී මූල්‍ය අපරාධයක් සිදුවී ඇත්නම් එම අපරාධකරුවන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයාට බලය ඇති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.   


වත්මන් රජය යටතේ 2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරන ලදී.  


ඒ අනුව එහි කොමසාරිස්වරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති), ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සාක්කි විභාග කරන ලදී.  
කොමිසමේ සාක්කි දුන් විවිධ පුද්ගලයෝ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සිදුවූ 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට පෙර හා පසුව සිදුවූ සිද්ධීන් පිළිබඳවද කොමිසම හමුවේ තොරතුරු හෙළි කරමින් එම සිද්ධීන් දීර්ඝ වශයෙන් හෙළි කළහ.  


එලෙස හෙළිවූ තොරතුරු පදනම් කරගනිමින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් එයට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.