පළාත් සභා තුනේ ඡන්දය ස්ථිරයි


(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් සභා ඡන්ද කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් විරෝධය පළකර ඇති බැවින්, ලබන මස අගදී නිල කාලය අවසන්වීමට නියමිත සබරගමුව උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ ඡන්ද නිසි පරිදි මේ වසරේ පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


සියලු පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා ඉකුත්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට ඇමැති මණ්ඩල අනුමැතිය ද ලැබුණ අතර මේ වසරේ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභාවල ඡන්දය කල්දැමීමට එමඟින් යෝජනා කර තිබිණි.  

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රි පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පළාත් සභා මැතිවරණ කල්දැමීමට ශ්‍රීලනිපයෙ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකු විරෝධය පළකර ඇත.  
සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් එහිදී අදහස් දක්වමින් පළාත් සභා ඡන්ද කල්දැමීම ආණ්ඩුවට කළු ලපයක් ඇති කරන්නක් බව පවසා ඇතැයි වාර්තා වේ.  


සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනකදී පැවැත්වීම සහ පළාත් සභා ඡන්දය හා මහ මැතිවරණය පළාත් පාලන ඡන්දය මෙන් කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීම සුදුසු නමුත් මේ වසරේ නිල කාලය අවසන් වන පළාත් සභාවල ඡන්දය ද 2019 වසර තෙක් හෝ දීර්ඝ කාලයක් කල්දැමීම නුසුදුසු බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්නට තිබේ.  


එබැවින් පළාත් සභා ඡන්ද කල් නොදමා නියමිත කාලයේ පැවැත්වීම සුදුසු බව එම ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට එකඟතාව පළකර ඇතැයි වාර්තා වේ.