පහට - හයට ආණ්ඩුවේ බෙදීමක්


(අජන්ත කුමාර අගලකඩ)  
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ​දේශපාලන කරළිය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවී ඇතැයි වාර්තා වේ.  


ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමත් සමඟ, ජනාධිපතිවරයා 2021 වන තෙක් ජනාධිපතිධුරය දරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සහ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 දී අවසන් වන බව ප්‍රකාශ කිරීමත් නිසා මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ.  

මේ පිළිබඳ ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයේ මතය මේ සති අන්තයේදී ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිතව තිබිණි.  


තමාට 2021 වසර දක්වා ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇත්දැයි යන්න දන්වන ලෙස ජනාධිපතිවරයා ගිය සතියේ ශ්‍රේ‍ෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.  


ශ්‍රේ‍ෂ්ඨාධිකරණයේ තීරණය අද (14) දිනට පෙර දන්වන්නැයි ද ජනාධිපතිවරයා ඉල්ලා තිබිණි.  


ඒ අනුව, ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කරනු ලැබූ අතර, එම විනිසුරු මඩුල්ල ගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීය.  


මේ අතර, ජනාධිපති කාර්යාලය ද ජනාධිපතිවරයා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය.  19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඇතිව තිබෙන බැවින්, ඒ පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ බව ජනාධිපති කාර්යාලය සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබිණි.