ඡන්දෙට පෙර ජනපතිගෙන් පෙරැළියක්


(අජන්ත කුමාර අගලකඩ)  
ලබන පෙබරවාරි මස මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරළිකාර තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ජනාධිපතිවරයා විසින් ගනු ලැබීමට නියමිත එම තීන්දු තීරණ රජයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම දේශපාලන වශයෙන්ද බෙහෙවින් බලපානු ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.  

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවද මේ මස 31 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැඩි තීන්දු කිහිපයක් ගනු ඇතැයි වාර්තාවේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණය සඳහා සමගි කරවීමේ වැඩ පිළිවෙළක් ජනාධිපතිවරයාගේද ආශිර්වාදය ඇතිව පසුගියදා ක්‍රියාත්මක වූ නමුත් එය අසාර්ථක විය.  


මේ තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමේ සටනට නායකත්වය දීමේ වගකීම ජනාධිපතිවරයා වෙත පැවැරී තිබේ.