ඒකාබද්ධය ස්වාධීනත්වය ඉල්ලයි


(අජන්ත කුමාර අගලකඩ)  
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 70 දක්වා වැඩිවී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි කතා නායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 54ක් වන අතර ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාද ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට එකතුවීම නිසා ඔවුන්ගේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් ඇත.   


මේ තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ලෙස නොසලකා වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි වාර්තාවේ.  

එම අදහස කතානායකවරයා වෙත දැනටමත් නිල නොවන මට්ටමින් දැනුම්දී ඇති අතර එම තීරණය ළඟදී කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීමට නියමිතව ඇතැයිද පැවසේ.  


මෙම 70 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කතානායකවරයා විසින් පිළිගනු ලැබුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  


ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා මින් ඉදිරියට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව පොදු බලවේගයක් ලෙස එකට වැඩ කිරීමටද තීරණය කර ඇත.   


එම කණ්ඩායම ඉකුත්දා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාද හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මන්ත්‍රීවරුන් 70 දෙනාම එකට සිටිමින් ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට එහිදී තීරණය කර ඇත.  


ආණ්ඩුවට ඉදිරි වසර එක හමාරක කාලය තුළද පිරිහී යන්න ඉඩදී මීළඟ ජනාධිපතිවරණයේදී හෝ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් ගැනීම සඳහා වැඩ කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.