උසාවි තීන්දුව එනතුරු අර්බුදය දිගටම


(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩු මාරුවත් සමඟ ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ වූ දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් පවතිනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි බව පවසමින්, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ගොනු කළ අතර එම පෙත්සම් ලබන 04, 05 සහ 06 යන දිනයන්හි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරෙනු ඇත.  


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබන 7 වැනිදා දක්වා අත්හිටුවනු ලැබීය.  

 

ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය අත්හිටුවනු ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඉකුත් 14 වැනිදා කතානායක කරු ජයසූරිය මහතා විසින් කැඳවනු ලැබූ දින කිහිපයක්ම පවත්වාගෙන ගිය ද ආණ්ඩු පක්ෂය ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත වීය.  


ආණ්ඩු පක්ෂය කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකර මේ වනවිට පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කිරීම හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුව විපක්ෂය නියෝජනය වන තැනක් බවට පත්ව තිබේ.  විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇතිව තිබෙන මෙම අර්බුදය විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කතානායක කරු ජයසූරිය මහතා ඉකුත් බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විපක්ෂනායක ආර්. සම්බන්දන් මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළේය.  


ඒ අනුව ජනාධිපතිවරයා සහ ආර්. සම්බන්දන් මහතා අතර හමුව පෙරේදා (30) ප.ව. 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමෙන් පසුව ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුව රාත්‍රී 7.00ට පැවැත්විණි.  


කෙසේ වුවද ඇතිව තිබෙන අවිනිශ්චිතතාව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් පවතිනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.