හුස්ම ගත්ත වසර තුනට එජාපය සතුටින්


සතිය ආරම්භයේදීම අගමැතිවරයා නුවරඑළියට ගියේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජය තිළිණ කළ නිවාස 404 ක විශාල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමටය. ඉන්දීය මහ කොමසාරිස් හා ඇමැති දිගම්බරම් ඇතුළු විශාල පිරිස ඒ සඳහා සහභාගී වූහ.


“හිටපු ආණ්ඩු හා ඒ ආණ්ඩුවල හිටපු වතු කම්කරු ජනතා නියෝජිතයින් යයි කියා ගත් අය තමන් හැදුණා මිස කම්කරුවන්ට කළ දෙයක් නැහැ. මේ රජය නිවාස හදනවා විතරක් නොව, වතු කම්කරුවන්ට පර්චස් හත ගානේ බෙදා දෙනවා. පොදු පහසුකම් ලෙස පාසල් රෝහල් මාතෘ නිවාස ඇතුළු සියල්ලද ඉටු කරමින් ඉන්නේ.


“රනිල් ඊළඟ ජනාධිපති කරලයි, වතු කම්කරු ජනතාව පස්ස බලන්නේ”, දිගම්බරම් කීවේ දැඩි ප්‍රතිචාර මැදය.


නුවරඑළිය එජාප බල මණ්ඩලය පිහිට වීමද එදිනට නියමිතව තිබූ හෙයින් නවීන් දිසානායක හා අකිල විරාජ් ඇමැති දෙපල උත්සවයට එක් වූයේ මඳක් ප්‍රමාද වෙලාය.


බදාදා උදෑසන අගමැතිවරයා මඩු දේවස්ථානයේ මංගල්‍යයටද එක් විය. ලක්ෂ හයකට ආසන්න පිරිසක් ඊට එක්ව සිටි අතර ඒ ජනතාව වෙතින්ද අගමැතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.
බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ විදේශ නියෝජිතයන් හමුවීමට හා රාජකාරී රැසක් ඉටු කිරීමටය.


“හුස්ම ගත්ත වසර තුනක්” කියන තේමාව හරි ලස්සනයි.”, සජිත් ප්‍රේමදාස කී විට නවීන් දිසානායක ඇතුළු පිරිස එය එකහෙළා අනුමත කළහ.


“වසර තුනක් ජනතාව හුස්ම ගත්තේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් විතරක් නොවෙයි. ආර්ථිකය ඇතුළු සියලු පැති ඊට අදාළයි. ණය ගෙවීම හොඳින් කරනවා. ආර්ථික වර්ධනය හා සංවර්ධනය දැන් වේගවත් වෙලා. ලෝකය අපව වටලා තිබුණ දෙයින් නිදහස් වුණා.”


“ගමේ-නගරයේ ගෙවල්, පාසල්, රෝහල්, පාරවල් පාළම් ඇතුලු පොදු යටිතල දියුණු වෙනවා. ගම හදන්න රුපියල් දස ලක්ෂ අසූ දාහක අතිවිශාල මුදල වසරේදී යොදවනවා. පඩි 10,000කින් සමෘද්ධි දෙගුණයකින් මහ පොළත් වැඩි කළා. ඉඩම් බෙදනවා. තවම බඩු මිලත්, ඉන්ධනත් රාජපක්ෂලාගේ කාලෙට වඩා අඩුයි.” “මාධ්‍ය නිදහස දෝර ගලලා. ඇත්තටම මුළු රටම හුස්ම ගත්ත වසර 03 අප රටටම දුන්නා. වළේ තිබූ රටත්, ජනතාවත් අප ගොඩගත්තා. ඒත් රාජපක්ෂලා හා නඩය තවම ඒ වළේ ඉඳන් එකිනෙකා මරා ගන්නවා. අප ඉදිරියටම යනවා”, අගමැතිවරයා විග්‍රහ කළේය.


”සැප්තැම්බර් 05 ඒකාබද්ධය කොළඹ ඇවිත් වටලනවා කියා බොරු තර්ජන පාරක් දානවා. කී පාරක් වැටලුවද? ආණ්ඩුව පෙරළුවද? අගමැතිකම ගත්තද? ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් අප ළඟ බෙහෙත් තිබෙනවා කියා මා පත්තරේකට කිව්වා. ඒ බෙහෙත් රතුපස්වලදී දීපුව නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී බෙහෙත් අප ළඟ තිබෙන්නේ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.
“විරෝධතාවලට ඉඩ තිබෙනවා. ඒත් ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් එයාලට වන්දි ගෙවන්න වේවි”, සජිත් ප්‍රේමදාස කීවේ ”සාමය රැකීම ගැන උපරිමව ආණ්ඩුව උනන්දු විය යුතුයි” යන අදහසද මතු කරමිනි.


“නිවාඩු මාසවල ගුරු වැටුප් නවත්වනවා කියා අකිල කියා නැහැ. අලි බොරුවක් සමහර අවස්ථාවාදීන් පතුරනවා. බොරු පතුරවන අය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න කියා පොලීසියට උපදෙස් දෙන්න”, නවීන් දිසානායක අගමැතිවරයාගෙන් ඉල්ලීය.


“මනෝ ගනේෂන්-හකීම්ලා මහින්ද හමුවෙලා කතා කළේ පළාත් සභා ගැන විතරමද? එතන දේශපාලනයකුත් තිබෙනවද”, දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.


“මට කියලයි, එයාලා මහින්ද හමුවෙන්න ගියේ. පිල් මාරුව ගැන හෝ ඒ ගැන කතාවක් හෝ එතන නැහැ. පළාත් සභා ඡන්දය තියන ක්‍රමය ගැනයි කතා කර තිබෙන්නෙ. අලුත් නීතිය සම්පූර්ණ නැති නිසා ඒ ක්‍රමයට ඡන්ද තියන්න අමාරුයි. ඒකට උපලේඛන දාන්න තිබෙනවා.”


“ශ්‍රීලනිපය පරණ ක්‍රමයට විරුද්ධයි. ඕනෑම ක්‍රමයකට කැමතියි කියා ජී.එල්. චැලෙන්ජ් කළා. පරණ ක්‍රමයට ගියොත් කාටවත් චැලෙන්ජ් කරන්න බැහැ. ඡන්දය ජනවාරිවල තියෙන්නත් පුළුවනි”
“අලුත් සීමා නිර්ණ වාර්තාව පිළිගන්නවාද නැද්ද කියා පාර්ලිමේන්තුවේදී විවාද කළ හැකියි. ඒ වාර්තාව හුඟක් පක්ෂ පිළි ගන්නෙ නැහැ. පක්ෂ බලන්නේ තමන්ගේ දේශපාලන වාසි අවාසියි”, අගමැතිවරයා පවතින තත්ත්වය විග්‍රහ කළේය.


“දුම්රිය වර්ජකයන් අසාධාරණ ලෙස වැඩ කර අන්තිමේ ජනාධිපතිතුමාගේ ඇ​ෙඟ් එල්ලිලා ෂේප් වුණා. ජනාධිපති හමුවුණා විතරලු. පසුදා මංගල හමුවුණාම කියා තිබෙන්නේ එයා කළින් කියපු කතාවම තමයි. දේශපාලන උසිගැන්වීම් අනුව වර්ජන කරන්න ගියාම ඔහොම හිර වෙනවා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“දැන් දුම්රියේ අය මට්ටු වුණාම බස් සංගම් වර්ජන කරන්න දඟලනවා. දඩ මුදල් අයින් කරන්නලු. මිනිස්සු මරා ගෙන, වාහන හප්පා ගෙන නීතිය නැතුව පාරේ යන්න අවසර දෙන්න කියලද එයාලා ඉල්ලන්නේ? මොන ආණ්ඩුවද මේවට යට වෙන්නේ?


උසස් පෙළ දරුවන් ඉලක්ක කර කරන මේ පහත් දේශපාලන සෙල්ලම් ගැන ආණ්ඩුව මීට වඩා ජනතාව වෙනුවෙන් තදින් ඉන්න ඕනෑ”, වජිර අබේවර්ධන කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කළහ.


“කීත් නොයාර් පැහැර ගෙන ගහපු වෙලාවේ කරු ජයසූරිය මැතිතුමා මහින්ද ජනාධිපතිට කතා කර බේර ගත්ත බව එතුමා කට උත්තර දීලා නිසා මහින්දගෙනුත් කටඋත්තර ගන්න සී.අයි.ඩී. එන්න කිව්වට මහින්ද ඇවිත් නැහැ. ඒ නිසා සී.අයි.ඩී. එක එතුමාගේ ගෙදරට ගිහින් කට උත්තර ගන්න හදනවා. ඒකේ වැරැද්දක් නැහැ කියලයි, මිනිස්සුත් කියන්නේ”, චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.
“අර ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය ඔඩු දුවනවා. ආණ්ඩුව මැදිහත් වෙනවා මදි බවයි, සමහරුන් කියන්නේ”, එහි සිටි මැති ඇමැතිවරු රැසක් අගමැතිගේ අවධානයට යොමු කළහ.
“ආණ්ඩුව මහ බැංකුව හරහා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා ඉන්නවා. රජයේ මුදල් දාලා ප්‍රශ්නය විසඳන්න අමාරුයි. ඒ ආයතනයම මුදල් ගෙවන තැනට තල්ලු කරන්න රජය බොහෝ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ආයතනය සහ දේපළ ගැනත් රජය අවධානයෙන් ඉන්නේ ඒ තැන්පතුකරුවන්ට උපරිම සාධාරණය කරන්නයි, රජය ක්‍රියා කරන්නේ”, එජාප නීති උපදේශකයෙක් පවතින අලුත්ම තත්ත්වය පැහැදිළි කළේය.


“රාජ්‍ය බැංකුවක 2010 ඉඳලා අධ්‍යක්ෂක කෙනෙකු හැටියට ඉන්න අයෙකු රුපියල් කෝටි 1000 ක විශාල ණය ගැනීම ගැනත් දැන් ලොකු සංවාදයක් යනවා. පත්තර කිහිපයක් මගෙන් මේ ගැන ඇහුවා. මා බැංකු බාරගන්න කලිනුයි, මේ ගනුදෙනුව වෙලා තිබෙන්නේ.


“ඒ බැංකු සභාපතිගෙනුත් මා මේක ඇහුවා. කළින් ගත්ත ණය එයා හොඳින් ගෙවපු නිසා මේ ණය ගැන බයක් නැහැ කියා බැංකු සභාපති මට සහතික වුණා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
“බැංකු අධ්‍යක්ෂකලාට ඒ බැංකුවෙන්ම නියම ක්‍රමවේදයට අනුව ණය ගන්න පුළුවනි. නීතියෙන් කිසිම බාධාවක් නැහැ. ඒවා යළි අය කර ගැනීම ගැනයි, බැංකුව අවධානය යොමු කළ යුත්තේ” එජාප නීති අංශ නිලධාරියා පිළිතුරු දුන්නේය.


“11 දෙනෙකු අතුරුදහන් කළ බවට චෝදනා ඇති “නේවි සම්පත්” ඇල්ලීම වැදගත් දෙය වනවා. එයාට රට පනින්න නාවික හමුදා ගිණුමකින් රුපියල් ලක්ෂ 05 දීලා කියලත් ඔප්පු වෙලාලු”, චමින්ද විජේසිරි කීය.