විජයකලාට එජාපයෙනුත් බැට


ඇමැති වජිර අබේවර්ධන දිස්ත්‍රික් පුරා පවත්වන ‘‘නිල මෙහෙවර” සඳහා පසුගියදා යාපනයට ගියේ විදේශ ඇමැති තිලක් මාරපන ද සමගිනි.


එහිදී රාජ්‍ය ඇමැතිනී විජයකලා ‘‘එල්.ටී.ටී.ඊ ය යළි ඕනෑ” යයි කළ ප්‍රකාශය දේශපාලන ලෝකය කැලඹුවේය. මේ බව කන වැටුණු අගමැතිවරයා වහාම විජයකලාට ඇමතුමක් දී කීවේ ඉක්මනින් පැමිණ තමා හමුවන ලෙසය.


‘‘සර් මට උණ, හෙම්බිරිස්සාව. සනීප වූ ගමන් කොළඹ එන්නම්” විජයකලා කීවා ය.


පසුදා කොළඹ පැමිණි ඇය අරලියගහ මැදුරට ගොස් අගමැතිවරයා හමු වූවාය.


‘‘මා කිව්වේ උතුරේ අද තිබෙන ඇත්ත තත්ත්වයයි. දෙමළ අයගේ ඉඩම් තාම පවරා නැහැ. සංවර්ධනය මදි. අපරාධ වැඩි වෙලා” ඇය කීවා ය.


‘‘ඒත් ඒකට රජය තුළින් විසඳුම් ගන්නවා මිස එල්.ටී.ටී.ඊ ය යළි ඕනෑ කියන්න ඔබට අයිතිය නැහැ. ඒක තහනම් සංවිධානයක්. එය පරාජය කරන්න දහස් ගණන් රණවිරුවෝ ජීවිත පූජා කළා. ඔබ විශාල වැරැද්දක් කළේ. වහාම ඉල්ලා අස් වෙන්න” අගමැතිවරයා කීය.


‘‘මා ඒ ප්‍රකාශය ඉල්ලා අස් කරගෙන සමාව ගත්තොත් මදිද?” විජයකලා කීවද අගමැතිවරයා ඊට එකඟ නොවීය.


‘‘එජාපය මට විරුද්ධව පවත්වන විනය පරීක්ෂණය නවත්වනවද?” ඇය ඇසුවාය.


‘‘එහෙම බැහැ. විනය පරීක්ෂණය තියන්න වෙනවා. ඒකේ තීන්දුව අනුව අනිත් දේවල් ගැන බලමු.” අගමැතිවරයා දැඩිව කී විට විජයකලා පිටව ගියේ නෙතට කඳුළක්ද නංවාගෙනය.


බ්‍රහස්පතින්දා අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට වෙනදා ඔහුව පිළිගන්න එන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල නොසිටියේ විදේශගත වීම හේතුවෙනි.


ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට එදින වැඩ අධික දිනයක් වූයේ ඒ තුළය.


‘‘හම්බන්තොට වරාය හා චීනය ගැන අද ඔබතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය කළාම හෙට මහින්ද රාජපක්ෂ ඊට පිළිතුරු දිය යුතුයි’’ ගයන්ත කීය.


‘‘කෝටි 112 ක් චීනයෙන් පගාව ගත්තාය කියන එක චීනය ප්‍රතික්ෂේප කර නැහැ. චීන රජය එවැනි පගාවක් නොදුන් බව විතරයි, ඔවුන් කියන්නේ’’


නිව් යෝක් ටයිම්ස් පත්තරේ කියා ති​ෙබන්නේ චීන රජය නොව චයිනා හාබර් සමාගම ඒ පගාව දුන් බවයි. මහින්ද ඒවාට පිළිතුරු දීම මිස පුවත පළ කළ නිව් යෝක් පත්තරේට නඩු නොදමා ලංකාවේ මාධ්‍යවලට තර්ජන දාලා හරියන්නේ නැහැ. සමහර මාධ්‍ය මේ චෝදනාවෙන් මහින්ද ගලවා ගන්න රෙදි නැතුව දඟලනවා රන්ජන් රාමනායක කීවේ සිනා සෙමිනි.


‘‘හම්බන්තොට වරායේ අනාගතය ගැන ලංකාවට හා චීනයට දෙකටම බලපෑමක් නොවන ලෙසට අපි විසඳා ගත්තා. තවත් විකල්ප තිබුණද අප හොඳම දේ කළේ. අප පගා අරන් චීනය එක්ක වැඩ කළේ නැහැ, අගමැතිවරයා කීය.


‘‘නිව්යෝර්ක් ටයිම්ස් එකට කතා කරන්න කියා ඒ අය මහින්දට ආරාධනා කළා. ඒ අභියෝගය පිළිගැනීම හෝ පාර්ලිමේන්තුවේ පිළිගත හැකි ප්‍රකාශයක් හෝ කිරීම දැන් මහින්ද මහතාගේ වගකීමයි. වටේ ගිහින් බැහැ’’ නවීන් දිසානායක කීය.


‘‘පසුපෙළ එජාප අය නිව් යෝක් පත්තරේට ලිපියක් ලියා ලංකාව ගැන මෙවැනි තවත් තොරතුරු තිබේ නම් ‘‘යහ පාලනය” ශක්තිමත් කරන්න ලංකාවට ඒ තොරතුරු දෙන්නැයි ඉල්ලනවා. ඇමරිකාවට ගිහින් හරි තොරතුරු ගන්න අප සූදානම් කියලත් ඒකේ ලියනවා”, චමින්ද විජේසිරි කී විට සියලු දෙනාම ඊට සහය පළ කළහ.


‘‘ඒකාබද්දේ අය 2015 ලංකාවේ ‘‘ඩේලි නිව්ස්” පත්තරේ තිබුණු ප්‍රවෘත්තියයි ‘‘නිව් යෝක් ටයිම්ස්’’ පුවතයි දෙකම එකයි, මේක මඩක් කියා රටට කියන්න හදනවා. මා පත්තර දෙකම බැලුවා. ඩේලි නිව්ස් එකේ තිබෙන්නේ මෙවැනි පගාවක් අරන් තියෙනවා කියා හා ඒ ගැන පරීක්ෂණ කළ යුතු බව විතරයි.


ඒත් නිව් යෝක් පත්තරේ මේ පගාවට අදාළ සියලු විස්තර බැංකු හා අනිත් තොරතුරු තිබෙනවා. එහෙම පගාවක් එදා ලැබුණු බව මමත් දන්නවා. ඒක කාගේ සාක්කුවටද ගියේ කියල මේ ආණ්ඩුව පරීක්ෂණ කළ යුතුයි’’ නවීන් දිසානායක කීය.


‘‘උදයංග වීරතුංග අබුඩාබි හිරේ අපා දුක් විඳිනවලු. ඒ උසාවිය එයා නිදහස් කරන පසුබිම තිබෙනවා නම් එයා ලංකාවට එන්නෙ නැහැ. එහේ උසාවියෙදි දැඩි දඬුවම් විඳීමට සිදුවන බව දැන ගෙනලු, ‘‘බොරු වීරකමක්’’ පෙන්නලා ලංකාවට එන්න හදන්නේ.


මමයි, උදයංග ලංකාවට ගෙන්නන්නේ කියා මහින්දත් ඒකෙන් ලකුණු දාගන්න හදනවා’’, රන්ජන් රාමනායක විස්තර කළේය.


‘‘නඩු කඩිනම් කිරීමේ මහාධිකරණ තුන තාම පරක්කු ඇයි?’’ ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙනි.


‘‘ඉක්මනින් පළමු වැනි එක පිහිටුවනවා. ඒ අත්දැකීම් මත අනිත් ඒවා පිහිටුවන්න පුළුවනි’’ අගමැති කීය.


‘‘විගණන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම රජය හා රට ලබන විශාල ජයක්. සමහර දූෂිත නිලධාරීන් 98 වතාවක් මේක කල් දාන්න ක්‍රියා කළා. ඒත් යහපාලන රජයේ දේශපාලකයන්ගේ උනන්දුව නිසා මේක අද ගේන්න ලැබුණා. ජනතාව මේවා තේරුම් ගන්න ඕනෑ’’ විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


‘‘ගෝඨා මුල්වරට පොහොට්ටු කාර්යාලයට ගිහින් සියලු දෙනා එක්ක හිනාවෙලා රඟපෑමක් කර ඇතුළේ ගින්දර වහගන්න හැදුවත් ජනාධිපති අපේක්ෂකයා තෝරන දවසට පොහොට්ටු පුපුරනවා’’ චමින්ද විජේසිරි කීවේ සිනාසෙමිනි.


සෙනසුරාදා අගමැතිවරයා සිංගප්පූරුවට ගියේ රටවල් 125 ක දේශපාලකයන්, ඉහළ නිලධාරින් හා ප්‍රමුඛ පෙළෙහි සමාගම් එක්වන ‘‘තිරසර නාගරික සතිය’’ සමුළුවේ ප්‍රධාන දේශනය කිරීමටය.