මෛත්‍රී - මහින්ද මුහුණට මුහුණ සාකච්ඡා


 

 

ජනාධිපතිවරණය ගැන රටේම අවධානය යොමු වී තිබේ. දේශපාලන පක්ෂ මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ද වැඩි කතාබහ ජනාධිපතිවරණය ගැන හා එහි අපේක්ෂකයින් ගැනය. පොදුජන පෙරමුණ දැනටමත් සිය අපේක්ෂකයා තෝරා හමාරය. ඔවුන් අද (11) පැවැත්වෙන පොදුජන පෙරමුණේ මංගල සම්මේලනයේ දී සිය අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක් කරන්නේදැයි තවමත් පැහැදිලි නැත.


ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය  කරමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද දැනගැන්නට ඇත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයකුද ඉදිරිපත් කිරීමට දැනට කතාබහ කෙරෙමින් ඇති බවය.  


පොදුජන පෙරමුණ අද සිය ප්‍රථම සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. දැනට ලැබී ඇති ආරංචි හැටියට එහි දේශපාලන කතා නැත, පිළිගැනීමේ කතාව සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ගෙනි. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්කර ගැනේ. විපක්ෂ නායකවරයා විසින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරෙන්නේ ඉන් අනතුරුවය. ගෝඨාභය රාජපක්ෂ මහතා හා හා පුරා කියා දේශපාලන වේදිකාවකට ගොඩවන අවස්ථාව ද වන එම රැස්වීමේ දී ඔහු දේශපාලන කතාවක් ද කරනු ඇත.


ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව කෙරෙන ඉදිරි දේශපාලන වැඩසටහන ද පොදුජන පෙරමුණ විසින් සැලසුම් කර හමාරය. ඒ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. ගෝඨාභය අද (11) හැන්දෑවේ ආගමික වතාවත් සඳහා යන්නේ කැලණිය පන්සලටය. එතැනින් පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙනටය. හෙට උදේ අනුරාධපුරයට ගොස් හවස රුවන්වැලිසෑය අබියස බුද්ධ පූජා පින්කමට සහභාගි වෙයි. පින්කම මෙහෙයවනු ලබන්නේ උඩුවේ ධම්මාලෝක හිමියන් විසිනි. හෙට රැය අනුරාධපුරයේ ගතකරන ඔහු අනිද්දා උදේ පාන්දරින්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී. අනතුරුව ඔහු දඹුල්ල, මාතලේ හරහා මහනුවර බලා පිටත්ව යයි. ගෝඨාභය පිළිගැනීමට දඹුල්ලේ රැස්වීමක් ද සංවිධානය කර ඇත. ඒ ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ඔහු පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසිනි. ඔවුන් මුල දී ලෑස්ති කර තිබුණේ පාපැදි දස දහසකින් පමණ යුත් පෙළපාළියකි. එහෙත් අ.පො.ස. උසස් පෙළ විභාගයත්, මාර්ග අවහිරවීමත් නිසා පෙළපාළිය නොපවත්වන්නැයි ගෝඨාභය කළ දැනුම් දීම අනුව එය අවලංගු කර ඇත. ඒ වෙනුවට ගෝඨාභය ජනකගේ නිවසට එන බව දන්වා ඇත.


මහනුවර දළදා මාලිගාවට 14 වැනිදා යන ඔහු අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මෙන්ම රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගනු ඇත. එතනින් ගැටඹේ පන්සලට ද යන ගෝඨාභය 15 වැනිදා කතරගම බලා පිටත්ව යාමට නියමිතය. ඔහු වෙනුවෙන් එදින හැන්දෑවේ කිරිවෙහෙර අබියස අසූහාරදහසේ පහන් පූජාවකි. පසුවදා කතරගම මහා දේවාලයේ විශේෂ දේව පූජාවකි. එතනින් තිස්සමහාරාම විහාරයට ද යන ඔහු මැදමුලනට යන්නේ එදින හවසයි. ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා ඔහු පසුදා කොළඹ බලා පිටත්ව එන්නේ දෙවිනුවර විෂ්ණු දේවාලය ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් ද වැදපුදා ගැනීමෙන් අනතුරුවය.


මේ අතර පසුගිය සඳුදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් පැවැත්විණි. එම හමුවට පෙර, ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමුවිය. ඒ හමුව මහින්ද හා මෛත්‍රී අතර හමුවට පෙර පැවැති පූර්ව සූදානමක් ලෙසය. ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සඳහා කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය ගැන ඒ තුන්දෙනා ජනාධිපතිවරයා දැනුවත් කර තිබිණි.


මෛත්‍රී මහින්ද අතර හමුව ජනාධිපති නිල නිවසේ දී ආරම්භ වූයේ රාත්‍රී 9.30ට පමණය. සුහද සාකච්ඡාවක් වූ එම හමුව දෙදෙනාටම නොදැනීම පැය දෙකක් තිස්සේ ඇදී ගියේ තීරණාත්මක කරුණු කාරණා රැසක් සාකච්ඡාවට ලක්කරමිනි.


ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෙන්ම පක්ෂ දෙක අතර ගොඩනැගීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානය ගැන ද එහිදී සාකච්ඡා විය. බද‌ාද‌ා කාම්බෝජය බලා පිටත්ව යන බැවින් සාකච්ඡාව ගැන මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරන බව ජනාධිපතිවරයා මහින්දට පවසා අැත. මහින්ද ද පවසා ඇත්තේ සාකච්ඡාව ගැන පසුවදා පැවැත්වෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දී ඔවුන් දැනුවත් කරන බවය.


දැනගන්නට ඇති පරිදි සාකච්ඡාව සුහදව හා සාර්ථකව පැවැති බව වාර්තා විය. දෙදෙනා අතර ඊළඟ හමුවට සුබවාදී ප්‍රවේශයක් ඉන් ලැබුණ බව නායකයන් දෙපලගේම අදහස විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පිළිබඳ සාකච්ඡාව පසුගිය සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණේ නිමල් සිරිපාල සිල්වාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල, එස්.බී. දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
“අපි පක්ෂයේ සංවත්සරය ඉතා හොඳින්ම කරන්න ඕනෑ” දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය. ඒ වගේම ආසන මට්ටමින් විශාල පිරිසක් සහභාගි කරන්නට ඕනැ. ඒ වගේම සංවත්සරයට හොඳ ප්‍රචාරක වැඩසටහනක් නිර්මාණය කරන්නත් ඕනැ. ඒ වැඩපිළිවෙළ අපි පක්ෂ ප්‍රචාරක ලේකම් සියඹලාපිටිය මන්ත්‍රීතුමාට භාරදෙමු. දයාසිරි යෝජනා කළේය. අපි සෙනඟ ගෙන්වන්න සංවිධායකවරුන් මනාව සම්බන්ධීකරණ කරලා වැඩපිළිවෙළක් සකස් කරමු. ඒ සකස් කරන වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ වේලාවක් අරගෙන ඉදිරිපත් කරමු. ඒ වගේම මේ වැඩේට අරමුදල් හොයන්න අපේ පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. ඇමැතිතුමාට භාරදෙමු. දයාසිරි යෝජනා කළේය.
නිමල් සිරිපාල සිල්වා මහතා කීවේ වෙනසක පෙරනිමිති මේ සමුළුවත් සමග ආරම්භ වන බවයි.


මේ අතර මුහුණු පොතේ සටහන්ව තිබූ ප්‍රවෘත්තියක් නිමල් මන්ත්‍රීවරයාට පෙන්නුවේ මාධ්‍ය අධ්‍යක්ෂ පැතුම් පැස්කුවල්ය. එහි සටහන් වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා යෝජනා කරන්න ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූද‌ානම් වන බවයි. ඒ දුටු නිමල් සිරිපාල මහතා ප්‍රකාශ කළේ තමන්ට එයට සුදුසුකම් තිබෙන බවය.


සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ අභාවයත් සමග ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරයෙක් අහිමි වී ශ්‍රීලනිපයට මන්ත්‍රී ධුරයක් හිමි විය.


කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජනිස මන්ත්‍රීවරයෙකු වූ සාලින්ද දිසානායක මහතා ඉකුත් සතියේ අභාවප්‍රාප්ත වූයේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙනි. ඉකුත් මහා මැතිවරණයේදී එජනිසයෙන් තරග කළ ඒ මහතා පසුව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එකතු විය. මියයන අවස්ථාව වනවිටත් ඒ මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළේය. සාලින්දගෙන් හිස්වන දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සා ලෙස පරාජිත ලැයිස්තු වේ ඉහළින්ම සිටින්නේ ශාන්ත බණ්ඩාර මහතාය. මන්ත්‍රීවරයකු වීම සඳහා එ් මහතාට අඩුව තිබුණේ මනාප එකසිය පනහකට ආසන්න ගණනකි.


ඒ වනවිට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රීලනිපය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතා ඉකුත් බදාදා ඉල්ලා අස්වූයේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් හිස්වන මන්ත්‍රී ධුරය භාර ගැනීම සඳහාය. ඒ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජගත් පුෂ්පකුමාර හෝ එරික් වීරවර්ධන යන දෙදෙනාගෙන් එක් අයකු පත්කිරීමට නියමිතය.


සාලින්ද දිසානායක මහතාගේ අභාවය නිසා ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රී ධුරයක් අහිමි වූ අතර ශ්‍රීලනිපයට මන්ත්‍රී ධුරයක් වැඩි වූයේ ඒ අනුවය.


පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එකතු වුවහොත් දෙපාර්ශ්වයට ලැබෙන සංයුතිය ගැන මූලික එකඟතාවක් දැනට ඇති කරගෙන ඇත. ශ්‍රීලනිපය ඉල්ලා සිටින්නේ අලුතින් හදන සන්ධානයෙන් සියයට තිස් දෙකක් තම පක්ෂයට ලැබිය යුතු බවය. සන්ධානය නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාටත් එහි සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ලැබිය යුතු බවට ද දෙපක්ෂයම සාකච්ඡා කර ඇත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ට එම ආසනයෙන්ම තරග වැදීමට ද අවස්ථාව හිමිවේ.   


ඉකුත් බදාදා ජනාධිපතිවරයා කාම්බෝජ නිල සංචාරයක යෙදීමට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන් කීවේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව එකතුවී වැඩ කළ යුතු බවය. නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් වසන්ත, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරු මෙම මතයේ තදබල ලෙස එල්බගෙන සිටියහ.   


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 6 වැනිදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම පාර්ලිමේන්තු කාරක සභා කාමරයේ පැවැත්විණි.


රැස්වීම ආරම්භ වීමට පෙර විපක්ෂ නායකවරයා වාසුදේව නානායක්කාර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, සුමේධා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ කමිටු ශාලාව අසල කාමරයේ කතාබහ කරමින් සිටියේය. ‘ඊයේ ජනාධිපතිතුමත් එක්ක තිබිච්ච සාකච්ඡාවට මේ අමරවීරලාත් ලොකු කාර්යභාරයක් කළා’ යැයි මහින්ද කීවේ අමරවීර පෙන්වමිනි. අනතුරුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ විය. කලින් දින රාත්‍රියේ ජනාධිපතිවරයා සහ තමා අතර පැවැති සාකච්ඡාව ගැනද මහින්ද මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය. දෙදෙනා අතර සාකච්ඡා වූ තීරණාත්මක කරුණු ගැන නොකියන්නට මහින්ද වගබලා ගත්තේ ඇතැම් විට ඒවා ඉදිරි සාකච්ඡාවලට බාධාවක් විය හැකි බැවිනි. ‘ජනාධිපතිතුමයි මමයි ඊයේ සාකච්ඡා කළා. ඒ අපේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්. ඒ සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන් වුණා. ඒ අනුව අපි ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. තමුන්නාන්සේලාත් අවශ්‍ය අවස්ථාවලදී ඒ ගැන දැනුවත් කරනවා’ කී මහින්ද සාකච්ඡාව සාර්ථක කර ගැනීමට මඟපෙන්වීම ගැන මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමට ස්තුතිය පළ කරන බව ද කීවේය.


එම රැස්වීම අවසන් වීමත් සමග නිදහස් කලා සන්ධානය මගින් නිෂ්පාදනය කරන ලද ‘වෙනසක විනාශය’ වාර්තා චිත්‍රපටය නැරැඹීමට ද අවස්ථාව උදාවිය. එය අධ්‍යක්ෂණය කර තිබුණේ සුදත් රෝහණ විසිනි. තිස් වසරක ත්‍රස්තවාදය නිමාකර සංවර්ධනය කරා ගිය රට ‘යහ පාලනයත්’ සමග වැටී ඇති තත්ත්වය මෙයින් පෙන්වා දී තිබිණි. මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට යෝජනා කළේ මෙම චිත්‍රපටය රට පුරා පෙන්වීම සුදුසු බවයි. ‘අපේ සමහර අයට ඉතිහාසය අමතක වෙනවා. මේ වගේ චිත්‍රපටවලින්වත් ඒවා මතක් කර දෙන එක හොඳයි. 1989 භීෂණ කාලය අපට නම් තාම මතකයි. කොයි තරම් තරුණයන් මරල දැම්මද? ඒ කාලේ මමයි වාසුයි ඒවාට විරුද්ධව වැඩ කළ හැටි මතක නේ? අපි ඒවාට විරුද්ධව වැඩ කළේ නැත්නම් තව කොච්චර මරා දානවද?’ විපක්ෂ නායකවරයා කියද්දී ‘අපි ජීවිත පරදුවට තියල වැඩ කළේ. ජිනීවා දක්වා ප්‍රශ්නය අරන් ගියා.’ වාසුදේව මන්ත්‍රීවරයා කීවේය. මේ කතා බහ අවසන් වීමෙන් පසු විපක්ෂ නායකවරයා නිදහස් කලා සන්ධානයේ නියෝජිත පිරිස සමග විපක්ෂ නායක කාර්යාලයට ගියේ සුහද කතාබහකටය. ‘කලාකරුවන් දැන් ඉන්නෙ හරිම අමාරු තැනක. ඒ අය වෙනුවෙන් අනාගතයේ ජාතික වැඩපිළිවෙළක් හැදෙන්න ඕනෑ. ඒකට ඔබ තුමාගෙ මැදිහත්වීම ඕන වෙනවා.’ සුදත් රෝහණ කීවේය.   


‘ජනාධිපතිවරණයෙන් පස්සෙ අපි ඔය හැම අංශයකම දියුණුවට සැලසුම් ක්‍රියාත්මක කරනවා.’ විපක්ෂ නායකවරයා කියද්දී ‘සර්! කවුරුවත් හිතපු නැති විදියට යූ.එන්.පිය ඇතුළේ ගැටුම් ඇති වෙලා. උඩරට පළාතේ ඇමැති කෙනෙක් කිව්වා ජනාධිපතිවරණයෙන් අපේ අපේක්ෂකයා දිනන බව ඒක යූඇන්පී එකේ ලොකු අයටත් දැනුම් දුන්න බව කිව්වා.’ කුමාරසිරි හෙට්ටිගේ කීවේය.  


‘තව ටික දවසකින් අපේ කඳවුරට ඒ අයත් ඒවි’ විපක්ෂ නායකවරයා කීවේය.


එදින මහින්ද දහවල් කෑම ගත්තේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයෙනි. බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු කිහිප දෙනෙක් ද මහින්ද සමඟ භෝජනාගාරයට ගොස් දවල් කෑම ගත්හ. ‘මම හිතන විදිහට අපට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අපි සැලසුම් කරපු විදියට ඉදිරියට කටයුතු කරමු’ යැයි මහින්ද කීවේ කලින් දින සාකච්ඡාව ගැන පැහැදිලි කරමිනි. ප්‍රසන්න රණතුංග කීවේ ‘සර්, සාකච්ඡා කරපු එකනම් හොඳයි. හැබැයි හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ’ යනුවෙනි.   


ජවිපෙ අනුර කුමාර මන්ත්‍රීවරයා ද ඒ දෙසට ආවේය. ‘බන්දුල ඔයාගේ පොතේ වැඩේට අනුරට එන්න කිව්වේ නැද්දැ’යි මහින්ද බන්දුලගෙන් ඇසුවේ අනුර දිසානායක පෙන්වමිනි. ‘සර් මේකනෙ වුණේ. විමල්ට කිව්වොත් අනුර එන්නෙ නැති නිසා අනුරට කිව්වෙ නෑ. අන්තිමට වුණේ විමලුත් නැහැ. අනුරත් නැහැ’ යැයි බන්දුල කීවේ හැමෝම හිනස්සමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා හැන්දෑවේ ජනාධිපති නිල නිවසේදී රැස්වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එය ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර කලින් දින රාත්‍රියේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා හදිසියේ කැඳවන ලද රැස්වීමකි. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා එම සාකච්ඡාව කැඳවා තිබූ අතර, කලින් දින පැවැති සාකච්ඡාවේ හුවමාරු වූ අදහස ගැන ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් දැනුවත් කළේය. ජනාධිපතිවරයා කීවේ එම සාකච්ඡාව සාර්ථක මට්ටමින් පැවැති බවය. ඒ අතර ගාල්ලේ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 අප්‍රේල් 8 වැනිදා පැවැති තත්ත්වයට වඩා ඉදිරියට මේ වනවිට පැමිණ ඇති බව ඔහු කීවේය. ‘අපි පක්ෂය විදියට වැටිල නැහැ. ජනාධිපතිතුමා වෙලාවක් දෙනව නම් මම ගාල්ලට දහදාහක් ගෙන්වන්නම්’ යැයි නිශාන්ත මුතුහෙට්ටිගම කීවේය. අනතුරුව කතා කළේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාය. ‘අපි පක්ෂය විදියට තීන්දුවක් අරගෙන ඔබතුමා ජනාධිපතිවරණයට ඉල්ලන්න කියල ඉල්ලීමක් කළා. නමුත් ඒකට ඔබතුමාගේ පැත්තෙන් එකඟතාවක් ආවා කියල පේන්නෙ නැහැ’ යැයි දුමින්ද කීවේය. දයාසිරි ජයසේකර කීවේ අපි පොහොට්ටුව සමඟ එකතු වෙනවා නම් වැඩපිළිවෙළක් ඇතිව යන්න ඕන කියාය. නිමල් සිරිපාල මන්ත්‍රීවරයා ද ඒ ගැන කතා කළේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි. ඔහු කීවේ පොහොට්ටුව සමඟ සාකච්ඡා කල්දමන්නේ නැතිව ඉක්මනින් එකඟතාවක් ඇති කර ගත යුතු බවය. නිමල්ගේ අදහස් දැක්වීම අනුව පෙනීගියේ ඔහු ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ කඩිනමින් එකතු විය යුතුය යන අදහසේ සිටින බවය. ‘අපට එකතුවීම පිළිබඳව ගැටලුවක් නැහැ. අප එකතු වෙන්න ඕන ඉදිරියේදී ගැටලු ඇති නොවන විදියට සාකච්ඡා කර, වැඩපිළිවෙළක් සකස් කරගෙනයි’ මහින්ද අමරවීර කීවේය. ඔහු කීවේ අපට කිසිම විදියකට යූඑන්පී එකට සහාය දිය නොහැකි බවය. සියලු දෙනාගේ අදහස් යෝජනාවලින් අනතුරුව ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් කළේය. ‘අපිට කොහොමත් යූඑන්පීයට උදව් කරන්න බැහැ. පක්ෂයේ අනන්‍යතාවත් බලලයි අප වැඩ කරන්න ඕනෑ, ඔයාලගේ තියෙන අදහස් දෙන්න. අපි සාකච්ඡා කරලා තීන්දු ගමු’ යැයි කී ජනාධිපතිවරයා කලින් දින විපක්ෂ නායකවරයා සමඟ පැවැති සාකච්ඡාව ද ඉදිරි සාකච්ඡාවලට හොඳ ප්‍රවේශයක් බව කීවේය.  
ඊළඟට සාකච්ඡා කළේ පොදුජන පෙරමුණේ ඉරිදා පැවැත්වෙන සම්මේලනයට යනවාද නැද්ද කියාය. ශ්‍රීලනිපයට නිල වශයෙන් ආරාධනා කර නැතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික මට්ටමින් ඒ සඳහා ආරාධනා කර තිබිණි. එහිදී තීරණය වූයේ දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් වී නැති නිසා, සම්මේලනයට සහභාගි නොවීමටය. ඒ අතර, ලබන මස 3 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිපයේ 68 වැනි සංවත්සරය සාර්ථකව පැවැත්වීමට ද එහිදී තීරණය කළේය.