පාර්ලිමේන්තුව විසුරුවීම 2 වැනිදා


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තවත් ඇත්තේ හරියටම දින 15කි. වත්මන් පාර්ලිමේන්තුවට වසර හතරකුත් මාස 6ක් සම්පූර්ණ වන ලබන මස 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් තීරණය කර හමාරය. කතානායක කරු ජයසූරිය මහතා ද ගිය සතියේ අගරදගුරුතුමන් බැහැ දුටු අවස්ථාවේ ඒ බව තහවුරු කළේය. ඔහු කීවේ පාර්ලිමේන්තුව රැස්වන දින ගණන තුනක් බවය. ඒ ලබන 18, 19 සහ 20 යන දින තුනය. ඉන් පැහැදිලි වන්නේ ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීම ස්ථිර බවය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තයේ ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක නිරත විය. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ලැබුණු නිල ආරාධනයක් පිළිගනිමිනි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන්නැයි ඉන්දීය අගමැතිවරයා ඉකුත් ජනවාරි මස 3 වැනිදා මහින්දට ලිපියක් එවමින් ආරාධනා කර තිබිණි. ඔහු ආරාධනය කර තිබුණේ පෙබරවාරි මස දෙවැනි සතියේ ඉන්දියාවේ සිවුදින නිල සංචාරයක යෙදෙන ලෙසය.


එ් අනුව මහින්ද පසු ගිය 7 වැනිදා ඉන්දියාව බලා පිටත්විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූඑල් 195 දරන යානයෙන් එදින හවස 1.45ට පමණ මහින්ද ඉන්දියාව බලා පිටත්ව ගියේ 21 දෙනකුගෙන් යුත් දූත කණ්ඩායමක් වශයෙනි. ඇමැතිවරුන් වන ආරුමුගන් තොණ්ඩමන්, ඩගලස් දේවානන්ද, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ජී.ඇල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, විදේශ අමාත්‍යෘංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ, මහින්දගේ ඉන්දීය සංචාරයට එක් වූ පිරිස අතර වූහ. නවදිල්ලි නුවර දී අගමැති මහින්ද ඇතුළු පිරිස පිළිගනු ලැබූවේ ඉන්දීය මානව සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දෝර් සංජය ෂර්මා මහතා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්‍ඩලය විසිනි.
ඉන්දියාවට ගිය මහින්ද එදිනම හවස එරට හිටපු අගමැති මන්මෝහන් සිං සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් ද හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
අගමැති මහින්ද පිළිගැනීමේ නිල උත්සවය පසුදින උදේ පැවැත්වුණෙ ඉන්දිය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවාන්හිදීය. ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතා ද හමුවීමෙන් අනතුරුව, මහින්ද පිළිගැනීමේ විශේෂ උත්සවයට සහභාගි විය. ඊට ඉන්දීය ජනාධිපති රාම්නාත් ගෝවින්ද සහ අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාගි වූහ. අගමැති මහින්ද වෙනුවෙන් එහිදී ඉහළ පිළිගැනීමක් ලැබුණ අතර, හමුදා උත්තමාචාර ද පිරිනැමිණි. පිළිගැනීමේ උත්සවය හමාරවී පිටත්ව යාමට මහින්ද වාහනයට ගොඩවීමට පෙර ඉන්දීය අගමැති මෝදි එතැනට පැමිණියේය. මහින්දට සමුදෙමින් මෝදි කීවේ, දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට මේ සියලු දේවල් ඉවහල් වන බවකි. අගමැති මහින්ද මේ සංචාරයේදී නව දිල්ලියේ රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි ප්‍රතිමාවට ද පුෂ්පෝපහාර දක්වන්නට අමතක නොකළේය.


අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර හමුව මහින්දගේ ඉන්දීය සංචාරයේ සුවිශේෂ අවස්ථාවක් විය. මහින්දගේ නිල සංචාරය දෙවැනි දිනය වූ ඉකුත් අටවැනිදා දහවල් මේ හමුව පැවැත්වුණේ නවදිල්ලි නුවර පිහිටි හයිද්‍රාබාද් නිවසේය. අගමැතිවරුන් දෙදෙනා අතර හමුව මුලින් පැවැත්විණි. එය විනාඩි 10කට සීමා විය. අනතුරුව දෙරටේ දූත කණ්ඩායම් අතර හමුව පැවැත්විණි. ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ගැන මෙන්ම, දෙරටේ ආරක්ෂක සහයෝගිතාව ගැන ද එම හමුවේ දී වැඩි අවධානය යොමු විය. අනතුරුව ඉන්දීය අගමැතිවරයා මහින්ද ඇතුළු පිරිස වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය. මහින්ද මෝදිගෙන් සමුගන්නට පෙර, ඔහුට විශේෂ ස්තුතියක් ද පිරිනැමුවේ තමා බලයේ සිටින අවස්ථාවල දී මෙන්ම, බලය නොමැති අවස්ථාවලදී ද තමා එක ලෙස පිළිගනිමින් දැක් වූ අගන්තුක සත්කාර අගය කරමිනි. මේ අතර, අගමැති මහින්ද සමුගන්නට පෙර, හයිද්‍රාබාද් නිල නිවසේ සමරු සටහනක් ද තැබීය. සමරු සටහන තැබීමට යොදාගත් පෑන එවෙලේම රඳවනයක දමා මෝදි විසින් මහින්දට තිළිණ කරනු ලැබූවේ දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමිනි. එය හයිද්‍රාබාද් නිවසේ ඇති පැරණිම පෑන බව මෝදි අගමැතිවරයා මහින්දට පෑන තිළිණ කරන ගමන් කීවේය. මේ අතර, මෝදි මහින්දගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගැන ද විමසන්නට අමතක නොකළේය. මහින්ද කීවේ ඔහු මේ දිනවල අතිශය කාර්ය බහුල වී ඇති බවය.
මහින්දට ඉන්දියාවේ විශේෂ ආගමික ස්ථාන නරඹන්නට අවශ්‍ය පහසුකම් ද සූදානම් කර තිබුණේ‍ අගමැති මෝදිගේ උපදෙසිනි. ඒ සඳහා විශේෂ ගුවන් යානයක් ද වෙන්කර තිබුණෙ සියලු ආරක්ෂක විධීවිධාන ද සලස්වමිනි. ඉන්දියාවේ සිවුදින නිල සංචාරය හමාර කර මහින්ද ගිය අඟහරුවාදා දහවල් දිවයිනට පැමිණීයේ ඉන්දීය රජය විසින් දෙන ලද විශේෂ ගුවන් යානයකිනි. කටුනායකට ආ මහින්ද විශේෂ ගුවන් යානයේ පැමිණි කාර්ය මණ්‍ඩලයට ද විශේෂ තිළිණ පිරිනැමුවේ දැක් වූ සහයෝගය අගය කරමිනි. දිවයිනට පැමිණි අගමැති මහින්ද පිළිගනු ලැබූවේ ඇමැති ප්‍රසන්න රණතුංග විසිනි. ප්‍රසන්න සිය බාල දියණිය ද මහින්ද පිළිගන්නට කැඳවාගෙනවිත් තිබිණි.


ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ගිය බදාදා උදේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූයේ මාධ්‍යවේදීන්ට හා ගායක ගායිකාවන් ඇතුළු සංගීත ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ද තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණෙනි. ජනමාධ්‍යවේදීන් සඳහා වන පොලී සහිත ණය යෝජනා ක්‍රියාත්මක කිරීම මෙන්ම, ගීතවල කර්තෘ භාගය ගෙවීම ආදිය ගැන ද එහිදී සාකච්ඡාවට ලක්විය. බන්දුල මේ සාකච්ඡාවට එන්නට පෙර දිනයේ ගීත නිර්මාණ ක්ෂේත්‍රයේ කලාකරුවන් ඇතුළු පිරිසක් ද හමු වී සාකච්ඡාවක් පවත්වා තිබිණි. ඊට ජයන්ත ධර්මදාස, ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, මහාචාර්ය කෝලිත භානු දිසානායක, සුනිල් ආර්. ගමගේ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
ගීතවල කර්තෘභාගය සම්බන්ධව ප්‍රශ්නය එහිදී ද මතුවිය. බන්දුල කීවේ පසුවදා මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවන බැවින්, එහිදී සාකච්ඡා කර මේ ගැන තීන්දුවක් ගන්නා බවය. ඒ අනුව, ලබන 1 වැනිදා සිට කර්තෘ භාගය ගෙවන්නට බදාදා පැවැති සාකච්ඡාවේ දී ඇමැති බන්දුල හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ එකඟතාව පළවිය.


සතියේ කැබිනට් රැස්වීම ගිය බදාදා හැන්දෑවෙ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ දිනවල ඉහළ ගොස් ඇති සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ගැන එහිදී වැඩි අවධානයක් යොමු විය. බඩුමිල ඉහළ යාම නිසා ජනතාව අපහසුතාවට පත්ව සිටින බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රකාශ කළහ. එබැවින් බඩුමිල පහත දැමීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔවුහු කියා සිටියහ. ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීමට ද කැබිනට් මණ්‍ඩලය තීරණය කළේය. ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට ද උපදෙස් දුන්නේ ඒ සඳහා සහාය ලබාදෙමින්, මැදිහත් වන ලෙසය. සහල් මිල ගැන කතාබහට ඇමැති චමල් ද මැදිහත් විය. ඒ ඔහු කෘෂිකර්ම ඇමැතිවරයා ද වන බැවිනි. ඔහු කීවේ සහල් මිල විශාල ලෙස ඉහළ ගියේ පසුගිය රජය සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන නොගිය බැවින් බවය. එබැවින් මහකන්නයේ වී මිලට ගනිද්දී හදිසි අවස්ථාවල දී වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවන සේ සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යා යුතු බව ඔහු කීවේය.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත උල්පත් පෑන ග්‍රන්ථය දොරට වැඩුම කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පසුගිය සෙනසුරාදා අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අති විශාල ජනතාවක් මේ අවස්ථාවට සහභාගිවී සිටියහ. මේ අවස්ථාවේදී ආරාධිත දේශනය කළ ඩලස් අමාත්‍යවරයා අපූර්ව කථාවක් කළේය.   
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එක් කරන්නට සියඹලාපිටිය අමාත්‍යවරයාට තිබුණේ නියම කශේරුකාවක්. එතුමාගේ ඒ ශක්තිය නොතිබුණා නම් බොහෝ වෙලාවට මේ දෙක එකට යා නොවෙන්න තිබුණා. කවරුත් ඒ බව මතක තබාගත යුතුයි’ ඩලස් ඇමැතිවරයා කීවේය.