තවත් කොමිෂන් වාර්තාවක් ළඟදීම පාර්ලිමේන්තුවට


  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට සහතිකයක්

 

පාස්කු ඉරිද‌ා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඉකුත් සතියේ ද දේශපාලන කරළිය ගිනියම් කළේය. වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශ්වවලින් එල්ල වූයේ දැඩි විරෝධයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වාර්තාව හෙළා දකිමින් ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින්ම කීවේය. සමගි ජනබල වේගයත්, ජවිපෙ හා එජාපයත් වාර්තාව ගැන ප්‍රසාදයක් පළකළේ නැත. ආණ්ඩුව ද වාර්තාව ගැන නිල මතයක් තවම කියා නැත. ඔවුන් කීවේ මේක අපි පත්කරපු කොමිෂන් එකකුත් නෙවෙයි. අපේ කාලෙ වෙච්ච දේකුත් නෙවෙයි කියාය. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් සතිපතා පැවැත්වෙන පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී කීවේ පාස්කු වාර්තාව ගැන පක්ෂයේ මතය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවය. වාර්තාව ගැන අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු කීවේය.


මේ අතර ආණ්ඩුව පාස්කු ඉරිද‌ා ප්‍රහාර පිළිබඳ වූ වාර්තාවේ පිටපත් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට ද ඉකුත් සතියේ පිළිගැන්වීය. ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර එය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට මෙන්ම කාදිනල්තුමන්ට ද පිළිගැන්වීය. සඳුද‌ා වාර්තාව බාර දීමෙන් අනතුරුව කාදිනල්තුමා අඟහරුවාද‌ා මාධ්‍ය හමුවක් කැඳවීය. එහිදී කාදිනල්තුමන් සඳහන් කළේ පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට සම්බන්ධවූවන් හෙළිදරව් කර නැති බවය. සිද්ධියට සම්බන්ධ හා අනුබල දුන් අය මුදල් දුන් අය පිටුපස සිටි අය ලබන අප්‍රේල් 21 වැනිද‌ාට පෙර අත්අඩංගුවට ගත යුතු යැයි කාදිනල්තුමෝ කියා සිටියහ. එසේ නොකළොත් අප්‍රේල් 21 වැනිද‌ා සිට දිගටම විරෝධය පළකරන බව කාදිනල්තුමෝ කියා සිටියහ.


තවත් කොමිෂන් වාර්තාවක් ළඟදීම පාර්ලිමේන්තුවට


සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි ගිය සඳුද‌ා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහි මුලසුන ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ජනාධිපතිවරයා මෙවර ද පැමිණ සිටියේ කලින් සතියේ මෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් ද රැගෙනය. එය පාස්කු කොමිසමේ වාර්තාව නොව ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවය. එම කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ ද එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ජනාධිපතිවරයා කීවේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.


කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ද කැබිනට් රැස්වීමේදී කතාබහට ලක්විය. ජනාධිපතිවරයා කීවේ තවත් එන්නත් ලක්ෂ 5ක් ඉක්මනින්ම ගෙන්වා ගන්න කටයුතු කරගෙන යන බවය. ගෙනැවිත් ඇති එන්නත් ලබා දීම ද හොඳින් සිදුවන බව ජනාධිපතිවරයා කීවේය. මේ අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ සංචාරක ක්ෂේත්‍රයේ අයට ද ප්‍රමුඛතාව දී එන්නත දෙන ලෙසය. එය ඔහු සති ගණනාවක සිට කරන ඉල්ලීමකි. ඇවිත් තියෙන එන්නත්වලින් සංචාරක ක්ෂේත්‍රයේ අයට දිය නොහැකි බවත් ඊළඟට එන එන්නත්වලින් ඔවුන්ට දෙන බවත් ජනාධිපතිවරයා කීවේය. බස්නාහිර පළාතේ කොවිඩ් අවද‌ානම වැඩියෙන්ම ඇති ප්‍රදේශවල අයට එන්නත කලින්ම දිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියේය.


කොවිඩ් මෘතදේහ භූම‌ද‌ාන අවුල


කොවිඩ් වැළඳී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමද‌ානයට ඉඩදෙන්නැයි පසුගිය කාලය පුරාම ඉල්ලීමක් තිබිණි. එම කතාබහ මාස ගණනාවක් තිස්සේ ඇදී ගිය අතර ඉකුත් සතියේ කොරෝනා මෘතදේහ භූමද‌ානයට අවසර දෙමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරිණි. එහෙත් එය තවදුරටත් කල්ගියේ භූමද‌ානය කෙරෙන ස්ථානය කුමක්ද යන්න සහ ඊට අද‌ාළ මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් නොවීම හේතුවෙනි. අවසානයේ තීරණය වූයේ කොවිඩ් මෘතදේහ කිලිනොච්චියෙ පිහිටි ඉරණතිව් දූපතේ භූමද‌ාන කරන්නටය. ඊට අද‌ාළ මාර්ගෝපදේශ ද ගිය බද‌ාද‌ා රාත්‍රියෙ නිකුත් කෙරිණි. එහෙත් ගැටලුව වූයේ ඉරණතිව් දූපතේ කොවිඩ් මෘතදේහ භූමද‌ානයට එරෙහිව එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවීමෙනි. මෘතදේහ භූමද‌ානය සඳහා කපන ලද වළවල් පවා ඔවුන් විසින් වසා දමනු ලැබුවේ සිය විරෝධය පළකරමිනි. ආණ්ඩුවේ ඇමැතිවරයකු වන ඩග්ලස් දේවානන්ද ද ඉරණතිව්හිදී කොවිඩ් මෘතදේහ භූමද‌ානයට විරෝධය පළ කළේය. ඔහු කීවේ එම දූපත ජනතාව පදිංචිව සිටින ප්‍රදේශයක් බැවින් ඒ සඳහා වෙනත් දූපතක් තෝරා ගන්නා ලෙසය. අවසානයේ කොවිඩ් මෘත දේහ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරන්නට තීරණය විය.


විමල් ‘පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යයි


ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේ පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණේ මේ වන විට එළිදක්වා ඇති පාස්කු ඉරිද‌ා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳවය.’


ජනතාව බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියා පසුගිය ආණ්ඩුවෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය වෙයි කියා. ඇතැම් තොරතුරු අනාවරණය වී තිබුණත් ඒ පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැහැ. මේ ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන්, විදෙස් බලවේග පිළිබඳව එහි අන්තර්ගතව නැහැ. දැනට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරගෙන යන විමර්ශන මගින් හෝ ඒ නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේකට ගෑවුණු පිරිස් නීතිය හමුවට ගෙන ඒමත් අත්‍යවශ්‍යයි. ජනාධිපති කොමිසම කියන්නේ එක දෙයක් විතරයි. පොලිසිය තවමත් ප්‍රමාද වැඩි නැහැ නීතිය ක්‍රියාවේ යෙදවීමට. අපි මේ කාරණය ජනතාව හමුවේ පැහැදිලි කළ යුතුයි.’ ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය.


මෙහිදී සාකච්ඡා වූයේ පාස්කු ඉරිද‌ා ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන එන ලෙස ඉල්ලමින් සිදුකරන බලපෑම් සාධාරණ බවය. එසේම ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංවිධානය හෙවත් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය ජානිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සමාජ මාධ්‍ය නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී තම සංවිධානය අන්තවාදී සංවිධානයක් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘කනගාටුව’ පළ කරමින් එවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
‘මාගේ විවේචනය අදටත් එහෙමමයි. ඒ සංවිධානය තමයි සාම්ප්‍රද‌ායික මුස්ලිම් ජනතාවට අරාබි සංස්කෘතික ලක්ෂණ එන්නත් කරනු ලැබුවේ. මට මේ ලිපිය යොමුකර ඇත්තේ එම සංවිධානයේ වැඩ බලන ලේකම් තාසිම් මවුලවි. ඔහුගේ අන්තවාදීන් සමග පැවැති සමීප සබඳතා මේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ කිහිප තැනක කියවෙනවා. එක තැනක කියැවෙනවා. ‘මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය’ පිළිබඳ විමර්ශනවලට බලපැම් කළ අසාත් සාලි සමග තාසිම් මවුලවි ද සිටි බව. ඒ වගේම මේ තාසිම් මවුලවි 2019 අප්‍රේල් 21 වැනිද‌ා ‘ට්‍ර්‍රොපිකල් ඉන්’ තානායමේදී මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියාගේ ඥ‌ාති සොහොයුරා බව ද ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි. කොමිෂන් සභා වාර්තාවෙන් තහනම් කළ යුතු යැයි නිර්දේශ කර ඇති ඉස්ලාම් ජමාතේ, තවුහිත්. තවුෆික් යන මතවාද තුනම මේ උලමා සභාව විසින් පිළිගනු ලබනවා. මෙමගින් මගේ විවේචනය තව වටයකින් තහවුරු වී තිබෙනවා.’ මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.


මේ සියලු අන්තවාදී ප්‍රවණතා පරදවා ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගත යුතු බවත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කඩිනම් කළ යුතු බවත් මෙහිදී තීරණය විය. ඒ අනුව එහි පළමු පියවර ලෙස ප්‍රසිද්ධ දේශන මාලාවක් පැවැත්වීමට ජානිපෙ දේශපාලන මණ්ඩලය සූද‌ානම් වේ. ‘ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යන මැයෙන් එම දේශන මාලාවේ පළමුවැන්න මාර්තු 09 වැනිද‌ා සවස 3.30 ට කොළඹ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.


එසේම 7 වැනිද‌ාට යෙදෙන විමල් වීරවංශ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් කඩුවෙල, කොරතොට රජමහා විහාරයේදී මහා සංඝරත්නය විෂයෙහි ද‌ානමය පින්කමක් ද සංවිධානය කිරීමට එහිදී තීරණය විය.


ජනපති - ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හමුවෙයි  


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පකෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් පසුගිය සතියේ හමුවිය. ඒ කණ්ඩායම් තුනක් ලෙසය. ජනාධිපතිවරයා හා මන්ත්‍රීවරුන් අතර පළමු හමුව පසුගිය බද‌ාද‌ා ද, දෙවැනි හමුව පසුගිය බ්‍රහස්පතින්ද‌ා ද පැවැත්විණි. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (08) හමුවීමට නියමිතය. ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් අතර මේ හමුව පැවැත්වෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය. ගිය බ්‍රහස්පතින්ද‌ා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර, මේ දිනවල ආන්දෝලනයට ලක්ව සිටින ගාල්ලේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාද විය. අලුත් මන්ත්‍රීවරුන්ට අමතරව, මහාචාර්ය තිස්ස විතාරණ, ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුද වූහ.  


එහිදී අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා කීවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගන්න තීන්දු සමඟ සිටින බවය. ‘‘ජනතාව ඔබතුමා පත්කළේ තීන්දු ගන්න. ඒ ගන්න තීන්දු එක්ක අපි පසුපෙළ විදියට ඔබතුමා සමඟ සිටිනවා’’ යැයි ප්‍රමිත කීවේ සාකච්ඡාව ලබාදීම ගැන ජනාධිපතිවරයාට ස්තුතියද පළ කරමිනි.  


මේ අතර චන්දිම වීරක්කොඩි, මහාචාර්ය තිස්ස විතාරණ, ජගත් පුෂ්ප කුමාර, අංගජන් රාමනාදන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද අදහස් දැක්වූහ. චන්දිම තමන්ට ඇති දුක්ගැනවිල්ල කියන්නට විය. හබරාදූව පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැන ඔහු නෝක්කාඩුවක් කීවේය. ඒ අතර තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කීවේ සමහර අය ආණ්ඩුවේම ඉඳන් ආණ්ඩුව විවේචනය කරන්නේ ලාබෙට ජනප්‍රිය වීමට බවය. ජනාධිපතිවරයාද ඒ කියූ දේවල් අසා සිට සමහර ඒවා සටහන් කරගත්තේය.  


පළාත් සභා ඡන්දයට සූදනම  


වසර ගණනාවක් තිස්සේ කල්යමින් තිබෙන පළාත් සභා මැතිවරණය ලබන ජුනි මාසයේ පවත්වන්නට යන බවට ගිය සතියේ රාවයක් පැතිර ගියේය. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, පළාත් සභා මැතිවරණය හැඳින් වූයේ අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කියාය. කෙසේ හෝ පළාත් සභා ඡන්ද කතාව ගිය සතියේ අහම්බෙන් මෙන් කරළියට ආවේය. දේශපාලන පක්ෂ කියන්නේද පළාත් සභා ඡන්දයට තමන් සූදානම් බවය. පළාත් සභා ඡන්දය පැවැත්වීමට නම් ඡන්දය තියන්නෙ කුමන ඡන්ද ක්‍රමයටද යන්න තීරණය කළ යුතුය. පැරැණි ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට නම් දැනට සම්මත කර ඇති කොට්ඨාස අනුපාත මිශ්‍ර ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුය. දැනට සම්මත කර ඇති කොට්ඨාස අනුපාත ඡන්ද ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම් සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කළ යුතුය. එහෙත් මේ දෙකෙන් කුමන ක්‍රමයකට ඡන්දය තියන්නේද යන්න ආණ්ඩුව තවමත් තීරණයක නැත.   
මේ අතර පළාත් පාලන ඡන්දය ද ලබන වසරේ මුලදී පවත්වන්නට ආණ්ඩුවට සිදුවේ. 2018 පෙබරවාරි පැවැති පළාත් පාලන ඡන්දයෙන් පිහිට වූ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වේ. ඒ අනුව පෙබරවාරි හෝ අප්‍රේල් වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වන්නට ආණ්ඩුවට සිදුවෙනු ඇත. 

 
ආයුර්වේදයට රාජ්‍ය අනුග්‍රහය


ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය පසුගිය සතියේ විශ්වවිද්‍යාලයක් බවට පත්විය. එය මෙරට ආයුර්වේදය සඳහා වෙන් වූ පළමු විශ්වවිද්‍යාලය වන අතර, මෙරට 16 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලයද වේ. නව විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත්කිරීමේ නිල උත්සවය ගිය බ්‍රහස්පතින්ද‌ා හැන්දෑවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.   
මෙරට ආයුර්වේද ක්‍රමයට ඇති පිළිගැනීම ගැන අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පැහැදිලි කළේ උද‌ාහරණ කිහිපයක්ද ගනිමිනි. ඔහු කීවේ ජර්මනියේ හිටපු චාන්සල්වරයකු වූ හෙල්මුට් කෝල්ද මෙරටට පැමිණ ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් බවය. එපමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු සිංගප්පූරුවේ තම හිතවතකු වන අැමැතිවරයකුද මෙරටට පැමිණ ආයුර්වේද ප්‍රතිකාර ගන්නට පුරුදුව සිටි බව ජී.එල්. කීවේය. 

 
චන්දිම වීරක්කොඩිගේ විරෝධය  


චන්දිම වීරක්කොඩි පසුගිය ආණ්ඩුවල හිටපු ඇමැතිවරයෙකි. ඔහු කලක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයද හෙබවීය. මෙවර පොහොට්ටු ආණ්ඩුවේ ඔහුට තනතුරක් ලැබී නැත. ඔහුට ගාල්ලේ පොහොට්ටුවේ අයගෙන්ම කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව ඔහු පසුගියද‌ා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පැහැදිලිය. හබරාදූව පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය මෑතකදී රැස් වූ නමුත්, චන්දිමට ඒ සඳහා ආරාධනයක් ලැබී නැත. ඔහුගේ විරෝධයට ආසන්නම හේතුව එයයි. රමේෂ් පතිරණ, මොහාන් සිල්වා ඇතුළු මැති ඇමැතිවරුන්ද සහභාගි වූ බලමණ්ඩල රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැන චන්දම සිටියේ කලකිරීමෙනි. ඔහු ගිය සතියේ ගාල්ලේදී ඒ ගැන අදහස් දැක්වීය. ඔහු කීවේ මේ ආණ්ඩුව ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බවය. ආණ්ඩුව ජනතා මතයට කන්නොදී කටයුතු කරන බවට ඔහු චෝදනා කළේය. 

 

සජබ හරිත වූ කතාව

අපි හොඳින් දන්නවා වර්තමානයේ තිබෙන තත්ත්වය තුළ පරිසරයට විවිධාකාර අභියෝග, අගතිගාමී බලපෑම් එල්ලවෙන කාලවකවානුවක්.


පසුගිය සතියේ සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගය ඓතිහාසික තීරණයකට එළඹියේය. ඒ සමගි ජනබලවේගය හරිත පක්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ය. ඉතාම දැඩි පරිසරවේදියකු වන සජිත් පරිසරය පිළිබඳව සංවේදී පුද්ගලයෙක්ද වෙයි. ඒ අනුව, ජාත්‍යන්තර වනජීවී දිනයට සමගාමීව සමගි ජනබලවේගය හරිත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය.


සජිත් උත්සව සභාවට එන අතරේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්වහන්සේ ද උත්සවයට වැඩම කරමින් සිටි අතර උන්වහන්සේ දෙපසින් තිබූ වනජීවී ඡායාරූප කිහිපයක් නරඹමින් සිටියහ.


“මේ ඉන්නේ ලොකුම අලියා. ඊට පස්සේ මේ ඉන්නේ කාවන්තිස්ස”‍
සජිත් අනුනාහිමිපාණන්වහන්සේට පැහැදිලි කළේය.
“සර් කොහොමද මෙයාලව අඳුරගන්නේ”‍
කාවින්ද ඇසුවේය.


“මේ අය ගැන අවධානයෙන් ඉන්නකොට අඳුරගන්න ලේසියි. අනික සතාගෙන් සතාට සියුම් වෙනස්කම් තියෙනවා”‍


සජිත් කීවේය.


අනතුරුව ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනයට විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබීය.


මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා ද, ඉන්දියානු මහකොමසාරිස්තුමාද, දේශපාලන නායකකාරකාදීන් රැසක්ද, ආදිවාසීන් නියෝජනය කරමින් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
පාරිසරික සුරක්ෂිතතාව සහ වන ජීවි සංරක්ෂණයෙහි වැදගත්කම පිළිබඳව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වූ අතර සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවට පත් කිරීමෙහි වැදගත්කම ද අවධාරණය කරනු ලැබීය.


“මට නම් අද ඓතිහාසික දිනයක්. අපි හොඳින් දන්නවා වර්තමානයේ තිබෙන තත්ත්වය තුළ පරිසරයට විවිධාකාර අභියෝග, අගතිගාමී බලපෑම් එල්ලවෙන කාලවකවානුවක්. පරිසරයට අගතිගාමී බලපෑම් එල්ල වුණේ අද ඊයේ පමණක් නෙමෙයි. නිදහස් ශ්‍රී ලංකාවේ සෑම රජයක් යටතේ ම සංවර්ධනයට ප්‍රමුඛතාවය ලැබීම නිසා යම් මට්ටමක පරිසර හානි, සත්ව වාසස්ථාන අහිමි වීම, ඒ වගේම පරිසර දූෂණ විවිධ ආකාරයට ක්‍රියාත්මක වුණා. එහෙම එකේ ජාත්‍යන්තර වනජීවී දිනය දවසේ සමගි ජන බලවේගය ශ්‍රී ලංකාවේ හරිත පක්ෂය බවට එහෙමත් නැත්නම් green party එක බවට අද පරිවර්තනය වුණා. ඒක ලොකු සතුටක්”‍
සජිත් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සමග කීවේය.


“අපි ආදර්ශයෙන්ම හරිත ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියමු. මේක කාලීන වැඩක්”‍


රංජිත් කීවේය


“ගෝලීය උෂ්ණත්වය එන්න එන්නම වැඩි වෙනවා. ඒවගේම කාබන් උරා ගැනීම එහෙමත් නැත්නම් carbon absorption එක අද කැලෑ විනාශය නිසා අඩු වෙමින් පවතිනවා. කුඩා කල සිටම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය තුළ අපි හැමෝම ඉගෙන ගත්ත දෙයක් තමයි වන සම්පතත් රටේ ආහාර නිෂ්පාදනයත් අතර සෘජු සබඳතාවක් තිබෙනවා. මෙන්න මේ තත්ත්වයන් අවබෝධ කරගෙන සමගි ජන බලවේගය නව දේශපාලන ප්‍රගතිශීලී බලවේගයක් හැටියට පරිසරය කියන විෂය සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණයට ලක් කොට ජන සමාජයේ හැමදෙනාම පරිසර සුරක්ෂා ගමනේ කොටස්කරුවන් බවට පත් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා”‍ සජිත් සිය දේශනයේදී කීවේය.


ඒ වගේම සමගි ජනබලවේගයේ පරිසර කමිටුව ගැනද ඔහු මතක් කළේය.


“මේ වැඩපිළිවෙළ තුළ මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනැ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඉතාමත්ම අහම්බෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මම ප්‍රකාශයක් කළා පරිසර ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන්නට කැමැති මන්ත්‍රීවරු ඉදිරිපත් වෙන්න කියලා. එතනදි අපේ නලින් බණ්ඩාර මැතිතුමා, බුද්ධික පතිරණ මැතිතුමා, කාවින්ද ජයවර්ධන මැතිතුමා, මයන්ත දිසානායක මැතිතුමා, රෝහිණී කවිරත්න මැතිණිය මේ පස්දෙනා ඉදිරිපත් වුණා. මම ස්වකීය කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු ඒ පස් දෙනාගෙන් සමන්විත වූ පාර්ලිමේන්තු පරිසර ඒකකයක් අද ස්ථාපනය කරලා තිබෙනවා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ. ඒ වගේම විපක්ෂ නායක කාර්යාලයේ පරිසර ඒකකයකුත් අපි වෙනම ම වෙන් කරලා තිබෙනවා. මේ වැඩ සටහනේ ජාතික සංවිධායකවරයා හැටියට අපි තෝරගත්ත අපේ දිලු‍ම් අලගියවන්න මැතිතුමා. එතුමා ඉතාමත් ම වැදගත් ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලබපු, පිළිගැනීමට ලක්වුණු, මින්නේරිය අලි එකතුව පිළිබඳව චිත්‍රපටයක් හදපු, ඒ වගේම වනජීවී ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් තිබෙන පරිසරවේදියෙක් අපේ වැඩසටහනේ ජාතික සංවිධායකවරයා හැටියට අපි නම් කරගත්තා.”‍ සජිත් කීවේය.


ත්‍රිමලේ දමිළ තරුණයන් එජාප නියෝජ්‍ය නායකයාට කී දේ


කින්නියාහි විල්ගම් වෙහෙරට එකල එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳ වීඩියෝ දර්ශන නැරැඹීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පසුගිය සතියේදී අවස්ථාව ලැබිණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එහිදී කන්තලේ ගාන්ධි හෝටලයේදී පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයන් හමුවිය. සමන් රත්නප්‍රිය, අාශු මාරසිංහ, සන්දිත් සමරසිංහ යන හිටපු මන්ත්‍රීවරුද මේ අවස්ථාවට සහභාගි වූහ.


මෙම රැස්වීමේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව ගැන කතා කළ රුවන් විජයවර්ධන මහතා මෙම ඝාතනය සිදු කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳවත් තොරතුරු මෙම වාර්තාවෙන් පෙන්වා දී නැති බව ප්‍රකාශ කළේය. මෙම වාර්තාව ගැන ජනතාව තුළ විශ්වාසයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
එම රැස්වීමෙන් පසු සේරුවිල රජ මහා විහාරයට ගොස් වැඳ පුදාගත් විජයවර්ධන මහතා කින්නියා විල්ගම් වෙහෙරට පැමිණියේය. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලින් බරපතළ ලෙස හානියට පත් මෙම විහාරයේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාර පිළිබඳ වීඩියෝ දර්ශනයක් නැරැඹීමටද ඒ මහතාට අවස්ථාව උදා විය. එම දර්ශනවලින් බලවත් සංවේගයට පත් ඔහු එහිදී විහාරස්ථානයේ සංවර්ධනයට කළ යුතු දේ පිළිබඳ විමසා බැලීය. එහිදී කුඩා වෙහෙර විහාරවලට ආධාර කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටියහ. රුවන් විජයවර්ධන මහතා එම ඉල්ලීමට එකඟතාවය පළ කළේය.


ඉන්පසුව ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ දමිළ තරුණයන් සියයකට ආසන්න පිරිසක් රුවන් විජයවර්ධන මහතා හමුවූහ. තම ප්‍රදේශවල මාර්ග සංවර්ධනයක්වත් සිදු නොවන බව පෙන්වා දුන් තරුණ පිරිස රජය තම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු නොකරන බවද ප්‍රකාශ කළහ. තරුණ පෙළේ ක්‍රීඩා හැකියාව දියුණු කර ගැනීමට උදව් කරන ලෙසටද මෙහිදී තරුණ පිරිස ඉල්ලා සිටි අතර එහිදී රුවන් විජයවර්ධන මහතා ඔවුන්ට වොලිබෝල මිලදී ගැනීමට මුදල් පරිත්‍යාග කළේය.


මීට අමතරව වොලිබෝල් ක්‍රීඩාව සඳහා පිටියක් සෑදීමට උදව් කිරීමටද එකඟ වූ අතර ඒ සඳහා ව්‍යාපෘතියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අදාළ අයට උපදෙස් දුන්නේය.


ඒ මහතා පසුගිය සතියේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සංවිධායකයන් හමුවීමද සිදුවිය. එහිදී සංවිධායකවරුන් රුවන් විජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ වෙනත් පක්ෂවලට සහාය දක්වන අය පක්ෂයෙන් ඉවත් කරන ලෙසටය. මෙහිදී රැස්ව සිටි ජනතාව අමතා රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම මත සියයට 20 කට කොරෝනා එන්නත ලබාදීමට නියමව ඇතත් මෙතෙක් එන්නත් ලබාගෙන ඇත්තේ ලක්ෂ 5ක ප්‍රමාණයක් බවයි. රජය මුදල් සොයාගෙන සියලු ජනතාවට එන්නත ලබාදිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාද සහභාගි විය.


ඉන්පසු​ සෝමාවතී චෛත්‍ය අභියසදී රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද පිංකමකටද සහභාගී විය.
ඩී.එස්. සේනානායක සමරු උත්සව රටපුරා පැවැත්වීමටද රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේදී සාකච්ඡා කෙරිණි.

 

 

- ගජබා -