උපන් දිනයට අගමැතිගෙන් රටට තෑග්ගක්


ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ දිනයක් විය. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ජන්ම දිනය එදිනට යෙදී තිබීමය. සාම්ප්‍රදායික උපන් දින සැමරුම් වෙනුවට ඔහු එදින හම්බන්තොට දී ඉතිහාසයේ මෙරටට ලැබුණු ඩොලර් බිලියන 4ක දැවැන්ත ආයෝජනය සඳහා මුල්ගල් තැබීය.


ඕමාන් සහ සිංගප්පූරු රජය සහ සමාගම් එක්ව එකී ආයෝජනය දියත් කළ අතර 1967න් පසු මෙරට බිහි කරන තෙල් පිරිපහදුව හා විශාල සිමෙන්ති කම්හල ඊට අයත්ය. ඇමැති සජිත් ප්‍රේමදාස ඒ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්තිමත් පදනම දමා තිබිණ.


“ඕමාන් රජය මේකට සම්බන්ධ නැහැ කියා පොහොට්ටුවේ අය මඩ ගැහුවත් එරට ඛණිජ තෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍යවරයා උත්සවයට ඒමෙන් ඔවුන්ගේ කට වැහුණා”, සජිත් ප්‍රේමදාස කීවේ එවැන්නකි.


උත්සවය නිමකළ අගමැතිවරයා හා ඕමාන් ඇමති කොළඹ පැමිණ තීරණාත්මක සාකච්ඡා වටය ද නිම කළේය.


අනතුරුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැසක් අරලියගහ මැදුරට කැඳවූ අගමැතිවරයා ඔවුන්ගේ අවශ්‍යතා රාශිය ඉටුකිරීමට පියවර ගත්තේය. එසේම එදින රාත්‍රියේ තම පවුලේ හිතවතුන් සමග උපන් දිනය සැමරීමට ද ඔහු අමතක කළේ නැත.


සඳුදා උදෑසන විශේෂ ආරාධිතයන් රැසකට තම උපන්දිනය වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහය අරලියගහ මැදුරේ දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණ.
තවද එදින රාත්‍රියේ ආණ්ඩුවේ මැති-ඇමතිවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන්, තනාපතිවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසට රාත්‍රී භෝජන සංග්‍රය ද අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවේ දී සංවිධානය කර තිබිණි.


“අගමැතිතුමා මනාප ලක්ෂ 5 ඉක්ම වූ එකම දේශපාුලකයායි. පස් වරක් අගමැති වූ අගමැතිතුමා ලංකා විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත් එකම නායකයායි. ගුරු විද්‍යා පීඨ, තරුණ සේවා සභාව, ආයෝජන කලාප වගේ විශාල සේවා රැසක් කර පක්ෂ නායක ලෙස දීර්ඝම කාලය සිටියේත් රනිල් අගමැතිතුමායි. ඔහු හොරකමට හා මැරකමට විරුද්ධ හා ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස හා සියලු ජාතීන්ගේ මානව හිමිකම් රකින්න වගේම ජාත්‍යන්තර සබඳතා තර කරන්නත් කැපවූ ප්‍රධානතම ලාංකිකයායි”, ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් උණුසුම් ප්‍රතිචාර ලැබිණ.


බ්‍රහස්පතින්දා උදේ ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන ඇතුළු නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවට එක්වූ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි සෙසු මැති ඇමතිවරුන් සමග ද කතා බහ කළේය.


“ගහෙන් ගෙඩි එන්න වගේ විදුලිය කපපු එක හරි ප්‍රශ්නයක්. රවීටත් මේකෙන් ගැළවෙන්න විදියක් තිබුණෙ නැහැ. ඔහුගේ ඔඩොක්කුවට සියල්ල කඩාපාත් වුණා.” දයා ගමගේ කීවේය.


“පහුගිය වසර හතරේම විදුලිය තිබුණේ ශ්‍රීලනිප ඇමැති කෙනෙකු අතේයි. මේක ගැටගහගෙන ගියා මිස දිගු කාලීන කිසි දෙයක් අප කියපුව කෙරී නැහැ. ඒත් වගකීම ශ්‍රීලනිපයට පවරා අපට අත හෝද ගන්න බැහැ. ආණ්ඩුව හැටියට අපට වගකීම භාර ගන්න වෙනවා” අගමැතිවරයා කීවේ බැරෑරුම් ලෙස නළල රැළි ගන්වමිනි.


“හැබැයි මේ ඇමැතිකම ඒ කාලෙ බැරි වෙලාවත් එජාපෙ කෙනෙකුට තිබුණා නම් ශ්‍රීලනිප ඉහළ සිට පහළ අය අද කතා කරන හැටි බලන්න තිබුණා. ඒත් එජාපෙ අප සාමූහික වගකීම බාර ගන්නා බව අගමැතිතුමා කියන එක ඉතාම වැදගත්”, චමින්ද විජේසිරි කීවේය.


“අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය ක්ෂණිකව එන්න තිබූ විදුලි හිඟය ගැන බැලුවේ නැති එක අඩුපාඩුවක්. ජෙනරේටර් තියන අයට ඒවා පාවිච්චිය දිරිමත් කරන්න මණ්ඩලය ගෙවීම් කරන බවට මීට වඩා රට දැනුවත් කරන්න ඕනෑ. අමාත්‍යාංශයේ හා මණ්ඩලයේ නිලධාරීන් කියන දේම අහලා මේක කරන්න බැහැ.” දයා ගමගේ කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


“බැඳුම්කරයට අදාළව තව කිහිප දෙනෙකු ඇතුළට ගත්තා. ඔවුන් ඒ සමාගම්වල සාමූහික වගකීම් දරපු නිලධාරීන් වනවා. ජනතාව කැලඹෙනවා කියා ඔවුන්ට ඇප නොලැබීම ගැන නීති ක්ෂේත්‍රය මවිත වෙනවා.”


“පොහොට්ටුවේ මහ හොරුන්ට ඇප දෙනවිට ජනතාව කැලඹෙන්නෙ නැද්ද දන්නේ නැහැ” හේෂා විතානගේ කීවේය.


“එල්.එන්.ජී. ප්ලාන්ට් තුනක් ඉන්දියාව-චීනය හා ජපානයෙන් එන්න තිබුණා. ඒත් ඒවා වෙලාවට නොකිරීමත් විදුලි අර්බුදයට හේතුවයි. සූර්ය බල ශක්තියටත් මීට වඩා අවධානය යොමු නොකෙරුවේ ඇයි? විදුලිබල මණ්ඩලයේ රස්සාවල් දීලා විතරක් විදුලි අර්බුද විසඳන්න බැහැ” යයි කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.


“ජිනීවා අල්ලලා ජනාධිපතිතුමා එක පාරට ලොකු ප්‍රහාරයක් දුන්නා. වසර දෙකක් අපට නිදහසේ වැඩ කටයුතු කර ගෙන යන්න ඉඩ දීපු එක එතුමා මතක් නොකිරීම පුදුමයි”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.


“2002 එජාප ආණ්ඩු කාලෙදී රෝම ප්‍රඥප්තිය රනිල් අගමැතිතුමා අත්සන් නොකළ නිසා රටේ රණවිරුවන් හා දේශපාලකයින් කිසිම කෙනෙකුට ගැටලු ඇති වෙන්නෙ නැහැ කියා ශ්‍රීලනිපයේ මහින්ද සමරසිංහ මතක් කළ එක කවුරුත් හිතට ගන්න ඕනෑ”, මුජිබර් රහුමාන් කී දේ සියලු දෙනා අනුමත කළහ.


“ජනාධිපතිතුමාට තමන්ගේ ස්ථාවරය කියන්න අයිතිය තිබෙනවා. ජිනීවා තානාපති අත්සන් කළේ යෝජනාවටයි. වැදගත් වෙන්නේ ඒ යෝජනාව නොවෙයි. ජිනීවා වාර්තාවයි. ලංකාව ඒකට අත්සන් කර නැහැ. වාර්තාවයි, යෝජනාවයි පටලවා ගන්න නරකයි.”, එජාප නීති නිලධාරියෙක් කීය.


“ශ්‍රීලනිපයේ අති බහුතරය ආපහු ජාතික ආණ්ඩුව හදන්න උනන්දුයි.”, දයා ගමගේ කීවේ අගමැති දෙස බලාය.


“ඔව් ඒ ගැන නිල නොවන මට්ටමේ සාකච්ඡා යනවා. අපි බලමු. වඩාත් හොඳ දේට ප්‍රමුඛත්වය දෙමු”, අගමැතිවරයා කීවේය.


“හැබැයි ඉස්සර වගේ මැති-ඇමැතිකම් හා වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුවට කකුල් මාට්ටු දාන, බොරු විවේචන කරන අයත් එක්ක නම් ඔය ජාතික ආණ්ඩු වැඩක් නැහැ. “සාමූහික වගකීම් දරමින් හදවතින්ම ආණ්ඩුවේ කටයුතුවලට හා ජනතා සේවයට කැපවෙන ජාතික ආණ්ඩුවකුයි, යළිත් බිහි කරනවා නම් බිහි කළ යුත්තේ”, දයා ගමගේ කී කතාව අගමැති ඇතුළු සියලු දෙනාම අනුමත කළහ.