සයිප්‍රසයේ විදේශික ශ්‍රමිකයෝ සහන පතා පෙළපාළි යති


 

යුරෝපා සංගමයට අයත් රටක් වන සයිප්‍රස් රාජ්‍යයෙහි සේවයෙහි නියුතු ශ්‍රී ලංකා, පිලිපීන, නේපාල්, වියට්නාම්, ඉන්දිය යන ශ්‍රමිකයින්ගේ එකමුතුවෙන් උද්ඝෝෂණ පෙලපාලියක් පවත්වනු ලැබීය. 2019-10-13 වැනි ඉරු දින උදෑසන නිකෝසියා සීතා උද්‍යානය අසලින් ආරම්භ වූ මෙම පෙලපාලිය ප්‍රධාන කම්කරු කාර්යාලය ඉදිරිපිටට ගමන් කර උද්ඝෝෂණ කළ අතර සමාජ රක්ෂණ දෙපාර්තුමේන්තුව වෙතද පැමිණ තම තමන්ගේ සේවයට අදාළ නීතිමය ගැටලු සහ සමාජ ආරක්ෂණ රක්ෂණ මුදල, විශ්‍රාම වැටුප් යන අයිතීන් වෙනුවෙන් සංදේශයක් භාර දෙන ලදී. 


ඇත්ත වශයෙන්ම මෙම ගැටලු සයිප්‍රස්හි සේවයෙහි නියුතු අප ශ්‍රී ලාංකික ජනතාවටද බොහෝ සේ බලපාමින් තිබෙන අතර මේවන තෙක් කිසිදු විසඳුමක් ලැබී නැත. දශක 4ක කාලයක සිට එනම් 1980 පටන් මෙරටෙහි සේවය කරන ශ්‍රී ලාංකික අයට ඔවුන්ගේ සමාජ ආරක්ෂණ රක්ෂණ මුදල වෙනුවෙන් විටින් විට හඬ නැගුවද ඒ ඒ කාලවකවානු වලට අයිති රාජ්‍ය නිලධාරින්ද මෙහි පැමිණි අවස්ථාවන්හිදී මෙම කාරණය ඉදිරිපත් කළද සුබදායී පිළිතුරක් තවම ලබා දී නොමැති අතර මෙම ලිපියෙන්ද අපගේ මෙම ගැටලුවට යහපත් බලාපොරොත්තුවෙන් එ් ගැන නැවත අවධාරණය කර සිටින්නෙමු.   


කෙසේ වෙතත් පසුගිය ඉරුදින පැවති මෙම උද්ඝෝෂණ ව්‍යපාරයට ප්‍රමුකත්වය ගෙන ක්‍රියා කළේ කීසා ආයතනයේ අධ්‍යෂ වන ඩෝරොස් පොලිකාපි මහතා සහ නිකොලත්තා කරලම්බුස් මහත්මිය ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මල්කාන්ති පාපායෝර්ගියෝ මහත්මිය ද (භාෂා පරිවර්තක) යන අයයි. අප සැම වෙනුවෙන් පෙරමුණ ගත් අයට ස්තුති වේවා. 

 

 

 
විමලා යාපා   
නිකෝසියා, සයිප්‍රස් සිට