සම්බුදු තෙමඟුල වෙනුවෙන් පින්කම් මාලාවක් රෝම ශාක්‍යමුණි විහාරයේදී


අසිරිමත් සම්බුදු තෙමඟුල වෙසක් පුන් පෝ දින අප්‍රේල් මස 29 වැනි ඉරු දින රෝමයේ ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුශාසකත්වයෙන් ආගමික කටයුතු රාශියක් සිදුකළහ.  


එදින පෙරවරු 9ට ආරම්භ කළ වැඩසටහන් අතර ශීල භාවනා වැඩසටහන, ධර්මානුශාසනා, දහවල් සම්බුද්ධ පූජාව, සවස් භාගයේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට ගිලන්පස මල් පහන් බෝධි පූජාව ද සිදුකළ අතර මසකට වරක් පවත්වන ශීල භාවනා වැඩසටහනේදී කටුවන සිද්දත්ථ හිමියන් සූත්‍ර පිටකයේ සඳහන් සූත්‍රයක් සිංහල බසට පරිවර්තනය කර ඉතාම පැහැදිලිව සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට තේරුම් කරදීම බොහෝම පින් සිදුවන මැදහත් දහම් කටයුත්තකි.  


ඒ අනුව වෙසක් පෝ දිනයේ ස්වාමීන් වහන්සේ සිල් ඇත්තන්ට පැහැදිලි කර දුන්නේ ‘පචලායන’ සූත්‍රයයි. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන පචලායන සූත්‍රය මුගලන් මහ රහතන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව අප ස්වාමීන් වහන්සේ සිල්වතුනට පැහැදිලි කර දුන්හ. තවද එහි අන්තර්ගතය වන්නේ නිදිකිරා වැටීමේදී එය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළයුතු පියවර හතකි.  


ශාක්‍යමුණි විහාරයේ දායිකාවන් දෙදෙනකු වූ දිල්රුක්ෂි විජේරත්න සහ ඩබ්ලිව්.ඩී. ඉන්ද්‍රානි මහත්මීන් දෙදෙනා විසින් වෙසක් පුන් පෝ දිනයේ දහවල් සම්බුද්ධ පූජාව මහා සංඝරත්නයට දහවල් දානය සහ සිල් සමාදන් වුණු සිල්වත් උපාසක උපාසිකාවන්ට දහවල් දානය පිළිගැන්වූහ. දිල්රුක්ෂි විජේරත්න මහත්මිය මියගිය සිය පියාණන්ට පින් අනුමෝදන් කර අටපිරිකරක් ද පූජා කළ අතර ජීවත්ව සිටින තම මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි ප්‍රාර්ථනා කළාය. ඩබ්ලිව්.ඩී. ඉන්ද්‍රානි මහත්මිය තමන්ගේ මියගිය දෙමාපියන් ද ඥාති සමූහයා ද සිහිපත් කරමින් සිවුරු පිරිකර පූජා කර පින් අනුමෝදන් කළාය.  
දානය පිළිගත් උපාසක උපාසිකාවන් ඒ අැත්තන්ට පින්දීමෙන් යුතුව ආශිර්වාද කළහ.  


එතෙර රටක සිටිය ද දනට පිනට ආගමික වතාවත්වලට කැමැති බෞද්ධ ශ්‍රී ලාංකික පිරිස සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ශාක්‍යමුණි විහාරයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීම ගැන සතුටු වෙමු.  

 

 

 


ප්‍රේමා කංකානම්ගේ  
රෝමය