සංගණන මහත්තුරු එන්නේ හෙට ය


 

සංගණන මහත්තුරු එනවා කියන්නේ හෙට ය. මගේ සිත සංසුන් නැත. කොළ පිරවීමට ඒ මහත්තුරු බොහෝ ප්‍රශ්න අසනවා යයි කියති. ඒ මහත්තුරුන්ට කියන්ඩ තරම් දෙයක් අපට නැත. අපේ තාත්තාට හරිහමන් රස්සාවක් නැත. අම්මා සල්ලි ගේන්න රට ගියා ගියා ම ය. මල්ලී ඉස්කෝලේ යන්නේ වැරහැළි ඇඳුමෙන් ය. සංගණන මහත්තුරු අපේ පැළට එබී බලනවා නම් සියල්ල පෙනෙනවා ඇත. අපි හංගන දේ ද දැනගන්නවා සිකුරු ය. 


අම්මා ඉඳහිට එවන මුදල තාත්තාට කසිප්පු වලටම හරිය. තාත්තා බීම නතර කරන්නේ ද නැත. ආච්චිගේ වත්තේ කොස් දෙල් ටික නැතිවෙන්ඩ අපි දැනටමත් හාමතේ මැරිලා ය. ආච්චි කොස් දෙල් කඩාගත්තාට ඒ වත්තේ මහත්තුරු මොකුත් කියන්නේ නැත. පොඩි එකාට දෙන්න කිරි එරෙනවා යයි කිය කියා තාත්තා හැමදාම ගේන්නේ කොස් ය. කොස් දැක්කාමත් දැන් වහකදුරු ය. 


මල්ලී ඉස්කෝලේ යාමට කැමැත්තක් නැත. ගෙදර ආ වෙලාවේ හිටම රංචුවේ ය. සමහර දාට රෑට ගෙදර එන්නේ ද නැත. එදාට නිදන්නේ ආච්චිලාගේ ගෙදර ය. මොකක් හරි කා මුල්ලකට ගුලි වෙයි. පසුදාට ස්කෝලේ යන්නේ ද නැත. 


අම්මා හිටියා නම් මම තවමත් ස්කෝලේ යන වයසේ ය. ස්කෝලේ යන්න තියෙන ආසාව තවමත් ඉවර නැත. ස්කෝලේ ගියා නම් ටීචර් කෙනෙක් වෙනවා ම ය. ඒත් දැන් ඒක කරන්ටත් බැරිය. 


ආච්චිටත් දැන් බැරිය. ලෙඩ ගානේ ය. වත්තේ මහත්තයාට පිංසිද්ධවෙන්න ඔහේ එතන වැටිලා ඉන්නවා ය. ආච්චි අපේ ගෙදර ඉන්ඩ කැමති නැත. 


අපේ ගෙදර සිට පන්සලට අඩි දෙකක්වත් නැත. ඒත් පංසල් ගිය කාලයක් මතක නැත. දැන් පංසල් නොයන්නේ ලජ්ජාවට ය. ගමේ උන්ගේ කට හොඳ නැත. පංසලේ ස්පීකරෙන් නම් හාමුදුරුවන්ගේ බණ ඇහෙනවා ය. හාමුදුරුවෝ පටාචාරා කිසාගෝතමී ගැන කියන විට මටත් මහණ වෙන්න හිතෙනවා ය. ඒත් දැන් ඒකත් කරන්ඩ බැරිය. මේ වෙච්ච දේට පසුව පංසලකට රිංගාගැනීම අකුසලයක් යයි හිතෙන නිසා, මම ඒ ගැන හිතන්නේ නැතිය. 


අද රෑට තැම්බුවේ මයියොක්කා ය. මයියොක්කා ලුණුමිරිස් එක්ක දිව්‍යලෝක රසය. මයියොක්කා ටික ලිපෙන් බාද්දීම මම බාගයක් කා හමාරය. ඉතිරි ටික නෑඹිළියේ තාත්තාට වසා ඇත. 


කුප්පි ලාම්පුවේ එළිය පණ අදිනවා ය. තාත්තා බීගෙන ගෙට ගොඩවෙන්න ළඟය. බීගත් වෙලාවට තාත්තා තිරිසනා ය. අණක් ගුණක් නැත. දරුවා නොදරුවා පේන්නේ නැත. ඒත් නොබී ඉද්දී හොඳය. මම දැන්ම පොඩිඑකාට කිරි දී නිදි කරවන්ඩ ඕනෑ ය. තාත්තා පොඩිඑකා අතටවත් ගන්නේ නැත්තේ ඇයි දැයි මට හිතාගන්ඩවත් බැරිය. 


සංගණන මහත්තුරු එන්නේ හෙට ය. මගේ පපුව ගැහෙනවා ය. ඒ මහත්තුරු පොඩි එකාගේ තාත්තා ගැන අහනකොට මම බිම බලාගන්නවා හොඳය. අල්ලපු ගෙදර රාණි අක්කා නම් කියන්නේ උඹ ඇත්ත කියපන් කියා ය. තාත්තා මොකක් කියයි දැයි මට හිතාගන්නට බැරිය. තාත්තා මොකක් කිව්වත් මට කමක් නැත. ඒ මහත්තුරු පිටගංකාරයෝ ය. 

 


කල්ප ගුරුගේ. මිලානෝ.