ශ්‍රී ලංකාවේ සංචාරයකදී වන අලි ප්‍රහාරයෙන් ජීවිත බේරා ගත් හැටි


වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන ගැමි ජනයා වන අලියන්ගේ උවදුරකින් පීඩා විඳිමින් සිටින්නේය. විවිධ පළාත් ගම් හා ප්‍රධාන කොට ගොවිතැන මූලික ජීවනෝපාය කරගත් බොහෝ පවුල් වන අලි උවදුරෙන් බැටකමින් තම නිවාස පවා අහිමි වෙන තත්ත්වයට පත්වී ඇත්තේය. ඒනයින් මෑත කාලයේ වන අලින්ගෙන් එම ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට විශාල පහරක් එල්ල වෙමින් තිබේ. ඒ අතරතුර ඇත් දල සොරා ගැනීම ප්‍රධාන කොට වන අලියා ද විනාශ මුඛයට යමින් පවතී.  


මෙවැනි වාතාවරණයක සතියේ දින පහ තුළ ප්‍රංශයේ පළවෙන නොමිලේ බෙදා හරින ටැබ්ලොයිඩ් පුවත්පතක ශ්‍රී ලංකාවේ වන අලියන්ගේ ප්‍රශ්නයේ එක් පැතිකඩක් පෙන්වා දෙන පුවතක් පළ කර තිබුණේය. එම පුවතේ සඳහන් කර ඇති ලෙසට වන ජීවීන් නැරඹීමට පැමිණි විදේශික සංචාරකයන් කණ්ඩායමක් ජීප් රථයකින් සෆාරි සවාරියක යෙදෙන අවස්ථාවක වන අලි ප්‍රහාරයකට මුහුණ දෙමින් අනූනවයෙන් ජීවිත බේරා ගත් පුවතකි. ඉහත පුවතට අනුව එම මොහොතේ ජීප් රථ පැදවූ රියැදුරාගේ දක්ෂතාව හේතුවෙන් සංචාරකයන්ගේ පණනළ බේරා ගැනීමට හැකිවීම ඇගයීමට ලක්කර තිබුණේය.  


සී නිව්ස් යනුවෙන් සඳහන් සතියේ දින පහ තුළ නොමිලේ බෙදාහරින මෙම පුවත්පත පැරීසියේ හා ඒ අවට පාඨකයන් ලක්ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක් කියවන පුවත්පතකි. සතියේ දිනවල දුම්රියේ හා බසයක ගමන් කරන ප්‍රංශ වැසියන් මෙම පුවත්පත කියවන අයුරු දැකීමට ලැබීම සුලබ දසුනකි. එම පුවත්පතේ දෙවැනි පිටුවේ දිනයේ හොඳම පින්තූරයක් පළවීම සෑම දිනකම සිදුවෙන්නකි. පසුගිය 29 වැනිදා ඉහත පුවත සමගම මෙහි පළ කර ඇති ඡායාරූපය එම ස්ථානය හිමිකරගෙන තිබුණේය.  

 

 


සුනිල් ආනන්ද