රෝමයේ වෙසක් අසිරිය


 

වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැඳින්විය හැක. එය ලංකාවාසීන්ට පමණක් නොව හුදෙක්, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි. සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සම්මා අරහත් තථාගත වූ ලොව අතිශය දුර්ලභ අපේක්ෂාවෙන් ලැබූ අවසන් ජන්මෝත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සිහිපත් කෙරේ. 


වර්ෂයකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත්ම පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැඳින්විය හැකිය. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය ''සක්වල වෛශාක්‍ය මංගල්‍ය'' ලෙස හැඳින්වීම ද නිවැරදිය. පරිසරයෙහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුළ ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, කාලගුණික තත්ත්වයක් මෙම කාල පරිච්ඡේදය තුළ දැකගත හැකිය. 


 ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවස්ථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකි​වන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදු​වෙන බවයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුළ දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජීවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත්වෙති ලොව පුරා ජීවත් වෙන සමස්ත බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන ඇසුරු කරමින් දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය කර්මවල යෙදෙති. මෙසේ සමස්ත ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ශ්‍රේෂ්ඨ වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැඳින්විය හැකිය. 


 ඉතාලියේ රෝම නගරයේ ශාක්‍යමුනි විහාරස්ථානය මගින් වාර්ෂිකව අති උත්කර්ෂවත් අන්දමින් සිහිපත් කරනු ලබන සම්බුදු තෙමඟුල මේ වර්ෂයෙහි ද විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කටුවන සිද්ධත්ථ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලැබීය. එදින උදෑසන පවත්වනු ලැබූ විශේෂ ධර්මානුශාසනාව කෝමෝ ඉසිපතන භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති වංගියකුඹුරේ ඤාණවිමල හිමියන් විසින් සිදුකරන ලදී. අනතුරුව දහවල සිදුහත් දහම් පාසලෙහි ඉගෙනුම ලබන දූ දරුවන් හා එම දෙමාපියන් විසින් ගායනා කරන ලද සැදැහැ ගී මාලාව පැමිණ සිටි සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක්විය. මෙරටට අලුත් අත්දැකීමක් ​වෙන තයෝධම්ම ජාතක කතාව ඇතුළත්කොට ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද දර්ශනීය තොරණ ප්‍රදර්ශනය කිරීම ද සිදුවිය. මෙම උතුම් වෛශාක්‍ය මංගල්‍යයට සහභාගි වූ රෝමයේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා විසින් එම තොරණ විවෘත කිරීම සිදුවිය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සත් සතිය ගත කළ අවස්ථාව සිහිපත් කරමින් සිදු කරන ලද අසිරිමත් සත්සති වන්දනා පිංකම එදින පස්වරුවෙහි සිදුකරනු ලැබීය. ඒ වෙනුවෙන් බුදුරදුන්ගේ සත්සතිය පිළිබිඹු කරමින් නිර්මාණාත්මක තොරණක් ද එදි කර තිබුණි. මෙම පිංකම් අවස්ථා සඳහා තානාපති දයා පැල්පොල මහතා හා එම මහත්මිය ද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහ ශ්‍රී ලාංකික බොහෝ පිරිසක් ද සහභාගි වූහ. 

 

 


ප්‍රේමා කංකානමගේ - රෝමය ඉතාලිය.