රෝම ශාක්‍යමුණි විහාරයේ නවම් පෝදා පින්කම් මාලාව


අප කිලෝගුරු බුදු පියාණන් වහන්සේ බුදුබව ලබා මාස දහයකට පසු රජගහ නුවර සිට තම ගම් පෙදෙස වූ කිඹුල්වත් පුරයට වැඩම කර නැදෑ සමූහයා බැහැ දැක දහම් දෙසු නවම් පුර පසළොස්වක පොහොය උදාවුණු නවම් මාසය බෞද්ධ ජනතාවට විශේෂිත දිනයකි. සම්බුදු බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කර තම පියාණන් වූ සුද්දෝදන රජතුමාට ධර්මපාල ජාතකය දේශනා කළ අතර යසෝදරා දේවියට ‘සඳකිඳුරු’ ජාතකය දේශනා කළහ. නන්ද කුමරු සහ රාහුල කුමාරයා පැවිදි කිරීම සිදුවූයේ ද මෙවන් උතුම් දිනයක බව බෞද්ධ පොත පතේ සඳහන්ව ඇත.


රෝම ශාක්‍යමුණි විහාරයේ ද නවම් පුර පසළොස්වක පොහොයට සමගාමීව මාර්තු 4 වැනි ඉරුදින දවස පුරා බොහෝ පින්කම් සිදු කළහ. අධික සීතල නොතකා බොහෝ පිරිසක් සිල් සමාදන් වී බණ භාවනා වලට යොමු වී සිටියහ. ශීල භාවනා වැඩ සටහන ධර්ම සාකච්ඡා එදින සිදුකළ අතර ශාක්‍යමුණි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේ විසින් ජාතක කතාවක් ඉතාමත් පැහැදිලි ලෙස සරල සිංහල බසින් තේරුම්කර දීම ඉතාමත් අගනා දහම් කර්තව්‍යකි.


ශාක්‍යමුණි විහාරයේ ප්‍රධාන දයිකාවක් වූ චන්ද්‍ර මහත්මියගේ දියණිය වූ කුමුදු රම්මුතු මහත්මියගේ ස්වාමිපුරුෂයා වසන්ත අනුර කුමාර මහත්මා මියගොස් වසර තුනක් ගතවීම නිමිතිකර ගෙන සෑම වසරකම සිදු කරන දානමය පිංකම ද වසන්ත කුමාර මහත්මාගේ සහෝදර පිරිස. බිරිඳ ඥාතීන් විසින් ශාක්‍යමුණි විහාරයේ දී එදින සිදු කළහ. දහවල ලොවුතුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාව පූජාකර මහා සංඝරත්නයටත් සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන්ටත් දානය පිළිගන්වා අෂ්‍ඨපරික්කාර පූජාවක් ද පූජාකර පින් අනුමෝදන් කළහ.


ශාක්‍යමුණි විහාරයේ තවත් දායිකාවක් වූ ශාන්ති පද්මා මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ කරුණාසේන ගුරුගේ මහත්මා ද මිය ගොස් වසරක් පිරීම නිමිත්තෙන් එම දානමය කටයුතුවලට සම්බන්ධ වී ශාන්ති මහත්මිය විසින් ද අෂ්ඨ පරික්කාර පූජාවක් පූජාකර එතුමාට ද පින් අනුමෝදන් කළාය. ශාක්‍යමුණි විහාරයේ දායක පිරිස ද අනුර වසන්ත කුමාර සහ කරුණාසේන ගුරුගේ මහත්වරුන්ට මේ පින් අනුමෝදන් වී සසර මඟ කෙටිවී කෙළවර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 

 


ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප-අනුරුද්දි සිල්වා 
රෝමය, ඉතාලිය.