රජ සැප විඳින තුර්කියේ “වෑන්” බළලා


 

කළකම් පළ දෙනවා කී පමණින් බොහෝ අය තැති ගනිති. එයට හේතුව, කළ කම් යනු කරන ලද අකුසල පමණකැයි වරදවා තේරුම් ගැනීම ය. කෙනෙකුන් විසින් කරන ලද කුසල කර්මයන් ද, කළකම් අතර වේ. ඒවා පළදීම තැතිගැනීමට හේතු නොවේ. සැප විඳීමට පිණ ඇත්නම් කුමන ආත්මයක උපත ලැබුවද, ලැබෙන සැපය අඩුවක් නොවේ. දුක ද එසේමය. මිනිස් ආත්මයක උපත ලැබීමට පිණ ඇතුව ද, සැප විඳීමට තරම් පිණක් නැතිනම් විඳීමට සිදුවෙන්නේ දුකමය. තිරිසන් ආත්මයක උපත ලැබීමට පවක් කර ඇතුවද, සැප විඳීමට පිණ ඇත්නම් රජ සැප වුවද ලැබිය හැකි බවට කදිම උදාහරණයකි. තුර්කියේ “වෑන්” වර්ගයට අයිති බළලා. 


තුර්කියේ වෑන් වර්ගයට අයිති බළලා ජාතියේ අභිමානය ලෙස එරට වැසියෝ පමණක් නොව රජය ද සලකති. වෑන් වර්ගයේ බළලාගේ විශේෂත්වය වෙන්නේ උගේ බහු වර්ණ දෑස සහ සුමුදු ස්වේත වර්ණ ලොම් ය. මෙම බළලා ජලයට බිය නැත. පිහිණීමට කැමතිය. අපේ බළලුන් මෙන් තුර්කියේ වෑන් බළලා උණුසුම ප්‍රිය කරන්නේ නැත. මෙම බළලා සියුමැලි බැවින් ඌට තද උණුසුම ඔරොත්තු දෙන්නේ ද නැත. 


අවසන් සමීක්ෂණයට අනුව තුර්කියේ වෑන් වර්ගයට අයත් බළලුන් දෙසීයකට වඩා නැත. ජපානයේ සකුරා මල මෙන් වෑන් බළලාට ද තුර්කියෙන් පිට පැවැත්මක් නැතැයි කියති. වසර තිහක පමණ සිට වෑන් බළලුන් තුර්කියෙන් පිටතට ගෙන යාම තහනම් ය. මෙම වර්ගයට අයත් බළලුන් ඇතිකිරීම ද රජය විසින් පනවන ලද රෙගුලාසි දහසකට යටත්ව කළ යුත්තකි. තුර්කි වෑන් බළල් පර්යේෂණන මධ්‍යස්ථානය රජයේ අනුග්‍රහ ලබන්නකි. මෙම ආයතනයේ දැඩි නිරීක්ෂණය යටතේ, පෙරදිග තුර්කියේ වෑන් යුෂුන්කා යිල් විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල තුනක් මෙම බළල් වර්ගය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරති. වෑන් බළලා ජලය මෙන්ම පිහිණීම ද ප්‍රිය කරන බැවින්, මේ බළලුන් සඳහා කුඩා වූ ද අංග සම්පූර්ණ පිහිණුම් තටාක ද තනා ඇත. 

 

 


චාපි කෝසලා 

මියුනිච්, ජර්මනිය.