මින් පසු රැකියා සඳහා එංගලන්තයට පැමිණිය හැක්කේ බුද්ධිමතුන්ට පමණයි


 

යුරෝපා හවුලෙන් ඉවත්වූ එංගලන්තය විදේශ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් එකඟව සිටි ෂෙන්ගන් සම්මුතීන් කීපයක ප්‍රතිසංශෝධනයක් කිරීමට තීරණය කර ඇති බව, එංගලන්ත අගමැතිනිය වන තෙරේසා මෙයි “ද සන්” පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් පසුගිය දා කියා සිටියාය.   


තෙරේසා මෙයිගේ ප්‍රකාශයට අනුව යුරෝපා හවුලට අයත් රටවල පුරවැසියන්ට මෙන්ම එම කලාපය තුළ කුමන හෝ රටක නීත්‍යානුකූලව වෙසෙන විදේශික පුරවැසියකුට ද ෂෙන්ගන් කලාපය තුළ නිදහසේ සංක්‍රමණය වීමට ඇති අවසරය, 2019 වසරේ සිට එංගලන්තය සම්බන්ධයෙන් වලංගු වෙන්නේ නැත. එංගලන්තයට පැමිණෙන හෝ පැමිණීමට අදහස් කරන විදේශිකයා පිළිබඳව තීරණ ගැනීම ෂෙන්ගන් සම්මුතීන්ට අනුව නොව, එංගලන්තය විසින් ස්වාධීනව කෙරෙනු ඇත.   


එංගලන්තයට කුමන හෝ හේතුවක් මත පැමිණීමට අදහස් කරන කුමන හෝ රටක පුරවැසියකු විසින් එංගලන්තයට අැතුළුවීම සඳහා නීත්‍යානුකූල වීසා බලපත් ලබාගත යුතු වෙනවා ඇත. විදේශිකයන්ට එංගලන්තයට ඇතුළුවීම සඳහා වීසා බලපත් නිකුත් කිරීමේදී දැනට වඩා තද ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එංගලන්ත අගමැතිවරිය තීරණය කර ඇත. වීසා බලපත් සහිතව වුවද රටට පැමිණෙන විදේශිකයන් පිළිබඳ දැඩි සෝදිසියක් කෙරෙන බව ද තෙරේසා මෙයි පවසයි. 

 
එංගලන්තයේ රැකියාවන් සඳහා විදේශිකයන්ට ලබන වසරේ සිට පැමිණීමට අවසර ලැබෙන්නේ ඉහළම වෘත්තීය සුදුසුකම් ඇතොත් පමණි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, සාත්තුසේවක සේවිකාවන් සහ එංගලන්තයේ ව්‍යාපාර සඳහා මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කළ හැකි විදේශික ව්‍යාපාරිකයන් වැනි අයට පමණක් මින්පසු වෘත්තීය හේතූන් මත එංගලන්තයට පැමිණීමට අවසර ලැබෙනු ඇත. තෙරේසා මෙයි පවසන්නේ රටේ ආර්ථික හා සමාජමය සංවර්ධනයට උපරිම දායකත්වය ලබාගත හැකි බුද්ධිමත් විදේශිකයන්ට පමණක් මින්පසු එංගලන්තයේ දොරටු විවෘත බව ය.   


අධ්‍යාපනය සහ සංචාරය සඳහා එංගලන්තයට පැමිණීමට අදහස් කරන විදේශික පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන වීසා අයැදුම්පත් පවා දැඩි පරීක්ෂණයකට භාජනය කෙරෙන බව ද අගමැතිනියගේ එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් ය.   

 

 


චාපි කෝසලා.   
මියුනිච්, ජර්මනිය.