නාපෝලි-ශ්‍රී ගෞතම විහාරය සංවිධානය කළ සාහිත්‍ය උළෙල


 

නාපෝලි ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති කරවිටගාරේ ධම්ම කිත්ති ස්වාමීන් වහන්සේ සහ ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති ඉතාලියේ ප්‍රධාන සංඝ නායක දඹදෙණිය ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නාපෝලි නගරයේ (Museo) ඉදිරිපිට GIMITO ශාලාවේදී 20-01-2019 වැනි ඉරු දින සාහිත්‍ය උළෙලක් පැවැත්වුණි. 
මව්බිමෙන් දුරස් වී සිංහල බස සිංහල සංස්කෘතිය ඇස කණ නොගැටෙන දුවා දරුවන්ට සිංහලකම හුරුකරවන්නට දරන උත්සාහයකට අනුව නාපෝලි නගරයේ පාසල් කිහිපයක අපේ දරුවන් ඒකරාශී කරගෙන දරුවන්ගේ දස්කම් ඔප් නැංවීමේ අරමුණින් අංශ කිහිපයකින් චිත්‍ර, අත් අකුරු, ගද්‍ය, පද්‍ය රචනා, ගායනා ආදී තරග කිහිපයක් දරුවන් අතරේ පවත්වා දස්කම් කුසලතා අගැයීමකට ලක් කර ත්‍යාග සහ සහතික පත් බෙදි දීමේ උත්සවයක් සිදු කළහ. මෙම සාහිත්‍ය උළෙල නාපෝලියේ පාසල් කිහිපයක දුවා දරුවන්ගේ නැටුම් දර්ශන කිහිපයකින් ද විචිත්‍ර වුණි. 


කවිය අගැයීමට ලක් කරමින් මෙම ලිපිය ලියන ලියුම්කාරියට ද සම්මානයක් ඇති බව ගෞතම විහාරාධිපති කරවිට ගාරේ ධම්ම කිත්ති ස්වාමීන් වහන්සේ කළ ආරාධනයට අනුව එහි ගොස් මෙම සාහිත්‍ය උළෙලට සහභාගී වී එම සම්මානය ලබා ගත් බව බොහෝම ගෞරවයෙන් යුතුව සටහන් කරමි. මෙම තරග සඳහා දුවා දරුවන් ඉදිරිපත් කළ වැඩිහිටි ගුරුවරු දෙමාපියන්ටද සහයෝගය දුන් දුවා දරුවන් වූ තරුණ දරුවන්ට ද ද‌ායක පින්වතුන්ට ද පිං දෙමින් බොහොම ගෞරවයෙන් සිහිපත් කරන බව ගෞතම විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැවසූහ. උන්වහන්සේට ද මෙවන් සමාජ මෙහෙවර කරන්නට තෙරුවන් සරණින් ශක්තිය ධෛර්ය ලැබේවායි අපි ද මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.   

 


ප්‍රේමා කංකානම්ගේ ​ෙරා්මය ඉතාලිය.