ඇමෙරිකානු කේළමා “ඉන්සයිට්” අඟහරු ග්‍රහයා මත ලැගුම් ගනී


 

අඟහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ මෙන්ම මීටර් පහක් අභ්‍යන්තරයේ ද තොරතුරු ගවේෂණය සඳහා ඇමෙරිකාව විසින් චන්ද්‍රිකාවක් මගින් අභ්‍යවකාශගත කරන ලද “ඉන්සයිට්” මෙවලම් තොගය, නොවැම්බර් මස විසිහයවැනිදා රාත්‍රී නවයට නිරුපද්‍රිතව අඟහරු මතුපිටට සේන්දු විය. මැයි මස පස්වැනිදා පෘතුවියෙන් පිටත්ව පැයට කිලෝ මීටර දසදහසක වේගයෙන් ගමන් කළ ඉන්සයිට් මෙවලම් රැගත් චන්ද්‍රිකාවට අඟහරු ග්‍රහයා දක්වා වන කි.මී. මිලියන හාරසිය හතළිස් අටක දුර ප්‍රමාණය ගමන් කිරීම සඳහා මාස හතකට ආසන්න කාලයක් ගතවිය. 


පෘතුවියේ සිට අඟහරු දක්වා ගමන් මාර්ගයේදී බාධක ලෙස හමුවන තුන්දහසක් පමණ වන විවිධ ප්‍රමාණයේ ආකාශ වස්තූන් මගහැර නිරුපද්‍රිත ගමන සඳහා මග පෙන්වන්නා වූවේ, ඉතාලියේ ෆිරෙන්සියේ ලෙයොනාර්ඩෝ අභ්‍යවකාශ මෙවලම් නිෂ්පාදන ආයතනය විසින් නිර්මාණය කරන ලද අධිතාක්ෂණික මෙවලමකි. මෙම මෙවලම තත්පරයට දහවරක් චන්ද්‍රිකාවේ නිරුපද්‍රිත ගමන් මග සහතික කළේය. 


යාන්ත්‍රික ​ෙදා්ෂ සහ වෙනත් අනතුරු වළකමින් ගමන් ගත් ඉන්සයිට් මෙවලම් සහිත චන්ද්‍රිකාවේ බැරෑරුම්ම කාර්යය වූයේ අඟහරු කක්ෂයට ඇතුළු වූ විගස තමන් එතෙක් ගමන් ගත් පැයට කි.මී. දසදහසක වේගය විනාඩි හතක් තුළ පැයට කි.මී. අට දක්වා අඩුකර ගැනීමය. අඟහරු කක්ෂයට ඇතුළු වූ පසුව මුළුමනින්ම පෘථිවි පාලන මැදිරි පාලනයෙන් මිදුණු චන්ද්‍රිකාව එතැන් පටන් මග සොයා ගියේ තනිවම ය. සියලු අභියෝග ජයගත් චන්ද්‍රිකාව ස්වයංක්‍රීයව දිගහැරෙන පැරෂුටයක් මගින් ඉන්සයිට් මෙවලම් අඟහරු ග්‍රහයා මතට මුදාහැරියේය. 


අඟහරු මතට පතිත කළ ඉන්සයිට් මෙවලම් තොගයේ මුළු බර කිලෝග්‍රෑම් තුන්සිය පනස්අටකි. මෙම මෙවලම් අතර ඡායාරූප කැමරා දෙකක්, අඟහරු ග්‍රහයා මත සිදුවන කාලගුණ වෙනස්කම් අධ්‍යයනය කිරීම සඳහා සංවේදනමාන සහ අඟහරු අභ්‍යන්තරය ගවේෂණය සඳහා මීටර් පහක් ගැඹුරට කිරණ යැවිය හැකි මෙවලමක් ද වේ. මෙම මෙවලම් මගින් එක්රැස් කරගන්නා දත්තයන් පෘථිවි පාලන මැදිරිය වෙත එවීමට ඉන්සයිට් මෙවලම්වලට හැකියාවක් නැත. 


ඉන්සයිට් මගින් රැස්කරගන්නා දත්තයන් පෘථිවිය වෙත එවීම සඳහා නාසා ආයතනය විසින් වෙනත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශයට යවා ඇත. මෙම චන්ද්‍රිකා දෙක “මාර්ක් ඒ” සහ “මාර්ක් බී” ලෙස නම්කර ඇත. ආරක්ෂක හේතූන් මත මෙම චන්ද්‍රිකා දෙක මව් යානයට කි.මී. දසදහසක් ඈතින් ගමන් කළේය. 

 


අඟහරු ග්‍රහයා මත ස්ථාපිතව සූදානම් වීමේ සියලුම කටයුතු නිමවා ප්‍රථම දත්තයන් පෘථිවි පාලන මැදිරිය වෙත එවීමට සති දහයක කාලයක් ගතවනු ඇත. ඉන්සයිට් මෙවලම්වල ක්‍රියාත්මක කාලය දින හත්සිය විසිඅටක් පමණක් බව නාසා ආයතනය සහතික කර ඇතුව ද මෙතෙක් එම ආයතනය විසින් අභ්‍යවකාශයට යවන ලද මෙවලම් සහතික කාලය ඉක්මවා බොහෝ කල් නියමාකාරයෙන් ක්‍රියාත්මක විය. 


ඉන්සයිට් මෙවලම් අඟහරු ග්‍රහයා වෙත නිරුපද්‍රිතව ගොඩබෑම, මිනිසකු අඟහරු වෙත යැවීමේ ගමනේ තවත් සාර්ථක පියවරක් බව නාසා ආයතනය කියයි. 


ඉන්සයිට් චන්ද්‍රිකාව සහ පරිවාර චන්ද්‍රිකා දෙක ඡායාරූපයෙන් දැක්වේ. 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.