හිතුමතේ පැනවූ තීරු බදු


ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැනවීම් කළ මිත්‍ර පාර්ශ්වීය රටවල් අතරට යුරෝපා රටවල්, ඉන්දියාව, ජපානය සහ චීනය සිටී.

කෙසේ නමුත්, රුසියාවට, කියුබාවට, උතුරු කොරියාවට සහ බෙලරූස් රාජ්‍යයට නව තීරු බදු පැනවීමක් සිදු නොවිණි. මේ වනවිටත් මෙම රටවල්වලට අධික සම්බාධක පනා ඇමෙරිකාව විසින් පනවනු ලැබ ඇත.

කෙසේ නමුත් තීරුබදු පැනවීමක් නොකළේ ඇයිදැයි, මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන්, ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය කැරොලයින් ලෙවිට්ගෙන් විමසා සිටි අවස්ථාවේදී, ඇය කියා සිටියේ, රුසියාවට තීරු බදු පැනවීමක් සිදු නොවුණේ ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඵලදායී වෙළෙඳ ගනුදෙනුවක් සිදු නොවන නිසා බවය.

මාධ්‍ය ලේකම්වරිය එසේ පැවැසුවත්, පසුගිය 2024 දී, ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5 ක් වටිනා වෙළෙඳ ගනුදෙනු සිදුවුණු බව ඇමෙරිකන් වෙළෙඳ සංගම් කියයි.  

ඊට අමතරව, ඇමෙරිකාව සමඟ සැබැවින්ම කිසිදු වෙළෙඳ ගනුදෙනුවක් සිදු නොකරන රටවලට ට්‍රම්ප් තිරු බදු පැනවීමක් සිදු කර ඇත. ඒ අතරේ මනුෂ්‍ය වාසයක් නැති, පෙන්ග්වීන්ලා පමණක් ජීවත් වන කුඩා දූපත් සමූහයක් ද ඇත.

මෙම දූපත සමූහය මැක්ඩොනල්ඩ් දූපත්ය. මේවා යහමල් දූපත් වන අතර පිහිටා ඇත්තේ ඇන්ටාක්ටිකාවේය. දූපත් පිරී ඇත්තේ ග්ලැසියර සහ පෙන්ග්වීන්ලාගෙන් පමණි. ඉතා හුදෙකලාව පිහිටා ඇති මෙම දූපත්වලට යෑමට නම්, එය කළ යුත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බෝට්ටුවකිනි. දූපත් සමූහයට ළඟා වීමට ගතවන කාලය සති දෙකකි.

පෙන්ග්වීන්ලා පමණක් සිටියත් ට්‍රම්ප් පරිපාලනය මෙම මැක්ඩොනල්ඩ් දූපත් සමූහයට සියයට 10 ක තීරු බදු පැනවීමක් කර ඇත.

ඊට අමතරව, ට්‍රම්ප් ලෙසතෝ රාජ්‍යයට ද සියයට 50 ක තීරු බදු පැනවීමක් කර ඇත. ලෙසතෝ යනු අප්‍රිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි. මීට පෙර අවස්ථාවක ට්‍රම්ප් පවසා තිබුණේ ලෙසතෝ යන නමින් රටක් තිබෙනවාදැයි කියා හෝ තමන් නොදන්නා බවය.

(සී.එන්.එන්.)