සුද්දන්ට එරෙහිවූ සුද්දෙකු වෙනුවෙන් ඉදිකළ ස්මාරකය


නොදන්නා කතාවක්

 

ලිප්ටන් වටරවුම කියන විටම අපේ සිතට මැවී පෙනෙන්නේ දේශපාලනඥයන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හා අසාධාරණයට බඳුන්වූ ශිෂ්‍යයන්ද සිය උද්ඝෝෂණ සඳහා රණ බිමක් කරගෙන තිබෙන කොළඹ නගරයේ ප්‍රධාන මං සන්ධියකි. ලංකාව ලිප්ටන්ගේ තේ වත්ත ලෙස හැඳින්වුනු අධිරාජ්‍යවාදී යුගයේ මෙහි ලිප්ටන් තේ කර්මාන්තශාලාව පිහිටා තිබීම නිසා මේ ස්ථානයට ඒ නම ලැබුණි.


මෙරට මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන මහතාගේ නමින් අද හැඳින්වෙන එදා හයිඩ්පාක් පිට්ටනිය මෙයට නුදුරින් පිහිටා තිබීමත්, ලිප්ටන් වටරවුමේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා දිවෙන එදා යුනියන් ප්ලේස් නමින් හැඳින්වුන මහා මාර්ගය මෑත යුගයේ මෙරට ජීවත් වූ තවත් විප්ලවවාදී දේශපාලනඥයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. අද සිල්වා මහතා නමින් බෞතීස්ම කර තිබීමත්, අධිරාජ්‍ය විරෝධී මෙරට ප්‍රථම දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය ද මේ මාර්ගයේම පිහිටා තිබීමත් නිසා මේ පළාතම විප්ලවවාදී ස්වරූපයක් ගනී. එහෙත් ලිප්ටන් වටරවුමේ පිහිටා ඇති දර්ශනීය කුඩා ස්මාරකය, මෙරට අධිරාජ්‍යවාදී පාලනයට විරුද්ධව පළමුවන වෙඩි මුරය පත්තු කළ සුදු ජාතිකයා වෙනුවෙන් පිහිටුවා ඇති බව, දිනපතා එය පසුකර යන දහස් ගණනක් අතුරින් දන්නේ කීයෙන් කීදෙනෙක්ද? 1848 මහා කැරැල්ල මර්දනය කොට මෙරට බ්‍රිතාන්‍ය ආධිපත්‍යය ශක්තිමත් ලෙස තහවුරුව තිබුණු එදා සිංහල ජාතිය පත්ව සිටියේ අසරණ නිවට තත්ත්වයකය. එහෙත් මෙරට වසා සිටි අධිරාජ්‍යවාදී අඳුරු වලාවෙහි රිදී රේඛා දෙකක්ම පහලවීම නිසා 1864 වසර මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුනි. මෙරට අධිරාජ්‍යවාදී පාලනයට හිසරදයක් වෙමින් මහා ජාතික ආගමික ප්‍රබෝධයකට මුල පිරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඒ වසරේ සැප්තැම්බර් මස 17 වෙනි දින ජන්ම ලාභය ලැබුවේය. එයට හරියටම මාසයකට පෙර, එනම් අගෝස්තු මස 20 වෙනි දින, මෙරට සුදු පාලනයට කණකොකා හඬන සිදුවීමක් සිදුවිය. එනම් ඉතිහාසයේ පළමුවරට, මෙරට සුදු ආණ්ඩුකාරයාගේ රාජාසන කතාව, ව්‍යවස්ථාදායක සභාවේදී පරාජයට පත්කරනු ලැබීමයි. ප්‍රබල සුදු පාලනය කම්පනයටත්, පරිහාසයටත්, අභියෝගයටත් පත් කරමින් මහජන මතය අභිශේක කරවූ මේ සිද්ධියට මුල් වූ ජෝජ්වෝල්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකුවීම දෛවයේ සරදමක් නොවේද?


ජෝජ් වෝල් කවුද?


ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු වූ ඊ.සී.බී. විජේසිංහ තබා ඇති මේ සටහන ජෝජ් වෝල් පිළිබඳ කෙටි හැඳින්වීමකි.


ජෝජ් වෝල්, මෙරට පය තැබූ ශ්‍රේෂ්ඨතම ඉංග්‍රීසි මිනිසාය. ඔහු සිවිල් යුධයක් අරඹා සිරගත නොවීය. ඕනෑම ත්‍රස්තවාදියෙකුට එසේ කළ හැක. ඔහු ඊට වඩා යමක් කළේය. තවත් ප්‍රබල ආධාරකරුවන් දෙදෙනෙකු වූ චාල්ස් අම්බ්‍රෝස් ලෝරන්ස් සහ ජේම්ස් ද අල්විස්. සමඟ එකතු වී ඔහු ආණ්ඩුව පරාජය කළේය. නිලලත් මන්ත්‍රීන් රාශියක් සිටියද මෙරට ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ මුල් වතාව මෙයයි. නිල නොලත් මන්ත්‍රීන්ගේ වාසනාවට 1864 අගෝස්තුවේ එම අමතක නොවන දිනයේ ආණ්ඩුකාරයාගේ මිනිසුන් තිදෙනෙක් විවිධ හේතූන් උඩ නොපැමිණ සිටියහ. සභාවේ යුරෝපීයයන් නියෝජනය කළ ජෝජ්වෝල්, ප්‍රහාරය දියත් කළේය. රජයේ පිළිවෙත පිළිබඳ රාජාසන කතාවේ සංශෝධනයට පක්‍ෂව ඡන්ද හයකුත්, විපක්‍ෂව ඡන්ද පහකුත් ලැබී එය සම්මත විය.


අටසිය හැට ගණන්වලදී ලංකාව මුදවා ගැනීම සඳහා මුළු හදවතින් ක්‍රියා කළ තිදෙනෙක් වී නම් ඒ, වෝල්, ලෝරන්ස් හා ජේම්ස් ද අල්විස්ය. (ඉරිදා ඔබ්සර්වර් 12.2.78)


අරගලයේ මුල


එදා හිරු නොබසින අධිරාජ්‍යයේ කුඩා කොලනියක් වූ ලංකාවේ සිදුවූ මේ පිපිරීමෙන් මෙරට සුදු ආණ්ඩුව අපහසුවට පත් වුනාක් මෙන්ම සත් සමුදුරකට එතෙර සකල බලපරාක්‍රමයෙන් විරාජිතව වැඩහුන් වික්ටෝරියා මහා රාජිනියද කණස්සලට පත්වුනාට සැක නැත. ආණ්ඩුකාරයා විසින්ම යාවජීව මන්ත්‍රීන් ලෙස පත් කරනු ලැබූ ජෝජ් වෝල් ඇතුලු නිල නොලත් මන්ත්‍රීන් සදෙනා මෙවැනි විප්ලවීය ක්‍රියාවකට පෙළඹුනේ ඇයිද යන්න පැහැදිලි වන්නේ එදා පැවති පාලනය පිළිබඳව විමසා බලනවිටය.


1815 දී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමෙන් ටික කලකට පසුව මෙහි පැමිණි කෝල්බෲක්ගේ යෝජනා අනුව, 1833 දී රට පාලනයේදී ආණ්ඩුකාරයාට සහාය වීමට ව්‍යවස්ථාදායක සභාවක් හා විධායක සභාවක්ද පිහිටවනු ලැබීය. ව්‍යවස්ථාදායක සභාව, ආණ්ඩුකාරයා විසින් පත්කරනු ලැබූ නිලලත් මන්ත්‍රීන් 10කුගෙන්ද, නිල නොලත් මන්ත්‍රීන් 6කුගෙන්ද සමන්විත විය. නිලලත් මන්ත්‍රීන් වූයේ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ය. නිල නොලත් මන්ත්‍රීන් හය දෙනා පත් කරනු ලැබුවේ ජාතීන් අනුවය. එනම් සිංහල, දෙමළ, බර්ගර්, සාමාන්‍ය යුරෝපීය, යුරෝපීය වෙළෙඳ හා යුරෝපීය වතුකාර කොටස් නියෝජනය වන පරිදිය. ජෝජ් වෝල් පත්කරනු ලැබුවේ යුරෝපීය වතුකරයන් වෙනුවෙනි. ඔහු වතු කිහිපයක් සහ විශාල වෙ​ෙළඳ සමාගමක අධිපතිවරයා විය.


ව්‍යවස්ථාදායක සභාවක් තිබුණද එහි කටයුතු කෙරුණේ ආණ්ඩුකාරයාගේ අභිමතය පරිදිය. නිලලත් මන්ත්‍රීවරු සැමවිටම ආණ්ඩුකාරයාගේ එහෙයියන් ලෙස ක්‍රියා කළද නිල නොලත් මන්ත්‍රීවරුන්ට පරිපාලනයේ හෝ මුදල් පාලනයේ බලතල නොවීම නිසා ආරම්භයේ සිටම ඔවුන් කටයුතු කර ඇත්තේ අසතුටිනි. එංගලන්තයේ යුද වියදම් සඳහා වාර්ෂිකව ලංකාවේ ආදායමින් විශාල මුදලක් යැවීම ගැනද ඔවුහු අකමැති වූහ. අරගලයට මුල පිරුනේ මෙතැනිනි.


ආණ්ඩුවේ වියදම් වෙන් කිරීම සහ අනුමත කිරීම එකල ආණ්ඩුකාරයාගේ සිරිත විය. මන්ත්‍රණ සභාවේ අනුමැතිය ලැබීම පිණිස අතිරේක වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබන්නේ ඊට පසුවය. මන්ත්‍රණ සභාවේ අදහස් නොවිමසා යුද කටයුතු පිළිබඳ වියදම් වෙන් කිරීමද, එකල යටත් විජිත භාර ලේකම් පිට පැවරී තිබුණ කාර්යයක් විය. ආණ්ඩුවත්, නිල නොලත් මන්ත්‍රීවරු අතරත් ප්‍රථම දේශපාලන අරගලය ඇතිවීමට මෙය හේතු භූත විය. පොදු මුදල් පාලනය කිරීම අරභයා මන්ත්‍රණ සභාවට නිසග මූලික අයිතිවාසිකමක් ඇති බැව් කියා සිටි නිල නොලත් මන්ත්‍රීවරු යුද වියදම් වෙන් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හා ක්‍රියා කිරීමටත් තමන්ට අයිතිවාසිකමක් ඇති බැව් කියා සිටියහ. අරගලයට ප්‍රස්ථාව ඵළඹුනේ වැඩබලන ආණ්ඩුකාර තැන්පත් මේජර් ජනරාල් ඕබ්‍රයන් මහතා 1864 අවුරුද්දේ මන්ත්‍රණ සභා වාරය ආරම්භ කොට පැවැත්වූ කතාවෙහිදී යුද වියදම් සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකර හැරීම හේතු කොටගෙනය’ (දිනමිණ 8-2-1948)
ආණ්ඩුකාරතුමාගේ කතාවේ යට කී ඌනතාව ගැන තරයේ දොස් නගමින් කතා කළ ජෝජ් වෝල් මහතා එය මුළු මන්ත්‍රණ සභාවටම කළ බලවත් තීන්දුවකැයිද පැවසුවේය. ඉක්බිති වෝල් මහතා තවත් අතුරු යෝජනාවක්ද ඉදිරිපත් කරමින් දිවයිනේ සෞභාග්‍යය ඇති වී තිබෙන්නේ ආණ්ඩුව නිසා නොව වෙ​ෙළහෙළඳාම් නිසා යයි පැවසුවේය. එක් නිල නොලත් මන්ත්‍රීවරයෙක් එයට විරුද්ධව ඡන්දය දීම නිසා යෝජනාව පරාජය විය. එහෙත් අවසාන වශයෙන් වෝල් මහතා තුන්වෙනි අතුරු යෝජනාවක්ද ඉදිරිපත් කළේය. එය මෙසේ විය.


‘භාණ්ඩාගාරයේ වුවමනාවලටත් වැඩි තරමින් හා පොදුජනයා පිළිබඳ කාර්යයන්ට වුවමනාවන තරමටත් වැඩියෙන්ද අවුරුදු ගණනක් තිස්සේ ආදායම් එකතු කරන ලද ආකාරය ගැන මේ සභාවේ නොසතුට හා නොසන්සුන්භාවයද ප්‍රකාශ කරන අතරම ආදායම් එසේ ඉහවහා යන තරමට උපදවා ගනු ලබන නමුත් ආණ්ඩුව විසින් අනුගමනය කරන පක්‍ෂග්‍රාහී ප්‍රතිපත්තිය කරණකොටගෙන සෑම ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකම කෘතහස්ත භාවයට බරපතළ අන්දමට හානි සිදුවී තිබෙන බැව් කිවයුතුව තිබේ.
මේ යෝජනාව සම්මත විය. ඒ වූකලී ආණ්ඩුව ලත් ප්‍රථම පරාජයයි. යටත් විජිත රාජ්‍ය පිළිබඳ ඇසැම්බ්ලි මන්ත්‍රී මණ්ඩලයකදී ආණ්ඩුවට විරුද්ධව දොස් නැගීමේ යෝජනාවක් සම්මත කරගත් ප්‍රථම අවස්ථාවද එය විය.
පසුව මන්ත්‍රණ සභාව විසින් යුද වියදම් සම්මත කරගනු ලැබීය. වියදම් පාලනය කිරීමේ බලතල ඉල්ලමින් ජෝජ් වෝල් ඇතුළු නිලනොලත් මන්ත්‍රීන් කළ උද්ඝෝෂණ ආණ්ඩුව විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඔවුන් හය දෙනාම සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වූහ.


එදා ඒ එඩිතර පියවර ගත් මන්ත්‍රීන් වූයේ ජෝජ් වෝල්, සී.ඒ. ලෝරන්ස්, ජේම්ස් ද අල්විස්, ජෝන් කැපර්, ඩබ්ලිව්. තොම්සන් හා ජේ. ඊටන් යන මහත්වරුය.


පසුව ජෝජ් වෝල්, ලංකා සංගමය (Ceylon League) නම් සංවිධානය ආරම්භකොට ආණ්ඩුක්‍රම සංශෝධනය සඳහා වූ උද්ඝෝෂණ ආරම්භ ​කොට ආණ්ඩුක්‍රම සංශෝධනය සඳහා වූ උද්ඝෝෂණය දිගටම කරගෙන ගියේය. ලංකාවේ මෙන්ම එංගලන්තයේද මේ කටයුතු කරගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජකීය කොමිෂන් සභාවක් පත්කරන ලදී. මින්මතු යුද කටයුතු සඳහා වේවයි, සාමාන්‍ය සිවිල් කටයුතු සඳාහ වේවයි මුදල් වෙන් කළ යුතු වන්නේ මන්ත්‍රණ සභාව විසින් සම්මත කරනු ලබන ආඥ‌ාපනතකින් මිස විධායක බලතල පාවිච්චි කිරීමෙන් නොවන බැව් යටත් විදේශභාර මහ ලේකම්තුමා විසින් පිළිගන්නා ලදී තමාගේම බලපුළුවන්කාරකම් පිට මුදල් වෙන්කිරීම අරභයා යටත් විදේශභාර මහ​ලේකම්තුමා විසින් මීට පෙර අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය මින් පසු වෙනස් කරන ලදී.


මේ, රාජනීතිඥ එන්.ඊ. වීරසූරිය තබා ඇති සටහනකි.


‘‘ව්‍යවස්ථාදායක සභාවේදී ආණ්ඩුකාරයාට සහ ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ අයගෙන් තිදෙනෙකු කැපී පෙනෙයි. ඔවුන් නම් ජෝජ් වෝල්, සී.ඒ. ලෝරන්ස් සහ ජේම්ස් ද අල්විස්ය. ඔවුන් අතුරින් විශිෂ්ටයා වූයේ ජෝජ් වෝල්ය. 1820 දී උපන් ඔහු 1844 දී ලංකාවට පැමිණියේ ලංකා වැවිලි සංගමයේ වැඩබලන කළමනාකාර ලෙසය. 1850 දී ඔහු තම කාර්යාලය කොළඹ නගරයේ විවෘත කළ අතර වැඩිකල් නොයා. ජෝජ් වෝල් නමැති විශාල සමාගමේ ප්‍රධානියා බවට පත්විය. 1863 වන විට වතු කිහිපයක්ද ඔහුගේ පාලනයට යටත් විය. විශාල ආනයන සමාගමක්ද ඔහු සතු විය. ඔහු ව්‍යවස්ථාදායක සභාවේ යුරෝපීය ප්‍රජාව නියෝජනය කළ අතර ලංකාවේ වැවිලිකරු සංගමයේ සහ වෙ​ෙළඳ මණ්ඩලයේද ප්‍රථම සභාපති විය.


වසර ගණනාවක් මේ තනතුරු දරමින් ඔහු තැබූ වාර්තාව විශිෂ්ටය. (ලංකාව සහ ඇගේ වැසියෝ- 3 වන කාණ්ඩය-130 පිට)


ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ ජෝජ් වෝල් බවට සැක නැත. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීම නිමිත්තෙන් 1947 ඔක්තෝබර් මස 4 වෙනිදා පළවූ දිනමිණ අතිරේකයේ ‘අවුරුදු එකසිය පනහක ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය ලංකාවේ ස්වරාජ්‍ය ව්‍යාපාරයේ සිහි කටයුතු සිදුවීම්’ නම් ලිපිනයේ සර් පී. අරුණාචලම්, සර්.ඩී.බී. ජයතිලක, සර් ජේම්ස් පීරිස්, රාජනීතිඥ එච්.ජේ.සී. පෙරේරා වැනි පසුකාලීනව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නියැලුනු දේශප්‍රේමීන්ගේ ඡායාරූප අතර ඉහළින්ම දක්වා ඇත්තේ ජෝජ් වෝල්ගේ ඡායාරූපයයි. අප මේ ලිපිය සමඟ පළකිරීමට එවා ඇත්තේද එයයි. අපේ ජනනායකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව තදින්ම දැනෙන්ට පටන් ගත්තේ 1915 සිංහල මුස්ලිම් කැරළි කෝලාහල සමයේදී මෙරට සුදු පාලකයන් ගෙනගිය දරුණු ක්‍රියා කලාපය නිසා බව ඉතිහාසගතය. මේ නිසා අපේ නායකයෝ 1918 දී සර් පී. අරුණාචලම්තුමාගේ ප්‍රධානත්වයෙන් ලංකා ජාතික සංගමය පිහිටුවූහ. බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ජෝජ් වෝල් තම උද්ඝෝෂණ සිදුකළේ ඊට අඩසිය වසකටත් පෙර වීම සැලකිය යුතු කරුණකි. රාජනීතිඥ එන්.ඊ. වීරසූරිය මෙසේද පවසයි.


‘1864 අගෝස්තුවේදී ආණ්ඩුව ලැබූ පරාජය, ව්‍යවස්ථා සංශෝධන සිදුකරවා ගැනීම සඳහා වූ මහා ව්‍යායාමයක ආරම්භ විය. එම සටනේදී ජෝජ් වෝල්, පහසුවෙන් බිය වැද්දිය නොහැකි, අධිෂ්ඨානශීලී නායකයෙක් විය. ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ උද්ඝෝෂණය, රටට අතිඋතුම් ලෙස වැදගත් වූ කරුණු පිළිබඳ දුක්ගැණවිලි නිසා හටගත්තකි. ඉන් එකක් වූයේ රටේ ආදායම වියදම් කළ ආකාරයයි. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් හා වෙළෙඳුන්ද, උගත් ලාංකිකයන්ද ඇතුළත් වූ වෝල්ගේ කණ්ඩායමේ අදහස් වූයේ දේශීය ආදායම වැය කළ යුත්තේ රටේ මහජන සුබසාධනය සඳහා මිස අධිරාජ්‍යයේ උවමනාවන් සඳහා නොවන බවයි. (ලංකාව සහ ඇගේ වැසියෝ- 134 පිට)


ධාන්‍ය බද්ද අවලංගු කරවා ගැනීම


මහජන සුබසෙත ගැන තැකීමක් නොකළ එදා පැවැති අධිරාජ්‍යවාදී ආණ්ඩුව විවිධ බදු වලින් සිය ආදායම තරකර ගත්තේය. එදා ගොවියන්ගෙන් අය කළ ධාන්‍ය බද්දත්, පිටරටින් ගෙන්වූ සහල්වලින් ලැබූ බද්දත් එකතුව ආණ්ඩුවේ වාර්ෂික ආදායමෙන් හතරෙන් පංගුවක් ගෙනා බව සඳහන් වේ. මේ අසාධාරණ බද්ද ගෙවාගත නොහැකි වූ ගොවීන්ගේ ඉඩම් රාජසන්තක කෙරුණි. මේ නිසා උන්හිටිතැන් අහිමි වූ ගොවීන් විශාල පිරිසක් සාගින්නේ හා ශීතලෙන්ද මරණයට පත්වූහ. 1888 දී නුවරඑළියේ අති​රේක දිසාපතිවරයා සිය වාර්ෂික වාර්තාවේ පැවසුවේ ආණ්ඩුකාරයන් හා රජයේ ඉහළ නිලධාරීන් සැප ගැනීමටත්, ටෙනිස් ගැසීමටත් එන නුවරඑළිය අවට පළාත්වල ගොවීන් 1024ක් මෙලෙස මරණයට පත් වී ඇති බවය. මෙම රුදුරු බද්ද අවලංගු කරවා ගැනීමට වරින් වර උද්ඝෝෂණ ඇති වුවද, එය සාර්ථකත්වයට ගෙන යනු ලැබුවේ ජෝජ් වෝල් විසිනි. ‘සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්’ නමැති සිය පත්‍රයෙන්ද ඔහු මේ සටනට සහාය ලබා දුන්නේය. ඒ අතරම එංගලන්තයේද මේ පිළිබඳ උද්ඝෝෂණ ඇති කරවීමට ඔහු පියවර ගත්තේය. ‘ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු’ කෘතියේ මෙසේ සඳහන් වේ.


‘ධාන්‍ය බද්ද අවලංගු කරනු ලැබුවේ සර් ආතර් හැව්ලොක් ආණ්ඩුකාරයාගේ කාලයේදීය. එය, එංගලන්තයේ ‘කොබ්ඩන් සමාජයේ’ අනුග්‍රහයද ලබමින් ජෝජ් වෝල් හා ආචාර්ය ක්‍රිස්ටෝපර් එලියට්, දීර්ඝ කාලීනව ගෙන ගිය උද්ඝෝෂණයක් උච්ච ස්ථානයකට පත්වීමකි. බද්ද නැවැත්වීමට අධිරාජ්‍ය ආණ්ඩුව තීරණය කළ බව ආණ්ඩුකාරයා මුලින්ම ජෝජ් වෝල්ට දන්වා සිටියේය. නොබෝ කලකින් කොබ්ඩන් සමාජය තම රන් පදක්කම දානපති සටන්කාමියාට පිරිනැමුවේය.’ (පිටු 134, 135)


ජෝජ් වෝල්. 1893 දෙසැම්බර් 22 දින අභාවප්‍රාප්ත විය. ලිප්ටන් වට රවුමේ කුඩා පොකුණක වතුර මලක් සහිත දර්ශනීය සිහිවටනය කෘතවේදී ලාංකිකයන්ගෙන් ඔහුට පිදුණු උපහාරයයි.

 

විශේෂඥ වෛද්‍ය බී.ජී.ඒ. විද්‍යාතිලක