විශ්වය ප්‍රසාරණය වීමේ වේගය ආ​ලෝකයේ වේගය ඉක්මවයිද?


නව ලොව සහ විදුලොව

 

  • වසර බිලියන පහකින් බුද සිකුරු හා පෘථිවිය පුපුරා විනාශ ​ෙවනවා  

 

2016 දී නාසා ආයතනයේ හා යුරෝපීය අභ්‍යාවකාශ ආයතනයේ විද්‍යාඥයින් විශ්වය ප්‍රසාරණය වීමේ වේගය කලින් සිතුවාට වඩා 5% සිට 9% දක්වා වූ වේගයකින් සිදුවන බව ප්‍රකාශ කර තිබුණි. මෙම වසරේ නොවැම්බර් මාසය වන විට විශ්වය ප්‍රසාරණය වීමේ ​වේගය අලෝකයේ වේගයට සමාන බව විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත.  


වසර බිලියන 13.8 කට ඉහත දී සිදුවූ මහා පිපිරුමෙන් (Big Bang) පසු වසර බිලියන 9.8 කාලයක් විශ්වය ප්‍රසාරණය වී ඇත්තේ සෙමින් හා ක්‍රමයෙන්. ඉන්පසුව විශ්වය වේගයෙන් ප්‍රසාරණය වීමට පටන්ගෙන ඇති අතර වර්තමානයේ විශ්වය ආලෝක වර්ෂ බිලියන 46.1 දුරින් ඈතට යමින් සිටින බව විද්‍යාඥයෝ සඳහන් කරති. වර්තමානයේ තාරකා විද්‍යාඥයින් දකින ආලෝකය වසර බිලියන 13 කට ඉහත දී මන්දාකිණි විමෝචනය කළ ඒවා බවත් එම ආලෝකය වසර බිලියන 13.8 කාලයක සිට ගමන් කර ඇති බවත් සඳහන් කරති. වර්තමානයේ එම මන්දාකිනි ආලෝක වර්ෂ බිලියන 26ක දුරින් ඉවතට ඈත් වෙමින් පවතී. මේ අනුව විශ්‍වය ප්‍රසාරණය වීමේ වේගය ආලෝකයේ වේගයට සමාන වන බව සඳහන් කර තිබේ.  


විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මුලින්ම සොයා ගත්තේ 1912 දී අ​ැෙමරිකානු තාරකා විද්‍යාඥයකු වූ වෙස්ටෝ ස්ලිපර් විසිනි. 1922 දී ඇලෙක්සැන්ඩර් ප්‍රීඩ්මන් විශ්වය ප්‍රසාරණය වන බව න්‍යායාත්මක සාක්ෂි ලෙස පෙන්වීමට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ ක්ෂේත්‍ර සමීකරණ භාවිතා කළේය. 1927 දී රුසියානු විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලමෙයිත්‍රි මන්දාකිණියක ඇති දුර හා ප්‍රවේගය අඩුවීමේ රේඛීය සම්බන්ධතාවය පිළිබඳ ප්‍රථම නිරීක්ෂණාත්මක ගවේෂණය ඉදිරිපත් කළේය. 1929 දී එඩ්වින් හබල් ප්‍රකාශ කළේ සියළුම මන්දාකිණි එකිනෙකින් ඈත්වෙමින් පවතින බවත් වඩාත් දුරින් පිහිටි මන්දාකිණි වඩා වේගයකින් ඈත්වෙමින් පවතින බවත්ය.  

 


විද්‍යාඥයින් විශ්වය ප්‍රසාරණය වීම නිදසුනක් ලෙස දක්වනුයේ තිත් සහිත බැලුමක් පිම්බීමේදී සිදුවන ක්‍රියාවලියයි. බැලුම පිම්බීමේ දී තිත් අතර ඇති පරතරය ඈත්වන අතර ඈතින් පිහිටි තිත් අතර පරතරය ආසන්නයේ ඇති තිත් අතර පරතරයට වඩා වේගයකින් ප්‍රසාරණය වේ. විශ්‍වය ප්‍රසාරණය වීමේදී සිදුවනුයේ ද වස්තූන් අතර ඇති අවකාශය ප්‍රසාරණය වීම මිස වස්තූන් ගමන් කිරීම නොවේ. විශ්වය ප්‍රසාරණය වීමේ වේගය ආලෝකයේ වේගයන්ට සමාන වුවද මන්දාකිණි ආලෝකයේ වේගය අභිබවා ගමන් කිරීමක් සිදු නොවන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අනුව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යාය වන කිසිම වස්තුවකට ආලෝකයේ වේගය අභිබවා යා නොහැකිය යන සිද්ධාන්තය බිඳවැටීමක් නොවේ.  
ආලෝක වර්ෂ බිලියන 18 කට දුරින් පිහිටි මන්දාකිණියකට ආලෝකයේ වේගයෙන් සංඥා නිකුත් කළ ද කිසිම දිනක එයට ළඟා විය නොහැකි බව විද්‍යාඥයන්ගේ මතයයි. වාර්තමානයේ විශ්වය ප්‍රසාරණය වීමේ වේගය මනින ක්‍රම දෙකක් විද්‍යාඥයෝ භාවිතා කරති. ඉන් එකක් වනුයේ ආසන්නයේ ඇති මන්දාකිණිවල ඇති දුර හා ප්‍රවේගය අතර ඇති සම්බන්ධතාවය මැනීමෙනි. දෙවැනි ක්‍රමය වනුයේ අතීත විශ්වයේ පැවැති විකිරණ අධ්‍යයනය කිරීමෙන් මෙගාපාසෙක් 20 ක් (මෙගාපාසෙක් එකක් ආලෝක වර්ෂ මිලියන 3.26 කට සමානය) දුරින් පිහිටි වස්තුවක් තත්පරයට කි.මී. 1320-1480 ක වේගයෙන් ඈත්වෙමින් පවතින අතර මෙගාපාසෙක් 5000ක දුරින් පිහිටි වස්තුවක් තත්ත්පරයට කි.මී. 330,000-370,000 ක වේගයෙන් අප වෙතින් ඈත්වන බව විද්‍යාඥයෝ සඳහන් කරති. මෙම වේගය එම වස්තු ගමන් කරන වේගය නොව වස්තූන් අතර ඇති අවකාශය ප්‍රසාරණය වීමක් පවතී එය ආලෝකයේ වේගය වූ තත්ත්පරයට කි.මී. 299,792 ක් වූ වේගය අභිබවා යාමක් නොවේ.  


විශ්වය ප්‍රසාරණය වීමත් සමගම වස්තූන් අතර ඇති පරිමාව වැඩිවන අතර පදාර්ථ හා විකිරණවල ඝනත්වය අඩුවේ. පදාර්ථ ඝනත්වය අඩුවීමේ වේගයට වඩා වැඩි වේගයකින් විකිරණ ඝනත්වය අඩුවන අතර විශ්වය ප්‍රසාරණය වීමත් සමග තරංග ආයමයක් ද දිගුවේ. පදාර්ථ හා විකිරණ ඝනකය අඩුවුව ද අවකාශයේ ඇති ශක්තිය නොවෙනස්ව ස්ථිරවම පවතින අතර විද්‍යාඥයෝ මෙය ගුප්ත ශක්තිය (Dark Energy) ලෙස හඳුන්වති. විශ්වයේ ඇති ස්කන්ධ හා ශක්ති ප්‍රමාණයෙන් 2/3 ඇත්තේ ගුප්ත ශක්තිය බව තවදුරටත් සඳහන් කරති.  
නිරීක්ෂණය කළ හැකි විශ්වයේ මන්දාකිණි ට්‍රිලියන දෙකක් පමණ ඇත. අපගේ සෞරග්‍රහ මණ්‍ඩලය පවතින ක්ෂීර පථය ආලෝකවර්ෂ 14000 ක විශ්කම්භයකින් යුක්තය. වසර බිලියන 5 කට පසුව අපගේ සූර්යයා පෘථිවි කක්ෂයට ආසන්න වනතෙක් විශාල රතු තාරකාවක් ලෙස වර්ධනය වන බවත් බුද හා සිකුරු ග්‍රහයන් ඇතුළුව පෘථිවිය ද විනාශ වන බවත් විද්‍යාඥයෝ සඳහන් කරති. වසර ට්‍රිලියන 100 කට පසු විශ්වයේ ඇති සියළුම තාරකා සහ මන්දාකිණි කළු වාමන බවට පත්වන බවත් වසර කොඩ්‍රිලියනයකට පසුව සියළුම මන්දාකිණි හා තාරකාවල ආලෝකය නැතිවී කළු කුහර (Black Holes) වලින් වැසී ගොස් මුළු විශ්වයම අන්ධකාරයෙන් වැසීයන බවත් විද්‍යාඥයින් සඳහන් කර තිබේ.  


1990 අප්‍රේල් 24 වැනි දින නාසා ආයතනය විසින් පෘථිවියේ සිට සැතපුම් 340ක් දුරින් පිහිටි කක්ෂයක ස්ථානගත කළ හබල් අභ්‍යවකාශ දුරේක්ෂකය නිරීක්ෂණය කළ වඩාත්ම දුරක පිහිටි මන්දාකිණිය වනුයේ ආලෝක වර්ෂ බිලියන 13-4 ක දුරින් පිහිටි GN z11 නම්වූ මන්දාකිණියයි. මේ අනුව විද්‍යාඥයින් සඳහන් කරනුයේ හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයකට නිරීක්ෂණය කළ හැකි උපරිම දුර ප්‍රමාණය ආලෝක වර්ෂ බිලියන 10-15 බවය. මෙම වසරේ දෙසැම්බර් 22 දින නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යාවකාශ ආයතනය එක්ව නිෂ්පාදනය කළ ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය පෘථිවියේ සිට කි.මී. මිලියන 1.5ක දුරින් පිහිටි කක්ෂයක රැඳවීමට බලාපො​රොත්තු වේ. අති නවීන උපකරණවලින් හා මීටර් 6.5 දිග දුරේක්ෂකයෙන් මහා පිපිරුම සිදුවී වසර මිලියන 100 කට පසු අතීතයේ නිර්මාණය වූ ප්‍රථම තාරකා හා මන්දාකිණි නිරීක්ෂණය කළ හැකි බව නාසා ආයතනය සඳහන් කරයි. මන්දාකිණි නිර්මාණය වූ ආකාරය හා ඒවායේ පරිණාමය පිළිබඳවත් තාරකා හා ග්‍රහලෝක ක්‍රමය පිළිබඳවත් ජීවයේ උපත පිළිබඳවත් ගවේෂණය කිරීමට නාසා ආයතනය අදහස් කරයි. මෙම දුරේක්ෂය ස්ථාපිත කිරීමෙන් පසු විශ්වය පිළිබඳ පුළුල් දැනුමක් ලාබ ගැනීමට අනාගතයේ දී අපට හැකිවනු ඇත.

 

ශාස්ත්‍රවේ දී 
පී.ඩබ්ලිව්. ගුණතිලක