යූරි ගගාරින් පිළිගත් කිරිවත්තුඩුවේ වීර මැගිලින්


ගැමි රසවිත

 

 

පාකිස්ථානයේදි ආගමික අන්තවාදීන් පිරිසක් පහර දී සහාසික ලෙස ශ්‍රී ලාංකිකයෙකු මරා පුළුස්සා දැමූ පුවත මේ වනවිට ලොවම කම්පාවට පත්කර ඇත. එසේම එම ලාංකිකයාට පහර දෙන අවස්ථාවේ ඔහු බේරාගැනීමට උත්සාහ කළ පාකිස්ථානු ජාතිකයාට එරට අගමැති ඉම්රාන් ඛාන් විසින් වීර සම්මානයක් ලබා දුන්නේය. 

 
මෙරටද මෙයට දශක කීපයකට පෙර ශ්‍රී ලංකාවේද ජීවිත 12ක් බේරාගත් වයස අවුරුදු 14 යෞවනියක්ද ලංකාවේ එවකට අගමැතිනි සිරිමාවෝ බංඩාරණායක මැතිනිය අතින් වීරවරියක් ලෙස සම්මානයට පාත්‍ර විය. ඒ 1961 වර්ෂයයේදීය. ඇය හෝමාගම කිරිවත්තුඩුවේ විසූ මැගිලින් නම් තරුණියයි.   


මැගිලින් යෞවනිය වීරවරියක ලෙස සම්මානයට පාත්‍ර වීමට හේතු වූ සිදුවීම සිදුවන්නේ 1961 වසරේ ජුලි 07 දිනය. එවකට ඇය පදිංචිව සිටියේ හෝමාගම - කිරිවත්තුඩුවේ දියගම ප්‍රදේශයේය. ඇය පසල් අධ්‍යාපනය ලබමින් සිටියේ දියගම කනිටු විදුහලේය. මැගිලින්ට පාසල් යාමට සිදුවූයේ දියගම ඔයෙන් එගොඩවීය. දියගම තෝරමුල්ලේ සිට පාසලට දිනපතා ගමන් කරනුයේ මෙම ඔය හරහා දමා තිබූ පොල් කොට ඒ දණ්ඩක් උඩිනි.   
මෙදින වැසි ඉතා අධික දිනයක් විය. ඔය පිරී ඉතිරී යන මට්ටමට පත්ව තිබුණි. එදා මෙන්ම වර්තමානයේද අධික වැසි දිනවලට මෙම ඔය උතුරා ප්‍රදේශයම ජලයෙන් යටවේ. මෙම දිනයේ මැගිලින් හා තවත් පාසල් දැරියන් පිරිසක් ඔයෙන් එගොඩවීමට ඒදණ්ඩට ගොඩවී ඇත. පිරිස දහතුන් දෙනෙකි. වෙනත් දිනවලද ඒදණ්ඩෙන් මෙම දරු පිරිස ගමන් කරනුයේ සුපුරුදු ලෙස පෝලිමේය. මෙසේ මෙම පිරිස ඒදණ්ඩ දිගේ පෝලිමේ පැමිණෙද්දී ඔය මැද්දේදී එක්විටම ඒදණ්ඩ කැඩී සියලුම දෙනා ඔයට වැටී ඇත.  


මෙම කණ්ඩායමෙන් පිහිනීමට හැකියාව තිබී ඇත්තේ මැගිලින් ශිෂ්‍යාවට පමණි. ඇය කෙසේ හෝ පීනා ඔය ඉවුරට ගොඩවී බලනවිට දැක ඇත්තේ අනෙක් දොළොස් දෙනා ඔයේ දිය පහරේ ගසා යන අයුරුයි. ඇය දෙවරක් සිතුවේ නැත. සිය ජීවිතය පරදුවට තබා එක් විටම සැඩ පහරට පැන ඒමේ අත පිහිනමින් දෙදෙනා බැගින් විටින් විට ඔය ඉවුරට ගෙනවිත් ඇත. ඇය එසේ නොකළා නම් දොළොස් දෙනෙකුගේ ජීවිත මෙලොව හැර යන්නට ඉඩ තිබුණි.   


මෙම වීරක්‍රියාව පිළිබඳව ගමෙන් එතරම් ඇගැයීමක් නොලැබුණද, ගමේ සමුපකාර වෙ​ෙළඳ සැලේ කළමනාකාරතුමා (මැනේජර් මහතා) මෙම ප්‍රවෘත්තිය එවකට ලේක් හවුස් ආයතනයේ අධිපතිතුමා වෙත දන්වන ලදී. එතුමා මෙම ප්‍රවෘත්තිය ඡායාරූප සහිතව ලේක් හවුසියෙන් පළකළ ජනතා පුවත් පතේ මුල් පුවත ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙම ප්‍රවෘත්තිය පළ වීමත් සමඟ මේ ගැන රටේම අවධානය යොමු විය. පුවත්පත ඇය හඳුන්වා තිබුණේ වීර මැගිලින් ලෙසය. ඒ අනුව ඇයට වීර පදක්කමක් ලබා දීමට එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තීරණය කළාය. 1961 වසරේදී වීර පදක්කම ඇයට හිමි විය.   


එතෙකින් ඒ කතාව නිමවෙන්නට තිබුණත් එය එසේ නොවිණි. එම වසරේ දෙසැම්බර් 07 දින ලංකාවට සුවිශේෂි දිනයක් විය. එනම් අභ්‍යාවකාශය දිනූ ලොව පළමු මිනිසා වන යූරි ගගාරින් ශ්‍රී ලංකා අගමැතිනියගේ ආරාධනාව පිට ලංකාවට පැමිණියේය.   
ගගාරින් මහතා පිළිගැනීමට සුදුස්සෙක් පිළිබඳ කතාබස් කරන අවස්ථාවේ ලේක්හවුස් අධිපතිතුමා ඒ සඳහා මැගිලින්ගේ නම යෝජනා කළේය. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් කැබිනට් මණ්ඩලයත් එකහෙලාම එම යෝජනාව පිළිගත්තේය.   


එදින ගගාරින් ලංකාවට සැපැත් වූයේ රත්මලාන ගුවන් තොටුපළිනි. එහිදී වීර මැගිලින් මල්මාලයක් පළඳා අභ්‍යවකාශය දිනූ වීර මිනිසා පිළිගත්තාය.   
අගමැතිතුමිය පවසා තිබුණේ වීරයෙක් පිළිගැනීමට අපෙන් වීරවරියක් යොදනවා යනුවෙනි. මැගිලින් ගැන අවධානය අගමැතිතුමිය වෙතින් එතකින් ගිලිහුණේ නැත. ඇය නැවැත කැඳවා ඇයට අවශ්‍ය දේ පිළිබඳව විමසුවාය.   


ඒ අනුව ඇගේ පියාගේ ඉල්ලීම වූයේ දරුවාට හොඳ ඉස්කෝලයක් දෙන්න යනුවෙනි. පළමුව ඇයට පිළියන්දල මධ්‍ය මහා විදුහල ලැබුණි. එහෙත් එවකට අධ්‍යාපන ඇමැති වූ බද්යුද්දීන් මොහොමඩ් මහතාගේ අනුදැනුම මත ඇයට කොළඹ විශාඛා විදුහලේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසුනි. සාමාන්‍ය පෙළ දක්වා ඇය එහි අධ්‍යාපනය ලැබුවාය. මෙම සිදුවීම සිදුවූ ස්ථානයේ වර්තමානයේ ඉදිකර ඇති පාලම වීර මැගිලින් පාලම ලෙස නම්කර ඇත.   


මෙම සිදුවීම පිළිබඳව පැවැසීමේදී පැවසිය යුතුම දෙයක් ඇත. එනම් කෙනෙකුගේ දක්ෂතාවයක් වීර ක්‍රියාවක් ඇගැයීමේදී වර්තමානයේ මෙන්ම අතීතයේද ඊට ඊර්ෂ්‍යා කරන්නන් අකුල් හෙළන්නන් සිටි බවය. වීර මැගිලින් ශිෂ්‍යාවට වීර පදක්කම ලබා දීමට සූදානම් වෙද්දී එය ඉවසා දරා ගැනීමට නොහැකි වූ පිරිසක් ඊට එරෙහිව පෙත්සම් පිට පෙත්සම් යවන ලදී. මැය වංචාවක් සිදුකළ බවත් දියට වැටුණු ළමයින් බේරාගත්තේ මැය නොවන බවත් පවසමින් අධ්‍යාපන ඇමැතිවරයාටත් පොලිසියටත් අගමැතිනිය වෙතත් පෙත්සම් යවා තිබුණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වුණු පොලිස්පති තුමා මේ කරුණ පිළිබඳව පරීක්ෂණයක් කර වාර්තාවක් සැපැයීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ගමට එවන ලදී. මේ ගැන තොරතුරු සොයා බැලීමට ඇගේ නිවසට පොලිස් කණ්ඩායම පැමිණෙනවිටදී ඇය සිටියේ එම සිදුවීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ගනිමිනි. ප්‍රතිකාර කළ හත්ලාහ වෙද මහතාගෙන්ද ඇසින් දුටුවන්ගේද සිදුවීමට භාජනය වූ සිසුවියන්ගෙන්ද විස්තර ලබාගත් පොලිස් කණ්ඩායම පොලිස්පතිවරයාට වාර්තා කර තිබුණේ පෙත්සම්වල ඇති කරුණුවල කිසිදු සත්‍ය තාවයක් නොමැති බවයි. ඒ අනුව 1961 නොවැම්බර් 05 දින අගමැතිනිය විසින් ඇයට වීර පදක්කම පළඳවන ලදී.   


කොත්මලේ   
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි