බලාපොරොත්තු කඩකර හෙලිකොප්ටරයක් නොපෙනී යයි


දින 42ක් හිමාලයේ අතරමංව - 3

 

වළාකුළු රහිත නිල් අහස්තලයේ හිරු පායා ඇවිත් තිබිණ. එකදිගට සිවු දිනක්ම මෙසේ පායා ආ හිරුරැස් නිසා දියවී ගෙන එමින් තිබූ හිමකැට තදින් එකනෙකට ඇලීගැලී තිබුණෙත් පය ඉක්මන් කර එළියට බැසගත හොත් හිමතලාව තුළ නොගිලී ගමන් කිරීමට වැඩි අවකාශයක් ඇති බැවින් මේ වන තුරු ඔහු වෙත නවාතැන් සැලසූ ගල්වැටිය වෙතින් පිට වී යාමට ජේම්ස් තීරණය කළේය. දියවුණු හිමකැට වලින් ජලය ගලායාමෙන් නිර්මාණය වී තිබූ අගල අයිනෙන් වැවී තිබූ පළල් පත්‍ර සහිත ගස් කිහිපය මත කිසියම් ගෙඩි වර්ගයක් ඔහු හට දැකගන්නට ලැබුණෙන් ඒවා ආහාරයට ගත හැකි වනු ඇතැයි කුසගින්නෙන් පීඩිතව සිටි ඔහුට සිතුනේය. 
එම ගස් කිහිපය ළඟින්ම සැදී ගිය ගොඩැල්ල මතට බැරි බැරි ගානේ ගොඩ වූ ඔහුට ඉතාමත් ඈතින් කුඩාවට ගම්මානයක් වැනි දෙයක්ද ඇස ගැටින. එම ගස් අතරින් වඩාත්ම ලංවීමට පහසු ගස වෙතට කිට්ටු කර බැලූවිට ඒ ගෙඩි වර්ගයක් මෙන් ඈතට පෙනී ගිය මල් පොහොට්ටු වර්ගයක් විය. ඒවා හෝ කා දමා කුසගින්න මඳකට හෝ නිවා ගැනීමේ අරමුණෙන් එක මල්පොහොට්ටුවක් කඩා මුව තුළට ඔබා ගත්තද එහි වූ මුව හාරාගෙන ගිය අතිශයින් වූ තිත්ත අපුල රසය නිසා විගසින් පිටතට දැමුවේ එහි වූ කිසියම් විෂ සහිත බවද වටහා ගනිමිනි.


අතර මං වූ දිනයේ සිට දැනට සති දෙකකට ත් වඩා කාලයක් ගත වී ගොසිනි. සිරුරේ දුබල බව ඔහු හට එක දිගට ඇවිදගෙන යාමට ඉඩ නොදුන් අතර සෑම මිනිත්තු කිහිපයකටම වරක් බැගින් ඔහු සිටි තැන එහෙමම නතර වී විවේක ගැනීමට සිදුවිය. පාද, ඇඟිලි සියල්ලම ජීවය රහිත ඒවා බවට පත් වෙමින් තිබේ.
දැන් පැහැදිලිවම ඔහු වෙත මරණය ළඟා වෙමින් සිටී. ගැලවීම ඇත්​තේ දවසින් දවස වියැකී යන ඔහුගේ ආත්ම ශක්තිය වඩවා ගැනීම මතම පමණකි.


දැන් ඔහු ඉතාමත් දුර්වලව, ශරීර උෂ්ණත්වයද පල්ලම් බැස ගොසිනි.


සෑම උත්සාහයක්ම අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ වී ගොසිනි. නේපාලය යනු ඉතා දුෂ්කර රටක් බව අසා තිබූ ජොඈන් තම සොයුරා නිසා ඕනෑම කැපකිරීමක් කරන්නට තරම් අධිෂ්ඨානශීලීසහගතය. තම දෙමාපියන් මෙන්ම ජේම්ස් හා විවාහ ගිවිසගෙන සිටි ගේයි. සියලු අපේක්‍ෂාවන් තබා සිටින්නේ ඇය මතය මේ අතර ජේම්ස් ගේ තවත් හිතවත් මිත්‍රයෙකු වූ ඇන්ඩෘ රොස්, ඇය හා නේපාල ගමනට එක්වීම ජොඈන් හට මහත් වූ සහනයක් ලබා දුන්නේය.


නේපාලයේ, කත්මන්ඩු නුවර වෙත ගුවන් යානාවෙන් ආ ඔවුන් දෙදෙනා රැගෙන යාමට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ එවූ වාහනයෙන් ගමන් කරද්දී. ඈතින් සුදට සුදේ දිස් වූ හිමාල කඳු යායේ කොතැනක හෝ තම සොයුරා මං මුලා වී සිටිනා වග සිහි වී ඇයගේ දෑස කඳුළින් තෙමී ගියේය. තානාපති කාර්යාල නිලධාරියෙක් වූ ග්‍රේම් ෆෙප්, ඔවුන් හට අදාළ සියලුම කරුණු සවිස්තරව පැහැදිලි කර දුන්නේ හිමාල කඳුයායේ අතරමං ව හෝ මියගොස් සිටින ජේම්ස් සෙවීම ඉතා දුෂ්කර වූත් භාරදූර වූත් ක්‍රියාදාමයක් බවද පවසමිනි.
ජේම්ස් සෙවීමට යොදවා තිබූ ගවේෂණ කණ්ඩායමෙන් කිසියම් හෝ ආරංචියක් ලබා ගැන්මට අඩුම වශයෙන් පැය විසිහතරක (24) කාලයක් ගත වනු ඇතැයි ද ග්‍රේම් ෆේ කියා සිටියේය. එමෙන්ම රේඩියෝව ඔස්සේ දිනකට තුන්වරක් පමණ ජේම්ස් පිළිබඳ ප්‍රචාරය කිරීමටත් ඔහු හෝ ඔහුගේ සිරුර සොයා දෙන්නෙකුට විශාල මුදලක් පිරිනැමෙන බවටත් දන්වා සිටීමටත් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණේය.   
මේ වනවිට, කඳු නැංග කැනේඩියානු පිරිසට හමු වූ පුද්ගලයා ජේම්ස් නොව ජර්මන් ජාතිකයකු බව ද සොයාගෙන තිබිණි.     


අහසේ සඳ ලොකු රිදී පැහැති බෝලයක් මෙන් දිදුලමින් පායා තිබුණේ සුදු හිමතලය මත නොයෙකුත් රටා මවමිනි. සති ගණනාවක්ම ගත වී අතීතයට එකතු වී හමාරය. රුදුරු මරණය එනතුරු ජීවත්වීමට සිදුව ඇත. එහතේ එය තමන් වෙත එනුයේ ඉතාමත් හෙමින් තමන්ම පීඩාවට පත් කරමිනි. එකිනෙකට ඇළ වී තද වී තිබූ හිම කැටි බෝලවලට ගුලිකර හිරුරැස්වලට අනාවරණය වන අයුරින් තැබුවහොත් ඒවා ඉක්මනින් ජලය බවට පත් වී පානය කිරීමට පහසු වනු ඇතැයි ඔහුට වැටහුණේය. නැතහොත් ඒවා දිය වනතුරු බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවේ. එසේ කර දියවූ හිමකැටිවලින් එකතු වූ ජලය බිංදු තම උගුර දිගේ සිරුර තුළට ගලායද්දී, වියළි වී හේබෑ වී තිබූ දුබල සිරුරට කිසියම් ප්‍රාණවත් බවක් ගෙන දුනි.   


දිනක් තම නිදන බෑගය තුළට ගුලි වී සිටිය දී අත්තටු සලනවාක් මෙන් හඬක් ඔහුට ඇසින. එයට දින කිහිපයකට පෙර දී කුඩා කුරුල්ලන් කීපදෙනෙකුගේ කිචිබිචියක් අසල වූ ගස්කොළන් අතරින් ඔහුට ඇසී තිබිණ. වරින්වර පැමිණ උන් තමන් අසල හේඩෑරි ව වැටී තිබූ තණ පඳුරු කිහිපය මත ද වැසුවෝය. රැහැයියෙකුගේ හෝ පළඟැටියෙකුගේ නාදයක් හෝ ඇසෙන්නට නැති මේ පාළු හිමකතරට පැමිණි ඒ කුඩා කුරුල්ලන් ගේ දසුන ඔහු වෙත ගෙන ආවේ මහත් වූ ප්‍රමෝදයකි. ආශ්වාදයකි. 

 
ඔවුන්ගේ ජීවයෙන් පිරි තටු ගැස්ම කෙසේ හෝ මේ දුක්ඛ දෝමනස්සය දරාගෙන හැකි තාක්කල් ජීවත් වෙන්නට ඔහුගේ සිත දිරිමත් කළේය.   


එහෙත් මේ දිනයේ ඔහු දුටුවේ කළු පැහැති විශාල වූ ඇස් ඇති තරමක් ලොකු කුරුල්ලන් දෙදෙනෙකි. එම විශාල වූ ඇස් කරකවරමින් ඔහු දෙස බලා සිටි උන් උඹ තාමත් ජීවතුන් අතරද... ඉක්මනට මැරියන්කෝ.... අපිත් ඉන්නේ බඩගින්නේ..... පවසමින් මෙන් ගොරහැඩි නාදයක් පෑමට පටන් ගත්තෝය. දුබල අතක් දිගුකර උන් පලවා හැරිය ද සැමදාම පාහේ ඔහු අසලට පැමිණි උන්ගේ අවලක්ෂණ අඳුරු දෙනෙත් ඔහු වෙත තිගැස්මක් ද ඇති කළේය.  


මියගියාක් මෙන් හඟවා නිසලව හිඳ උන් ඔහු ළඟට පැමිණිවිට එකෙකුව අල්ලා මරා කෑමට ගතහොත් තම දුබල සිරුරට කිසියම් ශක්තියක් ලබා ගත හැකි බව ඔහුට හිටිහැටියේ අදහසක් පහළ වූවේය.   
දෑස පියාගත් ජේම්ස් මියගියාක් මෙන් හඟවමින් එක් අතක් විහිදා ගත්තේ උන් එකෙතු අල්ලා ගැනීමේ පහසු ඉරියව්වකට හරිබරි ගැසෙමිනි. උන්ගෙන් එකෙක් ඔහු මියගොස් ඇතැයි ඔහු ළඟට ආවද දුර්වල ඔහුගේ දෑතට පෙර ඉස්සර වී වහා ඉවතට ඉගිල ගොස් ඈතට වී ඔහු දෙස බලා සිටින්නට වූයේ සමච්චලයට මෙනි.   
තවත් කුසගින්න දරා ගත නොහැකි තරම්ය... දුබල සිරුර ආහාරම ඉල්ලා සිටී. අසල වූ පෙඳ පාසි පවා කඩාගෙන කෑමට ඔහු තැත් කළේය. එහෙත් කෙසේවත් ඒවා ආහාරයට ගත හැකි නොවීය. හිමකැට එකතු කරමින් සිටිය දී දිනක් පෙඳ පාසි අතර වකුටු වී සිටි දළඹුවෙකු ඔහුගේ ඇස ගැටුණේය. කොළ පැහැති උගේ සිරුර පුරා බූවක් වැනි කෙඳි තිබිණ. දෙවරක් ​නොසිතා වහා ඌ තම අත්ල මතට ගෙන පොඩි කර මුව තුළට දමා ගත්තද  මුව හාරා ගෙන ගිය තිත්ත අමිහිරි රසය අපුල බවක් ගෙන දුන්නේය. එහෙත් ඉන් ලැබුණු ප්‍රෝටීන ඩිංගිත්ත ඔහුට කිසියම් ශක්තිමත් බවක් ගෙන එනු ඇත. ඔහු වහා හිම කැටිතිවලින් දියවී තිබූ ජලය මුවට හලා ගත්තේ එම මුව හාරා ගෙන ආ අපුල බව නැති කර ගන්නටය.


සිරුරේ දුබල බවත් සමඟ වරින් වර ඔහුගේ මුවින් හා නාසයෙන් රුධිර බිංදු ගලා එයි. තම ඔලොගුව තුළ වූ තුවාල මත තවරන බෙහෙත් ටියුබය ගෙන මුව මත හට ගෙන තිබූ තුවාල මත එහි ආලේපය තවරාගන්නට වූයේය. අපූරු වූ මිහිරි රසයක් ඔහුට දැනුනෙන් ඔහු එය ද කා දැමුවේ පොඩි දරුවෙකු මෙනි. තම නිදන බෑගය තුළට ගුලි වී අතීත සුන්දර සැමරුම් සිහි කරමින් සිටි ඔහුට දිනක් එක් සැඳෑවක ගේයි සමඟ සෙටියේ වාඩි වී රූපවාහිනියේ පෙන්වමින් තිබූ සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටියේ එඩ්ල් වයිස් ගීතය හඬනගා ගායනය කළ අයුරු මතක් විය. එම මතකය ඔහු වෙත සැබෑ මිහිරක් ගෙන දුන්නේය.   


ජේම්ස් සොයා ගිය කණ්ඩායම් කත්මන්ඩු සිට තාලු දක්වා වූ ප්‍රදේශය පුරාම පීරා එම දුෂ්කර මාර්ගයන් ද පරීක්ෂා කර බලා තිබිණ. ලොරි බිනා දුර්ග මාර්ගය ඔස්සේ මහත් වූ දුෂ්කරතා මධ්‍යයේ ඔහු සොයා ගිය අනිකුත් කණ්ඩායම ද හැරී ආවේ හිස් අතිනි.   


ඒ අතරේ දී අතිරේක සහයක් හැටියට නේපාල හමුදා ඛණ්ඩයක නායකයා වූ කැප්ටන් පුන් නාරියන් සිං, ඔහුගේ හමුදා කණ්ඩායම් යොදවා එම කඳුකර ගම්මානවාසීන් දැනුවත් කරන්නට කටයුතු පිළියෙළ කරලීය.   
එම දිනය අහසේ වළාකුළු රහිතව පැහැදිලි බවක් දැනවීය. හිටිහැටියේ ඔහු මින් පෙර අසා නොතිබූ හඬක් ඇසෙන්නට විය. මදින් මද එම හඬ රිද්මයානුකූලව වැඩිවීගෙන ආවේය. ඒ සමගම ඔහුගේ හද වේගයෙන් ගැහෙනු ඔහුට දැනුනි.   


සත්තකින්ම ඒ හෙලිකොප්ටරයකි. තම නිදන බෑගයෙන් දණිපනි ගා එළියට ඒමට තතනද්දී එය ඉහළ අහසේ ඒ මේ අත පියාසර කරන්නට වූයේය. කලබලයෙන් තතනමින් එළිමහනේ හිමතලාවට පා තැබූ විට කලවා දක්වාම ඔහු හිමේ ගිලී ගියේය. ඔහුගේ නිල් පැහැති නිදන බෑගය අමාරුවෙන් ඉහළට ඔසොවමින් හිමේ ගිලී සිටියදීම ඔහු එය ඒ මේ අත වනන්නට වූයේ හෙලිකොප්ටරයේ සිටි අයට එම දසුන ඇස ගැසේවි යයි මහත් වූ බලාපොරොත්තුවකිනි. විනාඩි 15-20ක පමණ කාලයක් මෙසේ ගතවන්නට ඇත. ඔහුගේ දෑත තවත් ඉහළට ඔසොවා ගෙන සිටීමට තරම් ශක්තියක් නොමැත. මුළු දෑතම කැක්කුම් දෙමින් පුපුරු ගසන සේය. ජේම්ස්ගේ රුව ඔවුන් නුදුටු බව ඔප්පු කරමින් හෙලිකොප්ටරය නොපෙනී ගියේය.  


‘අනේ මාව දාලා යන්න එපා... දාල යන්න එපා....’  


කුඩා දරුවෙකු සේ ඔහු ඉකිබිඳිමින් හඬමින් හැකි තරම් වෙර ගෙන කෑගැසුවේය. එම විලාපය අවට හිමතලයේ පැතිර යමින් දෝංකාරය දුන්නා පමණි. ගිලී ගිය හිමයෙන් ආයාසයෙන් ගොඩ වෙමින් සිටිය දී එක් පාදකයක වූ සපත්තුව හිමේ සිර වී යට වී නොපෙනී ගියේය. ඔහු ඔහුටම ශාප කරගනිමින් ඔහු උන් තැනට බඩගාගෙන යාමට නැවත පටන් ගත්තේය.   


එම හෙලිකොප්ටරය ආවේ ඔහු සොයාගෙන බවට ඔහුට සිතුන ද එය එසේ විය නොහැකි බවටත් නැවතත් උපකල්පනය කළේය. සති 3ක් පුරා හිමේ අතුරුදන් වූ ඔහු තවත් ජීවතුන් අතර වෙතැයි කවුරු නම් විශ්වාස කරයිද?  


මේ අයුරින් තවත් ජීවත් විය හැකිද? යුතුද? තවත් නම් මේ දුක්ඛය ඉවසාගත නොහැකිය. මේ කාලකන්නි වූ ජීවිතය නැතිකර ගත යුතුමය. එසේ සිතද්දී තවත් පැත්තකින් ඔහු හට හැඟුනේ තම සමීපතමයින් ඔහු සොයාගන්නට උත්සාහයන් දරමින් සිටිනවා විය හැකි බවයි. ඒ බවට හොඳම සාක්ෂිය ඔහු දුටු හෙලිකොප්ටරයයි.   


තවත් දින තුන හතරක් මේ විලසින් ගත වූ පසුව ඔහු හට නැවතත් පෙර පරිද්දෙන්ම රිද්මයානුකූලව වැඩි වී ගෙන එන ඒ සුපුරුදු හඬ ඇසෙන්නට විය.   


තම නිදන බෑගය ගැහෙන දෑතින් ග්‍රහණය කරගෙන ඔහු එළිපෙහෙලි වූ ස්ථානයකට යන්නට වෙර දරමින් හිමය දිගේ බඩගාන්නට වූයේය. ඈත සිට එමින් තිබූ හෙලිකොප්ටරය ඔහුගේ සිත ප්‍රමුදිත කළේය. ඔහු පසුකරගෙන ගිය එම හෙලිකොප්ටරයේ දෙදෙනකු සිටිනවා ද ඔහු පැහැදිලිවම දුටුවේය. එහෙත් ඔවුන් ඉදිරිපස බලාගෙන හෙලිකොප්ටරය මෙහෙයුවා මිස වටපිට බලන බවක් නොපෙනින. අහෝ සෑම දෙයක්ම සිදු වන්නේ තමාගේ අවාසනාවන්ත බවටය.   


මතුසම්බන්ධයි...   

 

 

ස්වර්ණා ජේ. ජයවර්ධන