ජනපති සම්මානයෙන් පිදුම් ලැබූ වන රැජින


​ලෝකය වෙනස් කළ මිනිස්සු 

 

  • ඉන්දීය ජනපති අතින් ‘පද්ම ශ්‍රී’ සම්මාන දිනූ ඇය තුල්සි ගොව්ඩා   

 

වන රැජිනක් ලෙසින් අභිසෙස් ගැන්වූ මනුෂ්‍ය රැජිනක් ගැන පසුගිය දින කිහිපය මුළුල්ලේ සමාජ මාධ්‍යවල ඉහළින්ම කතා බහට ලක්විය. ජීවිතේ කිසිම දිනක අධ්‍යාපනයක් නොලැබූ ඇය මේ තරම් දුර පැමිණි ගමන් මග කිසිසේත්ම මල් මාවතක් නම් නොවූ බව කිව යුතුමය. ඇය නමින් තුල්සි ගොව්ඩාය.   


ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ උතුරු කන්නඩ දිස්ත්‍රික්කයට අයත් හොන්නාලි ගම්මානයේ වත්මන් පදිංචිකාරියක වන තුල්සි ගොව්ඩාගේ දැන් වයස අවුරුදු 77 කි. 1944 වසරේදී හොන්නාලි ගම්මානයේ ජීවත්වන “හලක්කි” නම් ගෝත්‍රයකට අයත් පවුලක බාල දියණිය ලෙසින් උපත ලැබුවාය. හක්කලි ගෝත්‍රික සම්ප්‍රදාය අනුව අලු‍තින් උපදින දරුවන්ට නම් තැබීමේ දී ඔවුහු “ගසක නමක්”‍ දරුවාගේ නමේ කොටසක් ලෙස යොදති. මුළුමහත් ඉන්දියාව ම පූජනීය ගසක් ලෙස සළකන “තුල්සි”‍ යන නාමය යොදා ඇයට තුල්සි යනුවෙන් නම් තැබිණි. තම අලු‍ත උපන් දියණිය දිනෙක “ගෞරවණීය කාන්තාවක වේවා”‍ යන ආශීර්වාදය එහි සැඟවුණු අර්ථය විය.   


ඇයගේ ළමා කාලය බොහෝමයක් ඉන්දියානු දැරියන්ගේ මෙන්ම අතිශය ඛේදනීය වූ බව නොරහසකි. නමුත් ඇය දැන් ඉන්දියාවේ පමණක් නොව ලොව පුරාම ජනප්‍රිය වී ඇත්තේ ඇයගේ අසීමාන්තික කැප කිරීම් නිසාය. ඒ කැපකිරීම් තම පවුල් කුටුම්භයට සීමා නොකළ තුල්සි එය මුළු ලෝකයටම බෙදා දුන්නාය.   
1954 සිට වසරක් පාසාම නොකඩවා පවත්වනු ලබන “පද්ම සම්මාන උලෙළ” මෙවරද නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් මන්දිරයේදී උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. එහිදී ඉන්දියානු ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක්කරන සියයක් පමණ ගෞරවනීය පුරවැසියන් අතරට තුල්සි ගොව්ඩා ඇතුළත් වූවාය. හලක්කි ගෝත්‍රයේ පාරම්පරික ඇඳුමින් සැරසී සිටි ඇය ඉන්දියානු පුරවැසියෙකුට ලැබිය හැකි සිව්වෙනි උසස්ම සිවිල් සම්මානය වන “පද්ම ශ්‍රී” සම්මානය හිමිකර ගනිද්දී උත්සව සභාවේ සුවහසක් ආරාධිත අමුත්තන් අතර කැපී පෙනෙන්නට වූවාය.   
තුල්සිට වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වෙත්ම සිදුවූ ඇයගේ පියාගේ මරණය නිසා සිය මවත් සමඟින් දේශීය වෙදකමේ නියැලු‍නු ඇය කියවීමේ සහ ලිවීමේ දුර්වලතා හේතුවෙන් කිසිමදාක විධිමත් අධ්‍යාපනයක් ලබන්නට තරම් වාසනාවන්ත නොවූවාය. ඇයගේ මව තාවකාලික කම්කරු රැකියාව කළේ,



ගමේ තිබුණු රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැළ තවානේ ය. ඇය කුඩා තුල්සි ද රැගෙන එහි වැඩට ගියා ය. එහිදී ඇය පැළ බෝකිරීම, තවාන් දැමීම සහ රක්ෂණය පිළිබඳව ඉගෙන ගත්තාය. තරමක් වැඩුණු තුල්සිට ද එහි තාවකාලික කම්කරු රැකියාවක් ලැබෙයි. හක්කලි ගෝත්‍රක චාරිත්‍ර අනුව, ඇගේ වයස 10 ක් 12 ක් තරමේ දී ගොවින්දා ගව්ඩා හා විවාහය සිදු වූයේය. නමුත් ඇය රජයේ පැළ තවානේ රැකියාව දිගට ම කරගෙන ගියා ය. අවුරුදු 35 කට පසු ව එහි ස්ථිර කම්කරුවකු ලෙස ඇය බඳවා ගන්නේ “දැනුම සහ කැපවීම” යන කාරණා සලකා ය.   

 


මවගෙන් ලැබුණු දේශීය වෙදකමේ ආභාෂය නිසාවෙන්ම, විවාහයෙන් පසු ඇය බොහෝ සෙයින් කාලය ගතකළේ වනාන්තරයේ ගස්වැල්, සතුන් අතරය. ජීවිතයේ කාලයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් වනාන්තර පහසේ ජීවත් වූ ඇය, නොදන්නා නොහඳුනන පැළෑටි, ශාක නැති තරම්ය. වනාන්තරයේ ඇති ශාක සහ ඖෂධ පැළෑටි පිළිබඳව ඇයට ඇති අග්‍රගන්‍ය දැනුම නිසාවෙන්ම “වනාන්තර විශ්වකෝෂය” (Encyclopedia of forest) ලෙසින්ද ඇය හඳුන්වයි.   


තුල්සි ගොව්ඩාගේ දැනුම සහ දක්ෂතාව ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් කර්ණාටක ප්‍රාන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇය තාවකාලික ස්වේච්ඡා සේවිකාවක වශයෙන් බඳවා ගන්නාවිට ඇයගේ වයස අවුරුදු 20 කි. වසර 35ක තාවකාලික ස්වේච්ඡා සේවයෙන් අනතුරුව තවත් වසර 15ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවිකාවක වශයෙන් අනුයුක්ත කරගන්නට ඔවුහු සමත් වෙති. දශක පහක කාලයක් පුරා වන සංරක්ෂණය වෙනුවෙන් ඇය ඉටුකර ඇති සේවය අමිලය.   


තුල්සි සඳහන් කරන ආකාරයට ඇය විවාහවන විට වයස අවුරුදු 12 කට වැඩි නැත. විවාහයෙන් පසු ඇය බොහෝ සෙයින් කාලය ගතකළේ වනාන්තරයේ ඇති ගස්වැල් සහ සතුන් සමඟිනි. මවගේ ආභාෂයෙන් ඇයට ලැබුණු දේශීය වෙදකම ද ඊට හේතු සාධක වෙන්නට ඇත.   


ජීවිතයේ වැඩිම කලක් වනාන්තර ආශ්‍රිතව ජීවත් වී තිබෙන ඇය, නොදන්නා නොහඳුනන ශාකයක්නම් එරට වනාන්තරවල නැත. වනාන්තරයේ ඇති ශාක සහ ඖෂධ පැළෑටි පිළිබඳව ඇයට ඇති අග්‍රගන්‍ය දැනුම නිසාවෙන්, ක්‍රම ක්‍රමයෙන් හීන වීගෙන යන වනාන්තර වැස්ම ප්‍රකෘතිමත් කරන්නට ඇයගෙන් ලැබුණු දායකත්වය වචනයෙන් කිව නොහැකිය. දශක පහක කාලයක් පුරා 30,000කට අධික ශාක ප්‍රමාණයක් රෝපණය කර ඇති ඇය ඒවා ආදරයෙන් පෝෂණය කළාය. රැකබලා ගත්තාය. ඉන් සමහරක් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබූ දුර්ලභ ගණයේ ශාක සහ ඖෂධ පැළෑටි වේ.   

 


ඉන්දියානු ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කරන ගෞරවණීය පුරවැසියන් අතරට තුල්සි ගොව්ඩා නමැති වනරැජින ද නම් කර තිබුණි.   


ජීවිතේ කිසිම දිනක අධ්‍යාපනයක් ලබා නොමැති ඇය ඒ හා සමානව ජීවිතේ කිසිම දිනක පාවහන් පැළැඳ නැත. හලක්කි ගෝත්‍රික කාන්තාවන්ගේ ඇඳුම (සාරිය) බොහෝ සෙයින් ග්‍රාම්‍ය වන අතර එම ඇඳුමින්ම රතු පැහැ වෙල්වට් පලස මැදින් වේදිකාවට ගොඩ වූ ඇය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාට සහ ඉන්දියානු ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාට ගෞරව දැක්වීමෙන් අනතුරුව “පද්ම ශ්‍රී”‍ සම්මානය ලබා ගත්තේ ඇයගේ සරලත්වය අගයමිනි.   


තුල්සි ගොව්ඩා කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් ලබා නොගත්ත ද, අද වන විට ලොව පුරා ප්‍රචලිත ව ඇත්තේ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ අනන්ත දැනුමක්’ ඇති වනාන්තර විශ්වකෝෂය’ ලෙසිනි.   
යෙල්ලප්පා රෙඩ්ඩි, ඉන්දියානු වන සංරක්ෂණ ඇකඩමියේ නිලධාරියෙකි. ඔහු තුල්සි ​​ගොව්ඩා ගැන මෙසේ කියා සිටියේ ය.   


“මට තුල්සි ගොව්ඩා මුණගැසුණේ ඉන්දියානු වන සංරක්ෂණ ඇකඩමියේ පුහුණුව ලැබූ ඉන්දියානු වන සේවා නිලධාරිණියක ලෙස වසර 28කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව යි. බොහෝ පර්යේෂණ සිදුකර තිබියදීත් දේශීය ඉන්දියානු ගස්වලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයකට පුනර්ජනන ගැටලු‍ ඇති බව මා දැක තිබුණා. වනාන්තරයේ සහ ගස්වල භාෂාව සහ ප්‍රරෝහණය, මල් පිපීම වැනි ශිල්පීය ක්‍රම පිළිබඳ ඇයගේ අවබෝධය සිත් ඇදගන්නාසුලු‍යි. නිදසුනක් වශයෙන්, මල් පිපෙන කාලය, ප්‍රරෝහණය වන කාලය සහ ශාකයක මව් ගසෙන් බීජ එකතු කිරීමට හොඳ ම කාලය ඇය දැන සිටියා. පුනර්ජනනය වඩාත් සුදුසු වන්නේ මව් ගසේ බීජ සමඟයි, එනිසා තුල්සි අපට බොහොම වැදගත් චරිතයක් වුණා.”‍   


ටිකෙන් ටික තුල්සිට ප්‍රසිද්ධිය සහ සමාජ පිළිගැනීම ලැබෙන්නට විය. 1986 දී ඉන්දිරා ප්‍රියදර්ශනී වෘක්ෂමිත්‍ර සම්මානය, 1999 කණ්ණඩ රාජ්‍ය උත්සව සම්මානය තුල්සිගේ දුසිමකට වැඩි සම්මාන ලයිස්තුවේ කිහිපයකි. ඇයට “පද්ම ශ්‍රී ”‍ සම්මානයෙන් නව වටිනාකමක් එකතුවුණා යැයි පරිසරවේදීන් පවසයි.   


තමාට පද්ම ශ්‍රී සම්මානය ලැබීම ගැන තමන් ඉතා සතුටු වන නමුත්, “වනාන්තර සහ ගස්වැල් වඩා අගය කරන”‍ බව තුල්සි කියා සිටින්නීය. මෙම ප්‍රකාශය ඇයගේ ප්‍රමුඛතා තහවුරු කරන අතරම, නම සහ කීර්තිය ද පැහැදිලි වේ.   


අඩ සියවසක් පුරා, තුල්සිගේ ජීවිතය කැරකුණේ, හොනල්ලි ගම්මානයේ, අඛණ්ඩ වන වගා ප්‍රයත්නයේ කොටසක් ලෙස, “අගසුර්”‍ තවානේ දී, ඇය බොහෝ සැලකිල්ලෙන් හා ආදරයෙන් පෝෂණය කළ පැළ වටා ය. වන දෙපාර්තුමේන්තුවේ සේවිකාවක් ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ඇය තම කුඩා මී මුණුබුරන් තිදෙනාට ආදරණීය මිත්තණියක වී සැහැල්ලු‍වෙන් දිවි ගෙවන්නීය.   


විකිපීඩියා සහ ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරෙනි...   

 

 

 

සටහන - තිළිණි ද සිල්වා