රහස් ජන්දෙන් බිඳ වැටුණු අහස් මාලිගා


පළාත් පාලන මැතිවරණයෙන් කිසිම පක්ෂයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ ආයතන එකසිය හැත්තෑ අටක සභා පිහිටුවීමේ කටයුතු ආරම්භ වූයේ ඉකුත් සතියේය. මෙම සභා ප්‍රමාණයෙන් සියයකට අධික සංඛ්‍යාවක බලය පොදු විපක්ෂයක් ලෙස එකට එකතු වී ලබා ගත හැකි බවට විපක්ෂයේ පක්ෂ නායකයන් මැතිවරණයෙන් පසු නිරතුරුවම කියා සිටියද රජය පැවසුවේ තමන් එම සභාවල බලය පිහිටුවන බවය. මේ සඳහා මන්ත්‍රීවරුන් ‘බා ගැනීමේ’ කටයුතු දෙපාර්ශවයම ආරම්භ කළත් ඉන් වැඩිවාසිය තිබුණේ ජාතික ජනබලවේගයටය.

විපක්ෂය එක්ව බලය ලබා ගැනීමේදී ආයතන අසූඅටක් සජබයටද ආයතන විස්සක් පොහොට්ටුවටද ආයතන හතරක් එජාපයට සහ ආයතන අටක් පුටුවට ලබාදීමට පසුගිය කාලය පුරාම සාකච්ඡා පවත්වා එකඟතාවට පැමිණ තිබුණි. ඒ සඳහා විපක්ෂයේ පක්ෂ සමග විටින් විට සාකච්ඡා පවත්වමින් ඇති කර​ගෙන තිබූ සභා පිහිටුවීමේ සැලැස්ම  ඉකුත්  සතිය  මුල    පටන් විශාල වශයෙන්  අවුල් වන්නට පටන් ගත්තේ විපක්ෂය සිතූ ආකාරයට සභා පිහිටුවීමට නොහැකි වූ නිසාය. ජාතික ජනබලවේගය ද විවිධ උපාය මාර්ග මගින් එම සභාවල බලය අත්පත් කර ගැනීමට කටයුතු යොදාතිබීම එයට හේතුවය.

කොළඹ නගර සභාව පිහිටුවීමේ වගකීම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා භාර ගත්තේය. විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉල්ලීම් ද ඉටු කරමින් සභාව පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රී බහුතරය සොයාගන්නා බවට මුජිබර් රහුමාන් පක්ෂ නායකයන්ට සහතිකයක් ද ලබා දුන්නේය. ඒ අනුව විපක්ෂයේ  පක්ෂ සමග සාකච්ඡාවාර ගණනාවක්ද පැවැත්වුණේය. වරින්වර ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් ගණනාවක්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ළඟට කැඳවාගෙන ඒමට ද මුජිබර් රහුමාන් පියවර ගත්තේය. එහිදී ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් පොරොන්දු වූයේ නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටින රිසා සරුක්ට සහාය ලබාදෙන බවය.

මාලිමාවේ මෙහෙයුම වටගලට

ජාතික ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීම සඳහා වෙහෙස වූ තිරය පිටුපස චරිතය වූයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලය. නගර සභා අපේක්ෂකයන් අතරින් ඔහුට සුවිශේෂී සහයෝගයක් ලැබුණේ ජවිපෙ පැරණිම නාගරික මන්ත්‍රීවරයා වන හේමන්ත වීරකෝන් ගෙනි. මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා ඔහු වුවත් ඔහු නොපැකිළව කැලී බල්තසාර් නගරාධිපතිනිය කිරීමට මහන්සි විය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී ඉතා කෙටි කලකින්ම ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝජ්‍ය ඇමැති වටගල අමතා නගර සභාව පිහිටුවීමේ අවශ්‍යතාව කියා සිටියේය. “වටගල ඇමැතිතුමා කොළඹ නගර සභාව කියන්නෙ ඔයා කලින් හිටපු තැනනෙ. අපි මේක ඡන්දෙදි තනි කණ්ඩායමක් හැටියට බලය ගත්තනෙ. ජනවරම අපටයි ලැබිලා තියෙන්නෙ. මේක පිටට ගියොත් අපරාදෙ. ඔයාට පුළුවන් ද මේක කණ්ඩායම එක්ක කතා කරලා අපට ගන්න. ‘‘ජනාධිපති අනුර කුමාර දිසානායක විමසුවේය.

‘‘“ආ මං කරල දෙන්නම්. මං හිටපු තැනනෙ.” ‘‘නියෝජ්‍ය ඇමැති වටගල ජනාධිපතිවරයාට පැවසුවේය.

එතැන් සිට ජාතික ජන බලවේගය වෙනුවෙන් වටගල මැතිවරුන් ඇදගැනීමේ මෙහෙයුම ඇරඹුවේය. ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය වූ අතර ඔවුන් ජනාධිපතිවරයාව මුණ ගැස්වූ පසු ඇතැම් මන්ත්‍රීවරුන් පැවසුවේ අපි වටගල මහත්තයත් එක්ක කතා කරගෙන තියෙන්නෙ. අපිට ඕනෑ වැඩ කරන්න කියාය. ජනාධිපතිවරයා ඒ සඳහා වැඩ පිළිවෙළක් සූදානම් කළේය. ඇතැම් මන්ත්‍රීවයෙකුට නගර සභාවේ කමිටුවක මුලසුන අවශ්‍ය වූ අතර තවත් කෙනෙකුට ඔහු නියෝජනය කරන කොට්ඨාසයේ සංවර්ධන වැඩ සිදු කිරීමට උදව් අවශ්‍ය විය. ඒ සියලු කටයුතු සඳහා ජනාධිපතිවරයා වැඩ පිළිවෙළක් යොදා දුන්නේය. වටගල ඇමැතිවරයා ඊළඟට හැරුණේ ප්‍රධාන පක්ෂවල මන්ත්‍රීවරුන් වෙතටය. පක්ෂ නායකයන් සමග නොව මන්ත්‍රීවරුන් සමග අදහස් හුවමාරු කරගත් අතර ඔවුන් කිහිප දෙනකුගෙන්ම එකඟතාව ලැබිණි. විදුලි බල්බය ලකුණ යටතේ තරග කළ පක්ෂයේ නායකයා වූ  ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාට වටගල ඇමැතිවරයා ‘‘“සර් යනුවෙන්” කතා කළේ ඔහු නීති  ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු හෙයිනි.  ‘‘“සර් අපිට වුවමනායි බලය පිහිටුවන්න...’’ එසේ කතා කළද ශ්‍රීනාත්  පෙරේරාගෙන් ස්ථිර තහවුරුවක් නොලැබිණි. එම පක්ෂයේ මහ නගර සභා මන්ත්‍රීවරයාට කතා කළ විට ඔහු මුලදී කැමැත්ත ප්‍රකාශ කර පසුව අකමැත්ත පළ කළේය. පැන්සල ලකුණින් තරග කළ අපේක්ෂකයාට ද කතා කළ මුත් ඔහුගෙන්ද පැහැදිලි පිළිතුරක් නොලැබිණි. ඒ හැරෙන්නට සෙසු ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා කළ වටගල ඇමැතිවරයා ඔවුන් සමග එකඟත්වයක් ඇති කර ගත්තේය. එහෙත් අවසාන දින නිලවරණය වන විට එයින් සභිකයන් දෙදෙනකුගේ සහාය ජාතික ජන බලවේගයට නොලැබුණේය. ඊළඟට වටගල ඇමැතිවරයාට දැනගන්නට ලැබුණේ සජබය එජාපය හා තවත් පක්ෂ තුළ සජබ අපේක්ෂක රිසා සරුක්ට අකමැති මන්ත්‍රීවරුන් සිටින බවය. ඔවුන් සමග දුරකථනයෙන් කතා කළ විට ඒ කිහිප දෙනාම කීවේ රිසා සරුක් ගැන ඔවුන්ගේ ඇති නොකැමැත්තය. අවසාන දින ඡන්ද විමසීම සඳහා පක්ෂ දෙකම මන්ත්‍රීවරුන් එකතු කරද්දී වටගලගේ මූලිකත්වයෙන් ජාතික ජන බලවේගය විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකුටම දැළ එළා තිබුණේ ය. කුඩා පක්ෂ අතරින් ප්‍රභා ගනේෂන්ගේ ජනතා කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගයේ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ඉදිරියේ මන්ත්‍රීවරයකු දෙස දිවුරුම් දුන් අතර එමගින්ද රටට සංඥාවක් ගියේ කුඩා පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ගේ සහායෙන් ජාතික ජන බලවේගය නගර සභාවේ බලය පිහිටුවනු ඇති බවය.

ඡන්දයට පෙර දින ද වටගල ඇමැතිවරයාගෙන් කැබිනට් ඇමැතිවරුන් ගණනාවක්ම නගර සභාවේ බලය ෂුවර් නේදැ’’යි විමසූ විට වටගල ඇමැතිවරයා ඒ බව තහවුරු කළේය.

‘‘විපක්ෂය ඇතුළෙ ලොකු අර්බුදයක් තියෙනවා එයාල දාල ඉන්න අපේක්ෂකයා ගැන. මේ නිසා දිස්ත්‍රික්කෙ මන්ත්‍රීවරු දෙදෙනෙක් අතර ගැටුමක් ඇතිවෙලා තියෙනවා. නාගරික මන්ත්‍රී කෙනෙක් මාව හම්බවෙලා මේ විස්තර ඔක්කොම කීවා. පරණ මන්ත්‍රීවරු ඉන්නෙ හරිම තරහෙන්. ඒ ගැටුමෙ වාසියත් අපට ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ’’ වටගල ඇමැතිවරයා කැබිනට් ඇමැතිවරුන්ට පිළිතුරු දුන්නේය.

රම්සි ටෝනිගේ විරෝධය

සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂකයා වූ රීසා සරුක්ට විපක්ෂයේම පක්ෂ ගණනාවකින් අකමැත්ත පළවී තිබිණි. එජාපයට අයත් මන්ත්‍රීවරුන් දහතුන්දෙනාගෙන් ප්‍රබලයකු වූ රම්සි ​ටෝනි ප්‍රසිද්ධියේම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සජබය තෝරාගෙන ඇති අපේක්ෂකයා සමග තමාට එකඟ විය ​ නොහැකි කාරණා බොහෝ ඇති නිසා ඔහුට සහාය නොදෙන බවය. විපක්ෂයේ පක්ෂවලින් තම අපේක්ෂකයා ගැන එවැනි මත පළවද්දී සමගි ජනබලවේගය එම පක්ෂ සමග දෙවැනි වතාවට සාකච්ඡා කර එකඟතාවක් ඇති කරගැනීමට උත්සාහ  කළේ   ද නැත.  සර්වජන බලයද සහා ලබාදෙන බවට මුලදී පොදු විපක්ෂයට පොරොන්දු වුවද අවසාන ඡන්ද ගණනයේදී එම පක්ෂයේ සහාය විපක්ෂ  අපේක්ෂකයාට ලැබී තිබුණේ නැත.

සජබ මන්ත්‍රීන් හෝටලයක

සජබ මන්ත්‍රී කණ්ඩායම නියමිත පරිදි ඡන්ද විමසීම සඳහා ගෙන්වා ගැනීමේ අරමුණින් ඔවුන් සියලු දෙනාටම කොළඹ තරු හෝටලයක් වන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නවාතැන් දී එහි සිට නගර සභාවේ ඡන්ද විමසීමට කැඳවාගෙන ඒමේ සැලසුමක් සංවිධානය කෙරුණේ සෑම මන්ත්‍රීවරයාගේම සහභාගීත්වය තීරණාත්මක නිසාය. ඒ අනුව සජබයෙන් පත්වූ මන්ත්‍රීවරුන් විසි නව දෙනාටම 15 වැනි  දින රාත්‍රිය ගත කරන්නට ලැබුණේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය. ජාතික ජනබලවේගය සජබ මන්ත්‍රීවරුන් බාගැනීම වැළැක්වීමද මෙම තීරණයට හේතු විය. එහි සිට බස් රථයකින් මන්ත්‍රීවරුන් සියලු දෙනාම පළමුව විපක්ෂනායක කාර්යාලයට කැඳවා ගෙනවිත් විපක්ෂ නායක හා සජබනායක සජිත් ප්‍රේමදාස ඉදියේදී ඔවුන්ට නාගරික මන්ත්‍රීධුරයේ දිවුරුම් දීමට අවස්ථාව ලබාදීමෙන් පසු කොළඹ නගර සභාවට කැඳවාගෙන ගියේ එදින පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී වීම පිණිසය. මීට  අමතරව සහාය ලබාදීමට පොරොන්දු වූ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලේඛනයක්ද ලබා ගත්තේ සජබ අපේක්ෂකයාට සහාය දෙන බවටය. මේ අනුව අත්සන් හැට එකක ලේඛනයක් සජබය සතු විය.

ඡන්දය දවසේ වාද විවාද

ඡන්දය පැවැත්වීම පිණිස සභාව රැස් වූ 16 වැනිදා නගර සභාවේ තත්ත්වය රූපවාහිනි සජීවී විකාශන මගින් රටටම දැක ගැනීමට ලැබුණේ. නගරාධිපති ධුරය සඳහා මන්ත්‍රීවරයකු පත් කර ගැනීමට පවත්වන්නේ රහස් ඡන්දයක්ද නැතිනම් විවෘත ඡන්දයක්දැයි තීරණය කිරීම සිදුවූ දැඩි ඝෝෂාකාරී පරිසරයක් තුළය. තමන්ට සහාය පළකරන විපක්ෂ මන්ත්‍රීවරුන් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා ජාතික ජනබලවේගයට රහස් ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය විය.

තම මන්ත්‍රීවරුන් රහසිගතව රජය සමග ගනුදෙනුවලට ගොස් ඇති හෙයින් එය වැළැක්වීම සඳහා කාටත් පෙනෙන සේ විවෘතව ඡන්ද ප්‍රකාශ කිරීමක් ලබාගැනීමට විපක්ෂයට අවශ්‍ය විය. ඒ පිළිබඳ තීරකයා වූයේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා දිසානායකය. ඇය රහස් ඡන්දයක් පැවැත්වීමට තීන්දු කළ අතර එයට සජබ මන්ත්‍රීන් පිරිසකගේ දැඩි විරෝධයක් එල්ල විය. එහෙත් කොමසාරිස්වරිය පැවසුවේ තමා කටයුතු කරන්නේ අමාත්‍යංශය සහ පනතේ ඇති ප්‍රතිපාදන අනුව බවත් එයට එකඟ නොවන්නේ නම් අධිකරණයට යා හැකි බවත්ය. මේ පිළිබඳව දෙපාර්ශ්වයම දිගු වේලාවක් තිස්සේ විවිධ මතවාද ඉදිරිපත් කළහ. එහෙත් පළාත් පාලන කොමසාරිස්වරිය දිගින් දිගටම කියා සිටියේ තමාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලැබුණු මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බවය.

ස්වාධීන කණ්ඩාය​මේ නාගරික මන්ත්‍රී   වැලිවත්ත කියා   සිටියේ තම මන්ත්‍රීවරුන්ගේ   ආරක්ෂාව සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙසය. ඒ අතර සජබ මන්ත්‍රීවරු විවෘත ඡන්දයක් ඉල්ලා සිටියහ.  මේ පිළිබඳව මන්ත්‍රීවරු නැගිට විවිධ අදහස් ඉදිරිපත් කළහ. රහස් ඡන්දයක් පිළිබඳ පළාත් පාලන කොමසාරිස්වරිය ආරම්භයේ දීම පළ කළ අදහසට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. පැයක පමණ  කාලයක් මේ ආකාරයට ඝෝෂාකාරී තත්ත්වයක් ඇති වෙද්දී සජබයේ රෝයි බෝගහවත්ත මන්ත්‍රීවරයා පැවසුවේ නිකරුණේ කාලය ගත වන නිසා රහස් ඡන්දයක් පවත්වන ලෙසය. තවත් උණුසුම් අවස්ථා කිහිපයකට පසු විපක්ෂය රහස් ඡන්දයක් පැවැත්වීමට එකඟවිය. එම රහස් ඡන්දයෙන් ජයගැනීමට ජාතික ජන බලවේගයේ කැලී බල්තසාර් සමත් වූවාය.

ඡන්දය විමසීම අවසන් වී ජාතික ජනබලවේගයේ කැලී බල්තසාර් නගරාධිපතිනිය ලෙස පත් වූ පසු නියෝජ්‍ය ඇමැති වටගල නගර සභාව තුළට ඇතුළු විය. ඔහු එහි පිවිසෙත්ම ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම නව නගරාධිපතිනිය සමග නියෝජ්‍ය ඇමැතිවරයා පිළිගත්තේ ළෙන්ගතුවය. ඇමැතිවරුන් ගණනාවකගෙන්ම වටගල ඇමැතිවරයාට දුරකථන ඇමතුම් ලැබුණු අතර ඉන් විමසුවේ විපක්ෂයෙන් උදව් කළ පිරිස ගැනය.

“කිහිප දෙනෙක්ම රිසා සරුක්ට විරුද්ධව හිටියා එයාල අපිට දෙන්න ඇති කියල හිතනවා. රහස් ඡන්දයක් නිසා එහෙම තමා හිතන්න තියෙන්නෙ...’’ වටගල ඇමැතිවරයා එසේ විමසූ ඇමැතිවරුන්ට උත්තර දුන්නේය.

ජයග්‍රහණයෙන් පසු ජාතික ජනබලවේග ආධාරකරුවන් නගර සභා භූමියේ සිට කතා බහ කළේ විපක්ෂ කණ්ඩායම තුළ ඇති වී තිබූ මතභේද තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගත් ආකාරය ගැනය. ඡන්දයට පෙරදින මන්ත්‍රීවරුන් තුන් දෙනකුගෙන් ජාතික ජන බලවේගයට එකඟතාව ලැබී තිබූ බවද එහිදී කියැවිණි.

ඒ සමගම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා චෝදනා කළේ පළාත් පාලන කොමසාරිස්වරියටය. ඇය රහස් ඡන්දයක් විමසීමට ගත් තීරණය පක්ෂග්‍රාහී තීන්දුවක් බව කී මුජිබර් ඇයට එරෙහිව නීතිය ඉදිරියට යන බවද සඳහන් කළේය. මුජිබර් මන්ත්‍රීවරයාගේ ලිපියට අත්සන් කළ ස්වාධීන මන්ත්‍රීන් හත් දෙනකුගේ සහාය ඡන්දයේ දී ලැබී තිබුණේ කැලී බල්තසාර්ටය.

කොලොන්නාවේ බලය අහිමි වූ ගැටුම

කොලොන්නාව නගර සභාවේ බලය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයට ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියද විපක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් එහිදී ද වාසිය අත්වුණේ ජාතික ජනබලවේගයටය. කොලොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට ඉකුත් 17 වැනිදා පැවැත් වූ සාකච්ඡාවකදී සිදුවූයේ සජබයේ මන්ත්‍රීවරයකු තම කණ්ඩායමෙන් ගැලවී ජාතික ඡනබලවේගයේ පිහිට පැතීමය. මෙම සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාව වන විට සජබ නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම එකඟතාව ලැබී තිබුණේ චම්ලි නමැති අපේක්ෂකයාටය. කොලොන්නාව සජබ සංවිධායක එස්.එම්. මරික්කාර් තම කණ්ඩායමට පැවසුවේත් ‘‘එහෙනම් චම්ලි තමයි අපේ නගරාධිපති කියාය. එහෙත් එම අදහසට සුසිල් කුමාර කොස්තා නාගරික මන්ත්‍රීවරයා එකඟ වූයේ  නැත. ‘‘එහෙම බෑ. මට නගරාධිපතිකම ඕනෑ. මමයි වැඩිම මනාප ගත්ත මන්ත්‍රීවරයා.’’ සුසිල් කොස්තා කීවේය.

‘‘නෑ... අපේ අපේක්ෂකයා චම්ලි. එයාට ඔබතුමත් සහාය දෙන්න. අනික් හැමෝම චම්ලිට පක්ෂයි...’’ මරික්කාර් මන්ත්‍රීවරයා යළිත් පැවසීමත් සමග දෙදෙනා අතර ඝෝෂාකාරී ගැටුමක් හට ගත්තේය. ඉන් අනතුරුව සුසිල් කොස්තා මන්ත්‍රීවරයා පිටතට පැමිණ තමාට සැලකු ආකාරය ප්‍රදේශයේ ජාතික ජනබලවේග ප්‍රධානීන්ට දුරකථනයෙන් දැනුම් දුන් අතර ඔවුහු වහාම සුසිල් කොස්තා මන්ත්‍රීවරයා ආරක්ෂිත ස්ථානයකට ගෙන ගියහ. ඒ සමගම එම මන්ත්‍රීවරයාගේ බිරිඳ ද එම ස්ථානයට ගෙන්වා දී එදින රෑ පහන් වනතුරු ඔහුට ආරක්ෂාව ද ලබා දුන්හ.

එහෙත් ඒ වන විට ජාතික ජන බලවේගය සභාවේ බලය අත්පත් කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යොදා තිබුණේ වෙනත් කුඩා පක්ෂයක මන්ත්‍රීවරයකු සමගය. ඔහුගේ සහාය ප්‍රමාණවත් වූ අතර සමගි ජනබලවේගයේ ආරවුලෙන් එළියට ආ මන්ත්‍රීවරයාගේ සහාය සභාවේ බලය ගැනීමට අත්‍යවශ්‍යම වූයේ නැත. එහෙත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ජාතික ජනබලවේගය එම මන්ත්‍රීවරයා ඉතා සුහදව පිළිගත්තේය.

පළාත් පාලන කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් ඡන්දය විමසූ 18 වැනිදා සජබයේ සුසිල් මන්ත්‍රීවරයා දිගින් දිගටම සිටියේ දුරකථන ඇමතුමකය. පෙරදින ඇති වූ ප්‍රශ්නය මේ වන විට විසඳී ඇතැයි සෙසු මන්ත්‍රීවරුන් සිතූ අතර විපක්ෂ මන්ත්‍රීවරු රහස් ඡන්දයකට එරෙහිව ඝෝෂා කරන්නට පටන් ගත්තේ ඒ අතරය. එහිදී නාගරික කොමසාරිස්වරිය රහස් හෝ විවෘත ඡන්දයකට කැමැත්ත අකමැත්ත විමසූ අතර සජබ සුසිල් මන්ත්‍රීවරයා රහස් ඡන්දයකට කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ සමගම බහුතරය තමන්ට නැති වූ බව දැනගත් විපක්ෂ මන්ත්‍රීවරු සභා රැස්වීම වර්ජනය කර පිටව ගියහ. ඒ අනුව ජාතික ජන බලවේගයට කොලොන්නාව නගර සභාවේ බලය හිමිවිය. සජබයෙන් මාලිමාවට සහාය දුන් අපේක්ෂකයා කිසිදු තනතුරක් ඉල්ලා සිටියේත් නැත. ඒ සමගම සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සුසිල් කොස්තාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත්තේය.

මාලිමාව විපක්ෂය සමග එකතු වෙයි

බලය ඇති තැන සමග දේශපාලනය කරන මෙරට දේශපාලන පක්ෂ ජාතික ජනබලවේගය සමග සෙමින් සෙමින් ඒකරාශී වීමේ පළමු පියවර තැබුවේ බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදීය. මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වූ අතර වතුකරයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසය ජාතික ජන බලවේගය සමග එකතු විය. නුවරඑළිය ප්‍රාදේශීය සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් අපේක්ෂකයාට සහභාපති ධුරය ද ජාතික ජනබලවේග අපේක්ෂිකාවට උපසභාපති ධුරය ද හිමි වූයේ එම එකඟතාව පරිදිය. නුවරඑළිය මහ නගර සභාවේ බලය ද ජාතික ජනබලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය එක්ව පිහිට වූ අතර නගරාධිපති ධුරය ජාතික ජනබලවේගයට ද උපනගරාධිපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයට ද හිමිවිය. සමගි ජනබලවේගය සමග සිටින දිගම්බරම්ගේ දේශපාලනයට එරෙහිව ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් ජාතික ජනබලවේගය සමග එකතුවීම දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සිදුවීමකි.

සභා හැට අටකින් තිස් තුනක් මාලිමාවට

ඉකුත් බදාදා වන විට බහුතරය නොතිබූ සභා හැට අටක ඡන්ද විමසීම් පවත්වා ප්‍රධානීන් පත්කර ගෙන තිබුණි. එයින් සභා තිස් දෙකක බලය ජාතික ජනබලවේගයට හිමිවිය. ඉන් සභා තුනක බලය ගත්තේ තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ලබමිනි. සභා තිස් හයක බලය පොදුවේ විපක්ෂයට හිමිවිය. සභා දාහතරක බලය සමගි ජනබලවේගයට ද සභා  හතරක පොහොට්ටුවට ද හිමිවී තිබිණි. ඊළඟ අනතුර මතුව තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳවය. තීරණාත්මක ස්ථානවලදී සජබ හා සෙසු පක්ෂවල අපේක්ෂකයන්ට ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් කතාකර මුදල් ත්‍යාග ලබාදීමට පොරොන්දු වී ඇති බවත් සමහර මන්ත්‍රීවරුන් රුපියල් ලක්ෂ දහයවැනි තෑගිවලට පක්ෂය මාරු කර ඇති බවත් විපක්ෂය කියයි. ඉකුත් බ්‍රහස්පතින්දා වන විට පක්ෂ තීන්දුවට පිටුපා ජාතික ජනබලවේගයට සහාය පළකළ මන්ත්‍රීවරුන් දස දෙනකුට ආසන්න පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණි.

යා දෙක නොරත රත ගාල්ලේ දී පෑහෙයි 

ගාල්ල මහ නගර සභාවේ බලය කාටද යන්න බොහෝ දෙනා අවදියෙන් සිටියකි. පළාත් පාලන ඡන්ද විමසීමේ දී ජාතික ජනබලවේගයට ගාල්ල මහනගර සභාවේ ආසන 17 ක් හිමි වූ අතර විපක්ෂ කණ්ඩායම්වලට ආසන 19 ක් හිමිවිය. කෙසේ වුවද පසුගිය දිනවල සජබ කණ්ඩායම් කළ පරිදිම විවෘත ඡන්දයක් අවශ්‍ය බව ඔවුහු කියූ අතර රහස් ඡන්දයක් අවශ්‍ය බව ජාජබ අදහස විය. ඡන්දයේ ස්වභාවය තෝරා ගැනීමට පැවති රහස් ඡන්දයේ දී රහස් ඡන්දයට පක්ෂව ඡන්ද 19 ක් ලැබුණි. මෙයට සජබ, පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කර සභාගැබෙන් ඉවත් වූ අතර ඉන් පසුව ඝන පූරණය සහිතව තැබූ ඡන්ද විමසීමේ දී ජාජබ අපේක්ෂකයාට පක්ෂ ඡන්ද 19 ක් ලැබුණි. උප නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රියන්ත සහබන්දු පත්විය. 

මෙය දේශපාලන ලෝකයේ විශාල කතාබහකට ලක්වූ සිදුවීමක් විය. කවදාවත් පෑහෙන්නේ නැත යැයි කියූ පොහොට්ටුව සහ මාලිමාව සභාවක බලය ඇල්ලීම ගැන ඇතැමුන් සැකයෙන්ද තවත් අය විමතියෙන්ද බැලූහ. කෙසේ වුවද පොහොට්ටු මන්ත්‍රීවරු ජාජබ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළාද නැද්ද යන්න ගැන විවිධ කතා ඇති විය. කෙසේ වුවද ඡන්දයට පෙර විපක්ෂ කණ්ඩායම් සමග එක්ව කටයුතු කරන බවට පොහොට්ටුව පොරොන්දුවක් දී තිබූ බව පැවසෙයි. ඒ පොරොන්දුව කැඩීම ගැන ගාල්ල නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් කරුණු විමසීමට පක්ෂ නායකත්වයේ අදහසක් ද ඇති බව වාර්තාවිය.

රාජ දූත