දේශපාලන වේදිකාවේ දියවෙන වෙල්ලස්සේ සීනි


දේශීයව නිෂ්පාදනය කළ සීනි ටොන් දහසය දහසක් විකුණාගත නොහැකිව ගොඩගැසී ඇති බව ඉකුත් දිනවල වාර්තා විය. එයට හේතු වී ඇත්තේ, ආනයනය කළ සීනි ටොන් දහස් ගණනකින් මෙරට වෙළෙඳුන්ගේ සීනි ගබඩා පිරී තිබීමය.

මෙරට සීනි නිෂ්පාදනය වන්නේ ඉතා සොච්චමකි. එය වාර්ෂිකව පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට දහයක ප්‍රතිශතයක් පමණි. ඉතිරි සියයට අනූවම ගෙන එන්නේ විදේශයෙනි. මේ වන විට ඇති වී තිබෙන ප්‍රශ්නයට හේතුව, දේශීය සීනි තිබියදී අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම විදේශයෙන් ගෙනැවිත් තිබීමය. 

සීනි නිෂ්පාදනය පමණක් නොව, ලංකාව වැනි දේශපාලනයෙන් සියල්ල තීන්දු වන රටක ජනතාවගේ හුස්ම ගන්නා වේගය පවා මැන බැලෙන්නේ දේශපාලන කෝණයෙනි. සමස්ත ජන ජීවිතයම දේශපාලනීකරණය වී තිබීම නිසා මේ රට ඉදිරියට ගමන් කරන්නේ නැත. දිනෙන් දිනම රට ගමන් කරන්නේ අගාධය කරාය. මේ වන විට දේශපාලන වේදිකාව තුළ වෙල්ලස්සේ සීනි දේශපාලන මාතෘකාවක් වී තිබීම කනගාටුවට කරුණකි. මෙහි වරද ආණ්ඩුව විපක්ෂයටත්, විපක්ෂය ආණ්ඩුවටත් බැර කිරීමට උත්සාහ ගන්නවා මිස රට තුළ සීනි නිෂ්පාදනය වෙමින් තිබියදී පිටරටින් සීනි ගෙනැවිත් ගබඩා පිරවූ පිරිස ගැන මේ දෙපාර්ශ්වයම කතා කරන්නේ නැත. 

වෙල්ලස්සේ පෞද්ගලික සීනි සමාගම් ආරම්භ වූයේ බුත්තල ප්‍රදේශයේ පැල්වත්තෙනි. 1981 පෙබරවාරි 19 වැනි දින පැල්වත්ත සිනි සමාගම ස්ථාපිත වූයේ අවුරුදු දෙක තුනක් තිස්සේ පැවැති ගොවි අරගලයකුත් තුරුලු කරගෙනය. ට්‍රැක්ටර් යකඩ ගපර්සන් පැමිණි මහා වනස්පති බිම දමමින් ඉඩම් කොල්ලකන බවට සාහිත්‍ය නිර්මාණ බිහි වූයේ මේ සීනි සමාගමේ බිහි වීම මුල් කරගෙනය. විදේශීය සමාගමකට අයත් සීනි සමාගමට අමුද්‍රව්‍ය වන උක් දඬු සැපැයීම සඳහා අලුතෙන් කැලෑ කපා උක් සිටුවූ අතර, ගැමියන්ගේ පරම්පරාගත හේන් බිම් ද ඒ යටතට ගැනිණි. එවැනි කලාප හෙවත් ජනාවාස දාහතක් බුත්තල සීනි සමාගමට අයත් විය. නිරන්තරයෙන් නැඟුණු ගොවි අරගල සහ දේශපාලන හේතු මත බුත්තල සීනි සමාගම 1987 දී රජයට පවරා ගත්තේය. විදේශීය සමාගමට ඉඩම් ලබා දුන්නේ තිස් අවුරුදු බදු කුලියකටය. රජයට පවරා ගැනීමත් සමග ගැමියන්ගේ ඉඩම් ද සමාගමේ පාලනය යටතට පත්විය. එ.ජා.ප. රජය බහු ජාතික සමාගම්වලට මෙරට ගොවින්ගේ ඉඩම් බදු දෙන බව කියමින් එවකට විපක්ෂය විවිධ උද්ඝෝෂණ ඇති කරමින් සීනි සමාගම් ඇති කරන වැඩපිළිවෙළට බාධා කළේය. ‘සීනි අරගලය’ විවිධ කලා කෘති නිර්මාණ පිණිස ද හේතු විය.

1989 භීෂණ සමයේදී ජ.වි.පෙ. කැරැලිකරුවන් බුත්තල සීනි සමාගම් භූමියට පහරදී ඉන්දීය ජාතික නිලධාරින් තිදෙනකු මරා දැමීමට ද, වෙල්ලස්සේ සීනි සටනේ ලේ වැකුණු ඉතිහාසයට අයත් වේ. සීනි සමාගමේ ප්‍රධාන කෘෂි විශේෂඥයා වූ ඉන්දීය ජාතික බන්සාල් සහ ඔහුගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු මරා දැමූ ජ.වි.පෙ. කැරැලිකරුවෝ සීනි සමාගමේ ගොඩනැගිලි ද ගිනි තැබූහ. උක් බිම් සටන ලේ වැකුණු අරගලයක් බවට ඒ අයුරින් පත්විය. හේන් ගොවිතැන අසාර්ථකව සිටි ගොවින් පසු කාලීනව අප සමග පැවැසුවේ, සීනි කම්හල් නොතිබුණේ නම් තම දරු පවුල් කුසගින්නේ මියයන බවය. කෙසේ හෝ අද වන විට සෙවණගල, පැල්වත්ත වැනි සීනි සමාගම් නිසා එම ප්‍රදේශවල බඩවියත සොයාගන්නා ජන සංඛ්‍යාව දහස් ගණනකි.

අද ප්‍රශ්නය වන්නේ, ඉඩම් පිළිබඳව නොවේ. එදා ජනතා විරෝධතා මැද හෝ කැලෑ කපා වගා කළ උක් දඬු මගින් නිපදවන දේශීය සීනි ටික විකුණා ගන්න බැරිව ගොඩගැසී තිබීමය. දේශීය සීනිවලට වඩා අඩු මිලට ආනයනික සීනි මෙරට වෙළෙඳසල් තුළ ගොඩගසා තිබීමය.

නූතන අන්දරේලාගේ සීනි කෑම නිසා කටේ පස් වැටුණේ රජුන්ගේත් අන්දරේගේත් නොව සීනි හැදීමට උක් වවන අසරණ ගොවින්ගේය.

ඉකුත් වසර අවසන් වෙද්දී පැල්වත්ත සීනි කර්මාන්තශාලාවෙහි සීනි ටොන් 16,000ක ප්‍රමාණයක් ඉතිරි වී තිබිණ. මේ වසරේ නිෂ්පාදනයෙන් තවත් ටොන් 1,000ක් මේ වන විට එයට එකතු වී ඇත. ඒ අනුව මේ වන විට සීනි ටොන් දාහත් දහසක් එම සමාගමේ විකුණාගත නොහැකිව ගබඩා වී තිබේ. 

අද වෙල්ලස්සේ ලියැවෙන්නේ නූතන උක් දඬු ගින්නය. හතළිස් පස් අවුරුද්දකට කලින් වනපෙත කපා උක් වවනවාට විරුද්ධව හඬ නැඟුවත් අද ඒ ඉඩම්වල සිටුවූ උක් දඬු ටික සීනි කරගන්න බැරිව දුක් විඳින ගොවින් ගැන නාට්‍ය නිපදවන්න, ගීත පබඳින්න කෙනකු නැත. එදා මහා වන ව්‍යාපෘතිය කපා ජල පෝෂක වනසා සීනි සමාගම් ස්ථාපිත කිරීම නවතන්නට කාටවත් බැරි විය. එදා පරිසරය වැනසුවා සේම උක් වගාව ද සාරෙට පැතිරුණේය. උක් වැවූ ගොවි පවුල් ලක්ෂයකට හමාරකට අලුත්ම ජීවිකා වෘත්තියක් ද බිහිව තිබුණේය. 

එදා කළ වන විනාශය පළාතට මහත් පිළිලයකි. එහෙත් කවුරු එදා අකැමැති වුවත් උක් වැවූ ගම්මාන නිසා බිහි වූ යැපෙන්නන් ලක්ෂයක් හමාරක් රැක ගැනීම අද රටේ වගකීමකි. ප්‍රශ්නය වන්නේ‌, ඒ වගකීමට කර තියන්න කෙනකු නැති වීමය. වෙල්ලස්සේ හැදෙන සීනි දිය වෙන්නට හැර රට සීනි උලාකෑමෙන් රට සංවර්ධනය වන්නේ නැත. සීනි හිඟය මැකීම සඳහා රටින් සීනි ගෙන ආ යුතු මුත් මෙරට නිපදවෙන සීනි ටික රැකෙන වැඩපිළිවෙළක් යටතේ එතෙර සීනි ආනයනය කළ යුතුය. ආණ්ඩු මාරු වුණා කියා අමාත්‍යාංශ නිලධාරින්ගේ ප්‍රතිපත්ති තවමත් වෙනස් වී නැති බව මින් පෙනෙයි. 

ආණ්ඩුවක් මාරු වී තවත් ආණ්ඩුවක් ආ පමණින් දේශීය කර්මාන්ත රැකෙන්නේ නැත. ඒ සඳහා වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුය. මොනරාගල දිසාවේ සීනි කම්හල් පත්ව සිටින ශෝචනීය තත්වය ඒ සඳහා හොඳම උදාහරණයය. මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සැමදාම කටයුතු කළේ දේශීය කර්මාන්ත රකින්න නොව වළ පල්ලට යවන්නටය. දේශීය කර්මාන්තවලට රාජ්‍ය බදු අඩු විය යුතු වුවත් මෙරට මුදල් අමාත්‍යාංශය රාජ්‍ය බදු වැඩිපුරම පනවන්නේ දේශීය කර්මාන්තවලටය. සීනි කම්හල්වල සේවය කරන කම්කරුවන් සහ උක් ගොවින් පාරට බැස උද්ඝෝෂණය කරන්නේ ආනයනික සීනිවලට සියයට 18ක් වූ වැට් බද්ද සහ සියයට දෙකයි දශම පහක් වූ සමාජ ආරක්ෂණ බද්ද අය නොකරන බවත්, එම බදු දෙකම දේශීය සීනිවලට අය කරන නිසා මෙරට සීනි නොවිකිණෙන බවත් කියමිනි. දේශීයව හදන සීනි ටිකට බදු අය කිරීමෙන් රටින් ගෙනෙන සීනිවලට වඩා දේශීය සීනි මිල වැඩි වේ. සෙවනගල, ගල්ඔය, ඇතිමලේ සහ පැල්වත්ත සීනි කම්හල්වල සේවය කරන සංඛ්‍යාව අසූදහසකි. යැපෙන පවුල් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසකි. රාජ්‍යය තුළ සිටින අන්දරේලාගේ සීනි කෑම නිසා වැලි කන්න වී ඇත්තේ සේවකයන්ට සහ මහජනතාවටය. 

සීනි පිළිබඳ ප්‍රශ්නයට ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතුය. කැලෑ කපා සීනි සමාගම්වලට ඉඩම් යායවල් පිදූ එවකට පැවැති ආණ්ඩුව මෙන්ම දේශපාලන වාසි ගැනීමට එම ආණ්ඩුවට එරෙහිව සීනි සමාගම් විරෝධී මතයක් රට තුළ ඇති කළ විපක්ෂයේ සියලු කණ්ඩායම් ද අද විකුණාගත නොහැකිව දිය වෙන සීනි ප්‍රශ්නයේ වගකිව යුත්තෝය. එදා සීනි සමාගම්වලට එරෙහිව කෑගැසූ එවකට වාමාංශික පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණට අද රාජ්‍ය බලය ලැබී තිබියදීත් දේශීය සීනි විකුණාගත නොහැකි ලෙස ආනයනික සීනි ගෙන එන්නේ නම්, එම ආණ්ඩුවට ද දේශීය සීනි ගොවියා රැක ගැනීමට වැඩපිළිවෙළක් නොමැති බව පිළිගැනීමට සිදු වේ. වර්තමානයේ දේශීය සීනි සඳහා ක්‍රියාත්මක වන සියයට 18ක වැට් බද්ද පැනවූයේ මෙම ආණ්ඩුව බලයට ඒමට පෙර පැවැති ආණ්ඩුවය. එහෙත්, දේශීය සම්පත් සුරකින බවට නිරතුරුව හඬ නගන වත්මන් රජය බලයට පැමිණ මාස හතක් ගෙවී ඇතත් පෙර පැවැති රජය සීනි සඳහා පැනවූ බද්ද ඉවත් කිරීමට කල්පනා නොවූයේ ඇයි?

ලංකා සීනි සමාගම රජයට අයත් සමාගමකි. එම සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ සීනි ටොන් දහසය දහසක් ගොඩගැසී ඇති බවත්, එම සීනි විකුණා ගැනීමට නොහැකි වුවහොත් කම්හල වැසී යාමේ අවදානමක් ඇති බවත් මුලින්ම ප්‍රකාශ කළේ එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නුවන් ධර්මරත්න මහතාය. සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන එතනෝල් විශාල ප්‍රමාණයක් ද විකුණාගත නොහැකිව ගොඩගැසී ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එම තනතුරට පත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක එම පදවියට පත්වූ පසු පිහිටුවූ තිදෙනාගේ ඇමැති මණ්ඩලය යටතේ විජිත හේරත් කර්මාන්ත ඇමැතිවරයා වූ පසුවය. සීනි ප්‍රශ්නය දේශපාලන පක්ෂ අතර ‘සෙම සවුලක්’ බවට පත්වෙද්දී රජය සීනි ප්‍රශ්නය විසඳුවේ අපූරු ක්‍රමයකටය. එනම්‌, සීනි පිළිබඳ සත්‍යය රටට ප්‍රකාශ කළ සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නුවන් ධර්මරත්නට ඉල්ලා අස්වීමට බල කිරීමෙනි. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව පවසා බලයට පැමිණි වත්මන් රජය යටතේ ද ක්‍රියාත්මක වන්නේ දේශපාලකයන්ගේ හිතූ මනාපයට රාජ්‍ය සේවකයන් බිලි දීම බව එම ඉල්ලා අස්වීමෙන් වටහාගත හැකිය. 

ඉකුත් වසර අවසන් වෙද්දී පැල්වත්ත සීනි කර්මාන්තශාලාවෙහි සීනි ටොන් 16,000ක ප්‍රමාණයක් ඉතිරි වී තිබිණ. මේ වසරේ නිෂ්පාදනයෙන් තවත් ටොන් 1,000ක් මේ වන විට එයට එකතු වී ඇත. ඒ අනුව මේ වන විට සීනි ටොන් දාහත් දහසක් එම සමාගමේ විකුණාගත නොහැකිව ගබඩා වී තිබේ. මෙම තත්වය උදාවන්නේ දේශීය සීනි අවශ්‍යතාවෙන් සියයට අනූවක්ම ආනයනය කරන තත්වයකදී වීම මෙහි ඇති ඛේදනීය තත්වයයි. දේශීයව නිපදවෙන ප්‍රමාණය ඉවත දමා සම්පූර්ණ අවශ්‍යතාවට ආනයනික සීනි මගින් සපුරා ගන්නේ නම් එවැනි රටක දේශීය කර්මාන්තයක් සුරැකීම සිහිනයක් පමණකි. 

මෙම ප්‍රශ්නය සීනිවලට පමණක් අදාළ වූවක් නොවේ. දේශීයව නිෂ්පාදනය වන යම් භෝගයක හෝ යම් කර්මාන්තයක නිෂ්පාදන වෙළෙඳපොළට එන විට එම නිෂ්පාදනයම විදේශයෙන් ආනයනය කිරීම මෙරට නිතර දැකිය හැකි ප්‍රශ්නයකි. මෙරට ලූනු අස්වනු නෙළන විට විදේශයෙන් ලූනු ආනයනය කිරීමත් නිරතුරුව සිදු වේ. එවැනි විටක දේශීය කර්මාන්තය සුරැකීම සිදුවන්නේ නැත. සිදුවන්නේ එම දේශීය කර්මාන්ත විනාශ වීමය. එවැන්නකින් රටට සුගතියක් වන්නේ නැත. 

1977 ජුලි මාසයේ සිදු වූ දේශපාලන වෙනස පදනම් කරගනිමින් මෙරට ආර්ථිකය ආවෘත ආර්ථික ප්‍රතිපත්තියේ සිට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය දක්වා වෙනස් විය. මෙම නව ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳව එතෙක් ක්‍රියාත්මක වෙමින් පැවැති විවිධ සීමා ඉවත් කෙරිණි. නිදහසේ බඩු භාණ්ඩ ආනයනයට අවසර හිමි විය. දේශීය නිෂ්පාදනවලට මනා නිමාවෙන් යුතු විදේශීය නිෂ්පාදන සමග තරග කිරීමට සිදු විය. එම තරගයෙන් දේශීය නිෂ්පාදන පරාජය වී විදේශීය නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් ඇති විය. එම තරගයට මුහුණ දී ගත නොහැකිව දේශීය නිෂ්පාදන අභාවයට ගියේය. මෙරට සිදු කරමින් පැවැති විදේශීය බඩු භාණ්ඩවල දේශීය ආදේශන කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැසී ගියේ එම බඩු භාණ්ඩවලට විදේශීය නිෂ්පාදනවල මනහර නිමාව සමග තරග කිරීමට නොහැකි වීමෙනි.

මෙරට ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙයට පෙර එවැනි මගකට පිවිසි සිංගප්පූරුව, හොංකොං, තායිවානය, දකුණු කොරියාව වැනි රටවල විවෘත ආර්ථික ප්‍රතිපත්තියට සමාන වූයේ ඉතාම කෙටි කාලයකටය. 1980 පමණ වන විට විවෘත ආර්ථිකයේ යම් වටිනාකමක් තිබුණේ නම්, එය විනාශ වී විවෘත ආර්ථිකය යනු විදේශයෙන් බඩු භාණ්ඩ ගෙන්වීම පමණක්ය යන මතයක් රට තුළ පැතිරුණේය. 

රට තුළ නොමැති බඩු භාණ්ඩ පමණක් නොව රට තුළ නිෂ්පාදනය කළ හැකි බඩු භාණ්ඩ පවා විදේශයෙන් ගෙන්වන තරමට මුදල් අමාත්‍යාංශයේ සහ මහා පරිමාණ වෙළෙඳුන්ගේ ආධිපත්‍යයට ආර්ථිකය තල්ලු වී ගියේය.

වර්තමානය වන විට මෝටර් රථ ආනයනය මුදල් අමාත්‍යාංශය මගින් යම් පාලනයකට ලක් කර ඇතත්, මෑතක් වනතුරුම වාහන ආනයනය කළේ සීමාවක් නොමැතිවය. වාහන ආනයනකරුවන්ට ඇති තරම් වාහන ගෙන ඒමට ඉඩ දී මුදල් අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් ඉවත බලා සිටීමේ ප්‍රතිඵලය වූයේ මෙරට විදේශ විනිමය සංචිත සිඳී ගොස් රථවාහන සේල් තුළ ඇතැම් විට එම වාහන නිෂ්පාදකයාගේ රට තුළ පවා නොමැති තරමට වාහන සංචිතයක් මෙරට පැවැතීමය.

මෙම තත්වය වාහන ආනයනයට පමණක් සීමා වූයේ නැත. පිච්ච මල් පූජා ඇතුළු මහා පරිමාණ පින්කම්වලටත්, රට තුළ ඇති ප්‍රධාන පෙළේ හින්දු කෝවිල් ගණනාවකටත් දිනපතා අවශ්‍ය වන පිච්ච මල් ප්‍රමාණය මෙරටින් සොයාගත නොහැකිව එම මල් ආනයනය කළේ ඉන්දියාවෙනි. මල් රැගත් ගුවන් යානා කිහිපයක් සෑම සතියකම දින කිහිපයක් මෙරටට පැමිණියේය. කෘෂිකාර්මික රටක් ලෙස හඳුන්වන මෙරට ඉඩකඩම් නිකරුණේ වල් වැදෙද්දී දේශීය ගොවින් පිරිසකට මල් වැවීමෙන් ආදායමක් උපයාගත හැකි ක්‍රමයක් සකස් කරන්නට අදවත් පාලකයන්ටත්, රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ටත්, කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ පර්‌යේෂකයන්ටත් නොහැකිව තිබේ. විවෘත ආර්ථිකයට මුවා වී අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ආනයනයට මුල් තැන දෙන දේශපාලන බලවතුන් මෙන්ම නිලධාරි තන්ත්‍රය ද දිනපතාම විනාශ කළේ ඉතා අසීරුවෙන් උපයා ගන්නා විදේශ විනිමය සංචිතයයි. වත්මන් රජය ද එවැනි අනවශ්‍ය දෑ ආනයනයට සීමා පැනවීමට තවමත් මැළි වී සිටින ආකාරයක් දැකගත හැකිය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කෙටි කාලයකින් වෙනස් කිරීමට රජයට නොහැකි බව ද අප පිළිගත යුතුය. එහෙත්, ජීවිත පූජා කළ අරගල මැදින් බිහිව සීනි සමාගම් නිසා ජීවිතය ගැටගසා ගන්නා ගොවින්ගේ ආර්ථිකය රැක දීම ද ආණ්ඩුවේ වගකීමකි.

ප්‍රේමකීර්ති රණතුංග