අපරාධ මඩින එස්.ටී.එෆ්. මෙහෙයුම


ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ පළමු කථාවෙන් “ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම” යන තේමාවට ලබා දී තිබුණේ සුවිශේෂී ස්ථානයකි. ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදී ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ඒ කථාවේ අන්තර්ගතය තුළ වූ එක් කරුණක් වූයේ ‘ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙන්ම ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය යළිත් ශක්තිමත්ව ගොඩනැගුම” යන්නය. ඒ අනුව, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සමස්ත ආරක්ෂක අංශ එක්ව කළ සුවිශේෂී කාර්යභාරය හමුවේ මෙරට පාතාලයට, සංවිධානාත්මක අපරාධයන්ට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට කණ කොකා හඬන්නට විය.   


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයට අත පොවමින් විශාල මෙහෙයුම් ගණනාවක් සිදුකරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිවිරෝධී ආකාරයෙන් උපයාගෙන තිබූ රුපියල් කෝටි ගණන් මුදල් අත්පත් කර ගැනීමට මෙන්ම විකිණීමට ගොඩ ගසා තිබූ හෙරොයින්, අයිස්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට වැටලීම් නිලධාරීහු සමත් වූහ.   


මේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය අතර ඇත්තේ අනුයෝජනීය සම්බන්ධයකි. ගහට පොත්ත මෙන් එකට බැඳී පවතින මේ පාතාලයත් මත්ද්‍රව්‍ය ජාවාරමත් එකම දම්වැලක පුරුක් මෙනි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ “පාරිතෝෂිකය” නම් අවි ආයුධ ය. එකක් දුන් විට දෙකක් ලැබෙන වෙළෙඳ උපක්‍රම මෙන් හෙරොයින් ජාවාරමේ දී මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “බෝනස්” වශයෙන් අවි ආයුධ ලබා දෙයි. මත්ද්‍රව්‍ය වෙළෙඳාමේදී ඇතිවන බල අරගලයට තනි රකින්නේ මේ කියන අවි ආයුධ ය. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි ආයුධ යනු එකී දම්වැලක පුරුක් වෙන්නේ ඒ ආකාරයෙනි. මේ කියන දම්වැල ශක්තිමත් වන්නේ 80 දශකයෙන් පසුව බවට මේ වෙන විට සමාජ විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. විවෘත ආර්ථිකයත් සමග වරින් වර අඩු වැඩි වශයෙන් හිස ඔසවමින් සිටින මෙකී සන්නද්ධ පාතාලය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය බලය ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත සටනක නියැලෙයි.   


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේදී ද පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධ මෙරටින් අතුගා දැමීමට වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබිණි. එහෙත් පත්වන විවිධ රජයන්ගේ දේශපලන කාරණා මත පදනම්ව පාතාල මර්දනය මෙන්ම සංවිධනාත්මක අපරාධ මැඩලීම සම්බන්ධයෙන් පුහුණුවීම් ලබා සිටින නිලධාරීන් ස්ථාන මාරුවීම් ආදිය සිදුකිරීම මත එකී අරමුණු සාක්ෂාත් කර ගත නොහැකි වී තිබිණ.   


මීට මාස හයකට පමණ ඉහතදී මොරටුව ප්‍රදේශයේ හෝටලයකින් කප්පම් ඉල්ලීමේ සිද්ධියත් සමග පාතාල මර්දනය මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලීම ඉක්මන් වූවා යැයි කීවොත් නිවැරදිය. “ගොනාකෝවිලේ අංජු” සහ “ඇල්ටෝ ධර්මේ” නමැත්තන්ගේ සුවච කීකරු ගෝලයන් රොත්තක් රත්මලානේ පිහිටි ආපන ශාලාවකට වෙඩි තබා කඩු හරඹ කරන්නේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ ඇස් ඉදිරිපිටයදීය. එතැන් පටන් මෙරට පාතාල ක්‍රියාකාරකයින්ට හොඳ හොඳ පාඩම් කියා දීමට ආරක්ෂක අංශ යුහුසුළු විය.   


මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම අඩු වැඩි වශයෙන් සිදුවෙන ප්‍රදේශවල මෙන්ම අනෙකුත් ප්‍රදේශවල මෑත කාලයේදී සන්නද්ධ පාතාල ක්‍රියාකාරකයින් සිය බල පරාක්‍රමය පෙන්වමින් සිටි කාලයක් තිබිණි. මාකදුරේ මදූෂ්, අංගොඩ ලොක්කා, මාකිලංගමුවේ සංජීව, රනාලේ සමයං, ගොනාකෝවිලේ රොහා, කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක, දෙමටගොඩ චමින්ද යන අය මෙකී සන්සිද්ධිවලදී මුලින් කියැවුණු නම් අතර තිබිණි.   
මෙකී නම් සඳහන් අයගෙන් බහුතරය සිරගත වී ඇති අතර, ඇතැමුන් එලොව ගොසිනි. තවත් අයෙක් මේ රටේවත් නැත. එස්.ටී.එෆ්. නදුන්, ගොනාකෝවිලේ අංජු, කොස්ගොඩ සුජී, හරක් කටා, ලඩියා වැන්නවුන් මේ වෙන විටත් රටෙන් පැනගොස් සැඟව සිටිති. 2010 වර්ෂයේදී පමණ මෙරටින් පැනගොස් ඉන්දියාවේ සැඟව සිටි කිඹුලාඇළේ ගුණා සහ ඔහුගේ පුත්‍රයාත් ඔහුගේ ගෝලයා වූ බුම්බා ත් ඉකුත් දිනෙක ඉන්දියාවේ ආරක්ෂක අංශයට කොටු වෙන්නේ හෙරොයින් මත්ද්‍රව්‍යත් සමගය. ඉකුත් දිනෙක රටම කතා බහට ලක්වූ මාකඳුරේ මදූෂ් ද මෙරටින් පැනගොස් ඩුබායි රාජ්‍යයේ සුර සැප විඳිමින් සිටි බව තොරතුරු අනාවරණය විය. අංගොඩ ලොක්කා ද ඉන්දියාවේ සැඟව සිටියදී අවසන් හුස්ම හෙළා තිබිණි. මේ ​වෙන විට ඇල්ටෝ ධර්මේ ද සිටින්නේ ඩුබායි රාජ්‍යයේ සිර ගෙදරය. මෙකී ඇතැම් පාතාල ක්‍රියාකාරිකයන්ට කිරි පොවා ඇති දැඩි කළේ මෙරට දැවැන්ත දේශපාලන චරිත බව අපි කවුරුත් දන්නා කාරණයකි.   


පාතාල කල්ලි සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුළු මහත් සමාජයටම හිසරදයකි. හිරිහැරයකි. මේ කරදරකාරී හිසරදයට පිළිතුරු සොයාගිය එක් කණ්ඩායමක් වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායයි.   
පාතාල මර්දනය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බළකායට බලය පවරනු ලැබුවේ ජනාධිපති පළමු පදවි ප්‍රාප්තිය සැමරූ ඉකුත් 2020 නොවැම්බර් මස 16 වැනිදාය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරට වඩා වැඩි ගැම්මකින් නො එසේ නම් නව්‍යතාවකින් සිය මෙහෙයුම් ආරම්භ කර තිබිණි.   


  බෙදුම්වාදී යුද්ධය නිමාවීමෙන් පසු මෙරට නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය සහාය ලබාදීමට පොලිස් විශේෂ කාර්ය බළකායට පැවරුණි. මෙරට සියලු දිස්ත්‍රික්කයන් අාවරණය වෙන පරිදි කඳවුරු 69ක්, උපකඳවුරු 11 සහ අධිවේගී මාර්ග මුරපොළවල් 08 කින් සමන්විත වන අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකාය මෙරට ව්‍යාප්ත වී ඇත.   


නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය, සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම, පරිසරයට එරෙහිව සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීම, මහජන සාමය කළමනාකරණය කිරීම, ප්‍රභූ ආරක්ෂක රාජකාරි, සෝදිසි මෙහෙයුම්, බෝම්බ නිෂ්ක්‍රීය කිරීම්, රටේ පවතින ව්‍යසන තත්ත්වවලදී මෙන්ම ආරක්ෂක තත්ත්වවලදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීම වැනි කාරණා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය අද වෙන විට සක්‍රීයව නියැලී සිටී. 

 
අන්තවාදී ත්‍රස්තවාදී සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බන්ධනාගාරයන් හි ආරක්ෂක හා පුද්ගලික සෝදිසි කිරීම්, ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම්, ශ්‍රී ලංකාව තුළ විකිරණශීලී ප්‍රභවයන්වල ආරක්ෂාව සහ ප්‍රවාහනයේදී ආරක්ෂාව සැපයීම, ආපදා කළමනාකරණය මෙන්ම විශේෂ විෂය ක්ෂේත්‍රයන්හි දේශීය සහ විදේශීය පුහුණු කිරීම් ආදිය විශේෂ කාර්ය බළකායේ ඇති අනෙකුත් කාර්යයන් වෙයි.   
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සම්බන්ධයෙන් වූ තොරතුරු රැස්කිරීමේ නව ඒකකයක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්ථාපිත කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ වර්තමාන අණදෙන නිලධාරියා වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් එම ඒකකය ආරම්භ වී තිබුණේ ඉකුත් 2004 වර්ෂයේදීය.   


එම ඒකකය මගින් මෙහෙයුම් රාශියක් සිදුකර තිබූ අතර මනුෂ්‍ය ඝාතන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, බියවැද්දවීම් සිදුකළ මාලිගාවත්තේ ෆාජි, ආමි ටොජී, සාදික්, ඕල්කට්, නෙළුවේ ප්‍රියන්ත, මිනුවන්ගොඩ ජීවන්, බලහරුවේ ලාල්, තිලක්, හබරකඩ වසන්ත, ඉරේෂ්, බයිලා, ඩී මන්ජු, වත්තල දිලීප, කුරේ, මාලිගාවත්තේ මාමස්මි නමැති පාතාල ක්‍රියාකාරකයන්ගේ කෙරුවාවල් අවසන් වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම්වලිනි.   


මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ද පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබී තිබිණි. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙන්ම නීති විරෝධී ගිනිඅවි සොයාගැනීම් මෙන්ම වල්ලාපට්ටා ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ද පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් දියත් කර තිබිණි. නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයා වශයෙන් පත්වෙන්නේ ඉකුත් 2020 වර්ෂයේ ජුනි මස 11 වැනිදාය. එතැන් සිට මේ දක්වා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් විවිධ පුද්ගලයන් විසින් නීති විරෝධීව ළඟ තබාගෙන සිටි අවි ආයුධ 410ක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. වැටලීම් 426 කින් සැකකරුවන් 276 දෙනකු ද සිය භාරයට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. එසේම, ඉකුත් 2020 වර්ෂයේ දී ගංජා සහ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හය දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බළකාය, ගංජා වගාවන් අක්කර 104කට ආසන්න ප්‍රමාණයක වගා කර තිබූ පැළ විනාශ කර ඇතැයි ද සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 762 දෙදෙනකු ඉකුත් වසරේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. එමෙන්ම, නීතිවිරෝධීව සිදුකරන මත්පැන්, වැලි, පස් සහ දැව යන ව්‍යාපාර සම්බන්ධයෙන් විශාල වැටලීම් තොගයක් මෙම බළකාය විසින් ඉකුත් වසරේදී වැටලීම් සිදුකරනු ලැබ තිබේ. 

 
පාතාල මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට බලය දීම සම්බන්ධයෙන් පොදු මහ ජනතාව තුළ දැඩි විශ්වාසයක් සහ ප්‍රසාදයක් ගොඩනැගුණ බව කිව යුතුමය. “එස් ටීඑෆ් ලා වැඩේ කරයි” යනුවෙන් අපට සමාජයේ සාමාන්‍ය පොදු ජනතාව අතරින් නිතර ඇසී ඇති වදන් පෙළකි. ඒ ඔවුන් පොලිස් විශේෂ කාර්ය බළකාය පිළිබඳව තිබූ පැහැදීම සහ විශ්වාස යි. මෙකී ප්‍රසාදය සහ විශ්වාසය සාමාන්‍ය පොලීසිය වෙත ලැබීමට නම් ඒවා ප්‍රතිසංවිධාන ගත කළ යුතුම වෙයි. මානව හිතවාදී සමාජයක ජීවත් වීමට අප සැවොම කැමතිය. එකී සමාජයක සැමගේ සුරක්ෂිතභාව ආරක්ෂා වේ නම් එය පොදු මහ ජනතාවගේ එකම පැතුමයි. එසේනම්, මතුවටත් මෙවැනි ආරක්ෂක අංශවලින් පොදු ජනතාව අපේක්ෂා කරන්නේ සමස්ත සමාජයේම ආරක්ෂාවම පමණි.   

 

 

නිමන්ති රණසිංහ