දමිළ නාට්‍ය කලාවේ සරච්චන්ද්‍රයන් හමු වීම


“ලංකාව කියන වචනයට දමිළ බසින් ඊළාම් කියලා දැම්මෙ දමිළ නාට්‍යවල. ඒක බෙදුම්වාදී දේශපාලනය ස්ථාපිත වෙන්න කලින් සිදුවෙච්ච දෙයක්. සමස්ත ලංකාවම තමයි දමිළ බසින් එසේ හැඳින්වූයේ, වෙනම රාජ්‍යයක් ලෙස නෙවෙයි.”
- මහාචාර්ය මෞනගුරු

ශ්‍රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දමිළ නාට්‍ය විෂයෙහි මහාචාර්ය එස්. මෞනගුරු ට හිමිවේ. ඔවුන් දෙදෙනාම ලංකා විශ්වවිද්‍යාලයෙන් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) බිහිවූ විද්වතුන් වීමත්, එය මූලික කරගෙන සිය නාට්‍ය නිර්මාණ බිහිකිරීමත්,  මෙම දෙපොළගේ තවත් සාම්‍යයකි. ඊට අමතරව සම්ප්‍රදායික මූලයන් සොයා යාම ගැන ද - මේ දෙදෙනාම එක හා සමාන උනන්දුවක් දක්වා ඇති බව සඳහන් කළ යුතුය. 
සිංහල වේදිකා නාට්‍ය කලාවේ යුගපුරුෂයා වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ නාටකය තුළින් මෙරට සිංහල නාට්‍ය කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළේය. එතුමා මනමේ නාට්‍යය නිර්මාණය කිරීම සඳහා සම්ප්‍රදායික දමිළ නාට්‍ය සම්ප්‍රදායක් වූ “කූත්තු” සම්ප්‍රදායේ ආභාසය ද ලබා ගත්තේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස විශේෂ කලා සංස්කෘතික ක්‍රියාදාමයක නිරත වෙමින් සිටි අවදියේ, ඊට සමාන්තරව දමිළ අංශයේ මහාචාර්ය විද්‍යානන්දන් විසින් දමිළ නාට්‍ය භාවිතයක යෙදුණි. මහාචාර්ය එස්. මෞනගුරු ගේ කලා සංස්කෘතික ගමන්මග ආරම්භ වන්නේ සහ ආභාසය ලබන්නේ - 60 දශකයේ මෙම ශාස්ත්‍රීය පර්‌යේෂණ හා රංග කලා භාවිතයන් පසුබිමේය. මහාචාර්ය මෞනගුරු, මෙරට නාට්‍ය හා රංග කලාවේ අභිවෘද්ධිය පිණිස සාමකාමී හා සහජීවනයෙන් පිරි ශ්‍රීලංකාවක් ගොඩනැගීම උදෙසා ද කලාකරුවෙකු වශයෙන් මෙන්ම විද්වතකු ලෙස අපරිමිත සේවයක් සිදුකර ඇත.
“මම 1961 වසරේදී පේරාදෙණිය සරසවියට ඇතුළත් වෙනවා. පේරාදෙණිය සරසවියේ හිටපු මහාචාර්ය විද්‍යානන්දන් මගේ කලා ජීවිතයට විශාල මගපෙන්වීමක් කළා. ෆෙඩරල් පක්ෂයේ හිතවතකු නිසා ගුරුවරයකු ලෙස මට සමීප වුවත් - ඔහුගේ පරමාදර්ශ වෙනස්. ඔහු වගේම දමිළ නාට්‍ය කලාවේ සහ සාහිත්‍යයේ ප‍්‍රබෝධයක් ඇති කරන්නට මැදිහත් වූ මහාචාර්ය කෛලාසපති සහ මහාචාර්ය සිවතම්බි කොමියුනිස්ට් පක්ෂයේ හිතවතුන්. ඔවුන් එක්කත් මම වැඩ කළා. ඒ වගේම කොළඹ ජීවත් වන කාලයේ මට සිංහල ජනතාව සහ කලාකරුවන් ඇසුරු කරන්නට හැකි වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පසුව ගුරුවරයෙක් ලෙස මගේ මුල්ම පත්වීම ලැබුණේ, මුස්ලිම් ප‍්‍රජාව වැඩි වශයෙන් ජීවත් වන කල්මුනේ සහිරා විද්‍යාලයට. මේ ආකාරයට මම ලංකාවෙ හැම ජනප‍්‍රජාවක්ම සමීප ලෙස ඇසුරු කරලා තියෙනවා.”
60 දශකයේ අගභාගයේ දී හා 70 දශකයේ දී කොළඹ, යාපනය වැනි ප්‍රධාන නගරවල අත්හදාබැලීම් ලෙස දමිළ නාට්‍යකරුවන් පර්‌‌යේෂණයන්හි නිරතව සිටිය දී මෙරට සිංහල වේදිකා නාට්‍ය කලාව ශීඝ්‍ර වර්ධනයකට ලක්වෙමින් පැවතුණි.


“70 දශකයේ නාට්‍ය කලාව තුළ යම් ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයක් සිදුවුණා කියලා මම හිතනවා. ඒ කාලයේ තමයි ලංකාවෙ දමිළ නාට්‍ය කලාව හා සාහිත්‍ය කලාවේ පිබිදීමක් ඇති වුණේ. ලංකාව කියන වචනයට දමිළ බසින් ඊළාම් කියලා දැම්මෙ දමිළ නාට්‍යවල. ඒක බෙදුම්වාදී දේශපාලනය ස්ථාපිත වෙන්න කලින් සිදුවෙච්ච දෙයක්. සමස්ත ලංකාවම තමයි දමිළ බසින් එසේ හැඳින්වූයේ, වෙනම රාජ්‍යයක් ලෙස නෙවෙයි.”
“මහාචාර්ය විද්‍යානන්දන් කූත්තු සම්ප්‍රදාය ඇසුරින් නාට්‍ය තුනක් නිෂ්පාදනය කළා. එහි ප්‍රමුඛ වූයේ රාවණේසන්  නාට්‍යයි. රාවණාගේ පුවත ඇසුරින් වූ කම්බ රාමායණන් නම් කතාව ඇසුරින් නිර්මාණය වුණු රාවණේසන්  නූතන දමිළ නාට්‍ය කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙනවා. මම අවුරුදු 17 සිට කූත්තු නාට්‍යවල රඟපෑවා. ඒ අනූව රාවණේසන්  නාට්‍යයේ මුලින්ම රඟපාන විට මට වයස අවුරුදු 22 ක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එතැන් සිට 2016 දක්වා දසක 6ක් පුරා මම රාවණා චරිතයට පණ දුන්නා. 2010 සහ 2014 දී රාවණේසන් නාට්‍ය පිටපත සංස්කරණය කිරීම්වලට ලක් කළා. 2010 දී රාවණ දේවිය, මණ්දෝදරි චරිතය මුල්කරගෙන ශෝකාන්තයක් ලෙස නිෂ්පාදනය කළා. යුද්ධයේ විනාශකාරීත්වය ඉස්මතු කරන ආකාරයෙන් එය නිෂ්පාදනය කෙරුණා. යුද්ධයෙන් පසුව රාවණා රජු වැටී සිටින අවස්ථාවේ, මණ්දෝදරි ශෝකවන අවස්ථාවේ යුද්ධයේ ජයග‍්‍රාහී සහ පරාජිත දෙපාර්ශ්වයම අඬාවැලපෙන තත්ත්වයක් ඇති වෙනවා. 2014 කළ සංස්කරණයෙන් රාවණ පුත් ඉන්ද්‍රජිත් චරිතයට ප‍්‍රමුඛස්ථානය දුන්නා. අකමැත්තෙන් යුද්ධයට ගිය, යුද්ධයට බලහත්කාරයෙන් තල්ලු කළ තරුණයෙක් මේ නාට්‍යයේ ඉන්ද්‍රජිත් චරිතයෙන් මතුකරනු ලැබුවා. එය ලංකාවේදී යුද්ධයට බලහත්කාරයෙන් ගෙනගිය තරුණයන්ගෙ කතාවට සමානව නිෂ්පාදනය කළා.”


“මා කළ තවත් නිර්මාණයක් වුණේ, ‘ලයම්’. එය රුහුණ විශ්වවිද්‍යාලයේ රඟදක්වනු ලැබුවා. දමිළ ජනනාට්‍ය සියල්ලම උඩරට, පහතරට සහ භරත වැනි නාට්‍ය ක්‍රම එහිදී උපයෝගී කරගනු ලැබුවා. ලයම් කියන්නෙ රිද්මය. ඒකට ආගම්, ජාති හෝ වෙනත් බෙදීමක් අදාළ නැහැ. හැමදෙනාගෙම හදවත්වල රිද්මය තිබෙන බව ඉන් කියැවෙනවා. ඊළඟට මම දේදුන්නෙ වර්ණ තේමාව කරගෙන නාට්‍යයක් නිර්මාණය කළා. ඒකත් ලංකාවේ ජනප‍්‍රජාවන් අතර වෙනස්කම්වල වටිනාකම ගැන කියන්න කළ නිර්මාණයක්. මේ රටේ ජීවත් වන ජනතාව අතර කොතරම් වෙනස්කම් තිබුණත් සමානකම් හා පොදුකමක් ඇති බව කියන්නයි මේ නිර්මාණය බිහිවුණේ. මේ විවිධත්වය ලංකාවට වර්ණවත් බවක් ඇතිකරනවා කියන අදහසයි මම ගෙනාවෙ.”
නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රය කොට පැවතුණු කූත්තු රංග කලාවේ සම්පත් මහාචාර්ය මෞනගුරු තම අද්‍යතන පර්‌යේෂණ සහ නිර්මාණ ව්‍යායාමයන් සඳහා දායක කර ගත්තේය. නූතන නාට්‍ය හා රංග කලාවේ මානවවාදී අභිප්‍රායන් සපුරා ගැනීම උදෙසා සම්ප්‍රදායික රංගන විධික්‍රමයන් මෙන්ම විශ්ව රංගකලාවේ විධික්‍රමයන් එකසේ යොදාගනිමින් ඔහු කළ පර්‌යේෂණයන් ශ්‍රී ලාංකේය රංගකලාවට ඔහු තිළිණ කළ අගනා දායාදයකි. නූතන මනසකින් හෙබි හෙතෙම සම්ප්‍රදාය මැනවින් හඳුනන විශිෂ්ටතම ශ්‍රී ලාංකික කලාකරුවෙකි.
කූත්තු යනු යම් වීරකාව්‍යයක් පදනම් කර ගනිමින් නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විතව රඟදැක්වෙන සම්ප්‍රදායික දමිළ නාට්‍ය විශේෂයකි. එහි ආරම්භය අතීතයේ තමිලක්කම් නමින් හැඳින්වුණු වත්මන් තමිල්නාඩුව, කේරලය, පොන්ඩිචෙරි සහ දක්ෂිණ කර්ණාටක සහ ආන්ද්‍ර ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ බැව් පැවසේ. කූත්තු නාට්‍ය තෙරිකූත්තු හා කට්ටායිකූත්තු නමින්ද වර්තමානයේ හැඳින්වෙයි. තෙරිකූත්තු යනු පෙරහරින් ගමින් ගමට ගොස් රඟදක්වන නාට්‍ය විශේෂයක් වන අතර කට්ටායිකූත්තු රැය පුරා නිශ්චිත ස්ථානයක රඟ දැක්වෙන්නකි. බොහෝ විට කූත්තු නාටකයට පාදක වනුයේ, රාමායනයේ හෝ මහාභාරතයේ හෝ එන කතාවක් හෝ වෙනත් වීර කාව්‍යයක ඇතුළත් කතාවකි. දෙබස්වලින් තොර වන අතර, එහි ඇත්තේ ගීත පමණි. ඒවා ගැයෙනුයේ උච්ච ස්වරයෙනි. විවිධ තද වර්ණයන්ගෙන් යුතු ඇඳුම් හා තද වර්ණයන්ගෙන් යුත් අංග රචනා ඒ සඳහා භාවිත කෙරේ. අතීතයේ පිරිමින් පමණක් සහභාගී වූ කූත්තු නාටකයට පසුකාලයේ කාන්තාවෝ ද එක්වූහ. ශ්‍රී ලංකාවේ කූත්තු නාට්‍ය යාපනය, මඩකලපුව, මුලතිව්, කල්මුනේ, අක්කරපත්තු හා වතුකරයේ දමිළ ජනතාව හමුවේ ද රඟදැක්වෙන අතර, ඔවුන් අතර බොහෝ ප්‍රසිද්ධය.
“මම නිෂ්පාදනය කළ ප්‍රථම වේදිකා නාට්‍ය වූයේ “කර්ණන් පෝර්”  නමැති නාට්‍යයයි. එය සාම්ප්‍රදායික වඩමෝඩි ශෛලියෙන් නිර්මාණය කළා. කූත්තු නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ පර්‌යේෂණ පවත්වමින් දමිළ ජනතාව අතර ග්‍රාමීය වශයෙන් පැවැති එම සම්ප්‍රදාය පිළිබඳ සියලු‍ තොරතුරු මම එක්රැස් කළා. වඩමෝඩි ශෛලියේ ආඩවුංගල් හෙවත් චලන විලාස 48 ක් තිබෙනවා. තෙන්මෝඩි ශෛලියේ විවිධ චලන විලාස 80 ක් පමණ තිබෙනවා. 1969 දී පළමු වරට කූත්තු නාට්‍යයක් කොළඹ ලු‍ම්බිණි රඟහලේ රඟදැක්වූයේ මම යි. ඊට සිංහල හා දමිළ ප්‍රජාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණා.”


තරුණ වියේ සිටම මහාචාර්ය මෞනගුරු සිංහල විද්වතුන් සහ කලාකරුවන් සමග ඉතා සමීප ප්‍රතිඵලදායි සම්බන්ධයක් වර්ධනය කරගත්තේය. මෙය අද විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, මේ වූ කලී - දෙන ලද දුෂ්කර සංදර්භය තුළ එක්තරා ආකාරයක සංකීර්ණ සහ අමාරු දේශපාලන අභියෝගයක් වූ හෙයිනි. මන්දයත්, දමිළ ජනයාගේ ස්වයංනිර්ණ අයිතිය සහ ආත්ම ගෞරවය වෙනුවෙන් කැපවුණු දමිළ විද්වතකු ඒ හා සමානව සාමකාමී ශ්‍රී ලංකාවක් සඳහා සිංහල ජනයා සමග එකට වැඩකළ යුතුයැයි සිතීම අන්ත දෙකකින් බැටකෑමට ලක්කරන කරුණක් වන නිසාය. එහෙත් මහාචාර්ය මෞනගුරු නොකඩවා, ඉතාම දුෂ්කර කාලවලදී පවා දකුණේ ප්‍රගතිශීලී කලාකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීය. එකට වැඩ කළේය. මේ අතර ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල යනාදීන් සමග ඔහුගේ කිට්ටු සම්බන්ධය ගැන සඳහන් කිරීම වැදගත්වේ.
ධර්මසේන පතිරාජ ශ්‍රී ලංකාවේ ප්‍රථම දමිළ සිනමා පටය ’පොන්මනී’ නිර්මාණය කිරීම සඳහා උනන්දු වන්නේ මේ හිතෛෂී සහ බුද්ධිමය වශයෙන් පොහොසත් පරිසරය මත සිටගෙනය. තරුණ මෞනගුරු සහ ඔහුගේ බිරිය චිත්‍රලේඛා දෙපළ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර, අදත් මහාචාර්ය මෞනගුරු ඒ ගැන සිහි කරන්නේ ඉමහත් සතුටිනි.
“කොළඹ සිට මම මුලින්ම යාපනේ ගුරුවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස පත් වුණා. එයින් පස්සෙ මම යාපනේ විශ්වවිද්‍යාලයට ගියා. මහාචාර්ය කෛලාසපති මණ්ඩපාධිපති වශයෙන් තරුණ ආචාර්යවරුන්ගේ සේවය අපේක්ෂා කළා. ඒ කාලෙ මම අධ්‍යාපන කාර්යයන්ට මිස පක්ෂ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. සමකාලීන දමිළ තරුණයන් ජාතිය ගැන හැඟීම මිස පන්තිය පදනම් කරගෙන කටයුතු කළේ නැහැ. නමුත් පේරාදෙණි ආභාසය මා තුළ දිගටම තිබුණා. පේරාදෙණියේදී මම නාට්‍ය පිටපත් ලිව්වෙ අවුරුදු 21දී. ඒ නාට්‍ය තුළින් මගේ අදහස් කලාත්මකව ඉදිරිපත් කළා. ඒ කාලයේ යාපනේ විශ්වවිද්‍යාලෙ සිංහල අංශයක් තිබුණා. ධර්මසේන පතිරාජ, සුචරිත ගම්ලත්, සුනිල් ආරියරත්න වැනි තරුණ කථිකාචාර්යවරුන් සමග මම වැඩ කළා. සුනිලා අබේසේකර වගේ අයත් ආවා. ගාමිණී හත්තොටුවේගම වැනි සිංහල කලාකරුවන් යාපනේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට හඳුන්වා දුන්නා.”
“මහා භාරතයේ සිදුවීමක් මුල්කරගෙන නාට්‍යයක් නිෂ්පාදනය කළා. එහි නම තාණ්ඩව දහනම්. ඒ කියන්නෙ තාණ්ඩව වනය පිලිස්සීම ගැන කතාව. ඓතිහාසික කතාවක් ලෙස මහා භාරතයේදී කියනු ලබන්නෙ අර්ජුන් ඇතුළු පාණ්ඩවයන් විසින් තාණ්ඩව වනය විනාශ කරලා මහා මන්දිරයක් හැදූ බවයි. දුර්‌යෝදනයන් කියන්නෙ ඔවුන්ගේ විරුද්ධවාදීන්. ඒ අය පාණ්ඩවයන්ගේ සශ්‍රීකත්වය දැකලා යුද්ධයෙන් පරදවන්න බැරි නිසා සූදුවෙන් පරදවන්න කටයුතු කරනවා. සූදුවෙන් පැරදුණාම ඔට්ටුව තමයි පාණ්ඩවයන්ගෙ බිරිය වූ දෘපදී නිරුවත් කිරීම. ඉන්පසු පාණ්ඩවයන් වනවාසයට යවනවා. ඒ හේතු මත තමයි මහා භාරත යුද්ධය ඇති වෙන්නෙ. යුද්ධය නිසා ඇතිවන මහා විනාශය පදනම් කරගෙන යුද්ධයේ විනාශකාරීත්වය හා පරිසරය විනාශ කිරීම ගැන තේමා කරගෙන තමයි නාට්‍ය නිර්මාණය කළේ. මගේ නිර්මාණයක් ලෙස මේ නාට්‍යයට තවත් කොටසක් එකතු වෙනවා.” 
“ඒ තමයි ලංකාව වගේ රටවලට බහුජාතික සමාගම් ඇවිත් ලාභය පිණිස විවිධ විනාශයන් කරනවා. අපේ රට සංවර්ධනය කරනවා කියලා විශාල පාරිසරික විනාශයන් ඇතිකරලා කොන්ක්‍රීට් නගර ඉදිකරනවා. වාණිජ කටයුතු දියුණු වුණාට තරගය නිසා යම් දවසක විශාල යුද විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. යුද්ධය හා වන විනාශය ගැන මහා භාරතයේ චරිතය ලෙස අර්ජුන් විශාල කම්පාවකට පත්වෙනවා. මේ පවතින යුද්ධ නිසා ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන් පවා අද ජීවතුන් අතර සිටියා නම්, කම්පාවට පත්වෙනවා. තමන් බිහිකළ දැනුම හා නිපැයුම් විනාශය සඳහා යෙදවීම ගැන ඔවුන් කම්පා වන බවයි මෙයින් කියැවෙන්නෙ. තමන් විසින් කළ විනාශය ගැන අර්ජුන් කම්පා වෙනවා. නමුත් අපේ මිනිස් සමාජය තුළ යුද්ධය හා විනාශය දිගින් දිගටම පවතිනවා. මිනිස්සු දිගින් දිගට දුකට පත්වෙනවා. මේ මගේ අවසන් නාට්‍යය 2015 නිෂ්පාදනය කෙරුණෙ. වාම අදහස් ඇති කලාකරුවන් සහ විද්වතුන් සමග එකට වැඩ කරමින් මම මේ දක්වා යම් තෘප්තිමත් ගමනක් පැමිණ තිබෙනවා. මේ විදියට මම රංගකලාව පවත්වාගෙන යනවා. මගේ ප‍්‍රකාශනය වෙන්නෙ මගේ කලාවයි.”
මහාචාර්ය මෞනගුරු අදත් සිංහල මෙන්ම දමිළ කලාකරුවන් සහ කලාවිද්වතුන් සමග අත්වැල් බැඳගෙන සමාජ සහ සංස්කෘතික ප්‍රගමනය සඳහා නොකඩවා ම කැපවී සිටියි. ඔහු තරුණ පෙළට ඉදිරියට ගමන් කිරීමට මඟ කියන නියමු තරුවක් බඳුය.
එම්. තාරික්