පිල්ලෙයාන් හමුවීමට ගියේ ඇයි, ගම්මන්පිල හෙළිකරයි


(යොහාන් භාසුර)

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (16) මෙසේ පැවසීය.

එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තව සමහරු ව්‍යාපාරිකයන්, තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්. ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා. මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුලේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුලා ගත්තා. දැන් ආයෙත් ඇතුළට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ යැයි ඔහු ප්‍රශ්න කළා.

මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමුවුණේ දේශපාලකයකු ලෙස නොවෙයි. නීතිඥයකු ලෙයසි. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. මම පිල්ලෙයාන් හමුවුණු බව මාධ්‍යවලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා.

නමුත් ඊළඟට සිදුවුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන.

මම සීඅයිඩිය ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදීන් මගේ පැමිණීම ගැන වාර්තා කරලා ඉවරයි. ඔය අතරේ සිඅයිඩියේ සිටින උප පොලිස් පරික්ෂකවරයකු වන ඒ.එල්.එම්. ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍යවලත් දානවා. මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියකුගේ නීතිඥයා කවුද බලන්න ආපු අය කවුද වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමාජ මාධ්‍යවලට තොරතුරු මුදලට විකුණන බවටයි අපට තොරතුරු තිබෙන්නේ. ඒ නිසා තෝරාගත් සමාජ මාධ්‍යවලට පමණක් සීඅයිඩියේ තොරතුරු ලැබෙන්නේ කෙසේද කියා වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි. එතකොට මේ ජාවාරම හෙලිකරගන්න පුළුවන්.

මේ ආණ්ඩුවේ නායකයන් රටේ නීතිය අමුඅමුවේ උල්ලංඝණය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීමට හේතුව දක්වලා ලේඛණයක් ඥාතින්ට භාර දෙන්න ඕනි. ඒක කලේ නෑ. ඒ වගේම නීතිඥවරයකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් ඒක ලබා දෙන්න ඕනි. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම පවුලේ ඥාතින් සමග කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු වුවත් ඒක කළෙත් නෑ.

පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්. ඔහුගේ කණිෂ්ඨ නීතිඥයකු පිල්ලෙයාන් බැලීමට අප්‍රේල් 9 දා අවස්ථාව ඉල්ලුවත් ඒක සීඅයිඩිය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ බව මට කිව්වාම මම පිල්ලෙයාන්ගේ ඥාතින් පසුගිය 12 දා මගේ කාර්යාලයට ගෙන්වා ගෙන කතා කරලා තොරතුරු ලබා ගත්තා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට මම දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත් ඥාතින්ටවත් පිල්ලෙයාන් සමග කතා කරන්න දීලා නෑ. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 10අ(1) වගන්තියෙන් නීතිඥවරයකුට රැඳවියා හමුවන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමග කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා. ඒ බව පවසලා පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මමයි මට ඔහු සමග කතා කරන්න අවස්ථාව ඕනෑ කියලා කිව්වා. එතකොට ලිඛිතව ඉල්ලීමක් කළොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා. මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීම කරලා පැය තුනක් ඇතුළත අධ්‍යක්ෂතුමිය මට අප්‍රේල් 13 දා උදෑසන 10ට සීඅයිඩියට එන්න කියලා දැනුම් දුන්නා. දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැනත් සීඅයිඩී අධ්‍යක්ෂතුමිය මගේ ප්‍රණාමය පුද කරනවා.

මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් හතරදෙනෙකු සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවෙකු තමන්ගේ නීතිඥයා සමග කරන සාකච්ඡා රහසිගත විය යුතුයි. ඒ බව මම පෙන්වා දුන්නත් පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා. නමුත් එතැන හිටිය එකෙන් මා කියන දෙයට දැන් සාක්ෂිකරුවන් හතර දෙනෙක්ම ඉන්නවා.