ගාසා තීරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි එක්සත් රාජධානිය අද (15) ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල - ගාසා දේශසීමාවේ පැවැති විරෝධතා අතරවාරයේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ලද ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එක්සත් රාජධානිය ඒ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමත් සමඟ ගාසා තීරයේ වීදිවලට පලස්තීන වැසියන් 40,000කට ආසන්න පිරිසක් පැමිණි අතර ඊශ්‍රායල - ගාසා දේශසීමාවේ පැවැති විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය.
ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීන වැසියන් අතර ගැටුම් ද ඇතිවිය. ගැටුම් හේතුවෙන් 2,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
“ගාසා තීරයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන පරීක්ෂණයකට එක්සත් රාජධානිය සහාය දක්වනවා” යැයි බ්‍රිතාන්‍යයේ මැදපෙරදිග කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටයාර් බර්ට් පැවැසීය.
ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමට එක්සත් රාජධානිය සහාය පළ නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටයාර් බර්ට් එය කලාපයේ සාමයට හිතකර තීරණයක් නොවන බව ද කීවේය. මෙම සිදුවීම් පාදක කරගෙන හෝ කලාපයට සාමය ගෙන ඒමට පියවර ගත යුතු යැයි ද හෙතෙම කීය.
ඊශ්‍රායලය නිර්මාණය කරන ලද්දේ 1948 වසරේ අද (15) වැනි දිනක වන අතර පලස්තීන ජනතාව තම ගම් බිම් අත්හැර පලා ගියේද අද වැනිද දිනකදීය. එම සිදුවීම්වලට අදට වසර 70ක් සැපිරීම නිසා විරෝධතා උත්සන්න වූ අතර බෙත්ලෙහෙමේද විරෝධතා පැවැත්විණි. මෙම දිනය ‘නක්බා දිනය’ එසේත් නැතිනම් ඛේදවාචකයේ දිනය යනුවෙන් ද හඳුන්වයි.
ගාසා තීරයේ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පාවටත් කනගාටුවත් පත්වන බව ප්‍රකාශ කළ එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් සාමකාමී විරෝධතාවලින් ප්‍රචණ්ඩකාරී පිරිස් තම පටු වුවමනා ඉටු කරගෙන ඇතැයි ද කීය.
“අවි ආයුද භාවිත කිරීමේදී සීමාවක් හා සංයමක් පවත්වා ගන්නැයි”ද විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායලයට අවධාරණය කළේය. මේ අතර ස්වාධීන පරීක්ෂණයකට තමන් ද සහාය දක්වන බව ජර්මනිය අද (15) නිවේදනය කළේය.
ඒ.එෆ්.පී
055