මනාපය ඩලස්ට දී රනිල්ට ඡන්දෙ දුන් මන්ත්‍රීවරු


මෙරට දේශපාලන කරළිය ඉකුත් සතියේ අලු‍ත් මාවතකට පිවිසියේ නව ජනාධිපතිවරයකු පත්වීමත් සමගය . ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් යාමට එල්ල වූ බලපෑමත් සමඟ පසුගිය මාස කිහිපයේ රටේ පැවතියේ අවුල් වියවුල්වලින් පිරුණු දේශපාලන වාතාවරණයකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමත් සමග තත්ත්වය යම් පමණකට හෝ සමනය වූවා යැයි කිව හැකිය.


ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මෙහෙයුම ඉකුත් සති අන්තය වන විටත් කරළියට පැමිණෙමින් තිබුණි. ඉකුත් සති අන්තය වන විට ඒ සඳහා නම් තුනක් යෝජනා වී තිබූ අතර, රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර දිසානායක එම තිදෙනා ය.


පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කලකිරී සිටි ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ඉකුත් සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකත්වයට තමා තරග කරන බවය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඊට පැයක් යන්නටත් මත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පොදු ජන පෙරමුණේ පූර්ණ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට බවය. රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විටත් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. පොහොට්ටුවේ ඩලස් වෙනම ඉදිරිපත්වීමත් සමඟ පොහොට්ටුවේ පූර්ණ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට බව පක්ෂයේ ලේකම්වරයා ප්‍රකාශයට පත් කළේය. ඒත් සමග දේශපාලන කරළිය නැවතත් ගිනියම් විය. සාගර කාරියවසම්ගේ ලිපියට පිළිතුරක් දෙමින් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ රනිල්ට සහාය දක්වන්නට පක්ෂය තීන්දුවක් ගෙන නොමැති බවය. සාගරගේ නිවේදනය ප්‍රශ්න කරමින් ජී.එල්. පසුදිනම නිවේදනයක් නිකුත් කළේ මේ තීන්දුව ගත්තේ කාගේ අධිකාරී බලයක් යටතේ ද කියාය. සාගර දිගින් දිගටම කියා සිටියේ පක්ෂය ගත් තීන්දුවේ වෙනසක් නොමැති බව ය.

 

රනිල් ජනපති කළ බැසිල් මෙහෙයුම

රනිල් වික්‍රමසිංහ දිනවීමේ මෙහෙයුම බාරගත්තේ පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂය. ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් බැසිල් සමග හිටගත්ත.


ඩලස් දිනවීමේ මෙහෙයුම භාරගත්තේ මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසකි. හවුල් පක්ෂ නවයේ විමල් - උදය, වාසු, වෛද්‍ය වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සහාය ද ඊට හිමි විය.


රනිල් දිනවීමේ මෙහෙයුම බැසිල් ඉකුත් සිකුරාදාම පොහොට්ටුවේ කාර්යාලයට පැමිණ ආරම්භ කළේය. පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් පක්ෂ කාර්යාලයට කැඳවා හැම දිස්ත්‍රික්කයකින්ම එක්කෙනෙකුට බැගින් වෙනවෙනම වගකීම් පැවරී ය. මූලික මෙහෙයුමේ වගකීම පැවරුණේ ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසකට ය . පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය මෙන්ම පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්දවලදී එක් එක් පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්ද ප්‍රකාශ කළ ආකාරය සම්බන්ධ සියලු‍ තොරතුරු බැසිල් ගෙන්වා ගත්තේය. ඒ සමඟම ඔහු පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවලට ද දිගින් දිගටම කථා කරමින් ඡන්ද ගැනීමේ මෙහෙයුම සැලසුම් කළේය. මෙහෙයුම භාරදුන් කණ්ඩායමේ ප්‍රධානීන් ද වරින් වර කැඳවමින් මේ ගැන සාකච්ඡා කළේය. අඟහරුවාදා හවස් වන විට බැසිල් කීවේ අපේ ගාන 133යි කියාය. ඒ අතර ද මන්ත්‍රීවරුන්ට කතා කරමින් ඔවුන්ගේ තොරතුරු සොයා බලන්නැයි බැසිල් සිය කණ්ඩායමට දැනුම් දී තිබිණි.


බැසිල්ගේ මෙහෙයුම මෙසේ යද්දී බදාදා උදේ පහයි තිහට පමණ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ දුරකතනයට ඇමතුමක් ලැබුණේ සංජීව එදිරිමාන්න ගෙනි. ඔහු කීවේ මන්ත්‍රීවරුන් රැඳී සිටින වියත්පුර මන්ත්‍රී නිල නිවාසවලට කලින් දින රෑ 11.30 සිට විදුලිය නොමැති බවය. උදේ වන විට වතුරත් නොමැති බව ඔහු කීවේය. ඒ සමගම ඔහු කීවේ ගමේ අනිත් හැම තැනටම විදුලිය තිබෙන බවකි. වහා කලබල වූ ප්‍රසන්න රණතුංග සංජීවට කීවේ ‘ඔයා කංචනට කතා කරන්න මම ටක් ගාල යූ. ඩී. එකටත් කතා කරලා මේ ගැන කියන්නම්’ කියාය. ඒ සමගම ප්‍රසන්න කංචනට ද කතා කළේය. වියත්පුර විදුලිය ප්‍රශ්නය පැය භාගයක් යද්දි විසඳුණේ එහෙමය. විදුලිය ප්‍රශ්නය විසඳුණේ නැත්තම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ඡන්දයට එන්නට සිදු වන්නේ මුහුණවත් සෝදන්නේ නැතිවය.

 

ඩලස්ගේ මෙහෙයුම

 මේ අතර ඩලස් දිනවීමේ මෙහෙයුමද පොහොට්ටුවේ පිරිසක් අතට ගෙන තිබිණි. මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, උදයන කිරිඳිගොඩ යන පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් ද, හවුල් පක්ෂ නවයෙ විමල්, උදය ගම්මන්පිල, වාසු ඇතුළු පිරිසක් ද ඒ අතර වූහ. ඔවුන් ද වරින් වර මන්ත්‍රීවරුන්ට කතා කරමින් ඡන්ද සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි. හවුල් පක්ෂ නවයේ සහාය ඩලස්ට බව ඔවුන් මුල සිටම කියා තිබිණි. ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම වූයේ සමගි ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වීම වලක්වා ගැනීමය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන බව ඉකුත් සතිය වන විට ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට කලින් දිනයේ ටිරාන් අලස් ඇමැතිවරයාගේ කාර්යාලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. මුලින් පැවැත්වුණේ ඩලස් සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම් අතර සාකච්ඡාවකි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් හවුල් පක්ෂ වෙනුවෙන් සහභාගි වූ අතර, ඩලස් සමඟ මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, උදයන කිරිඳිගොඩ ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහිදී ඩලස් කියා සිටියේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බව ය. ඒ අනුව හවුල් පක්ෂ නවය ඩලස්ට සහය දෙන්නට තීරණය කළේය.
මේ අතර, දහනව වැනි දා දහවල් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හවුල් පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් ද ටිරාන් අලස්ගේ කාර්යාලයේ පැවැත්විණි. රංජිත් මද්දුම බණ්ඩාර, බුද්ධික පතිරණ, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් සජිත් සමග එක්ව සිටියහ. වර්තමානයේ ඇතිව තිබෙන අර්බුදය ගැන දීර්ඝ ලෙස පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස තමන් ජනාධිපතිවරණට ඉදිරිපත් වන බව කියා සිටියේය. එහෙත් ස්ථිර අදහසක් සජිත්ගෙන් ප්‍රකාශ නොවුණු අතර, විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසා සිටියේ ‘හෙට වැඩේ කොහොමද කෙරෙන්නේ’ කියා ය. ඩලස් සමග මේ ගැන සාකච්ඡා කරන්නැයි ඔවුහු සජිත්ගෙන් ඉල්ලා සිටියහ.


සාකච්ඡාව යන අතරේ ඩලස් අලහප්පෙරුම ද එම කාර්යාලයට පැමිණියේය. පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව හමාර කරමින්, සජිත් එම කාර්යාලයේ ම උඩුමහලට ඩලස් සමඟ සාකච්ඡාවට ගියේ ය. සජිත්ගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගෙන ඔහුට සහාය ලබාගැනීම ඩලස්ගේ අරමුණ විය. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා වූ අතර, සජිත් ඊට එකඟතාව පළ කළ නමුත්, ඔහුගේ පක්ෂයේ ඇතැම් පිරිස් එම අදහසට විරුද්ධ මතයක සිටියහ. කෙසේ වුවද එදින රාත්‍රියේ නැවත හමු වී සාකච්ඡා කිරීමේ එකඟතාව මත දෙදෙනා සාකච්ඡාව නිමවා පිටත්ව ගියහ.


පක්ෂ නවයේ නායකයන් එදින පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කිව්වේ ඔවුන්ගේ කණ්ඩායම ඩලස්ට සහාය පළ කරන බව ය. විමල්ගේ පක්ෂයේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ඊට සහභාගි නොවුණේ ඔහුට උණ හැදී බව සඳහන් කරමිනි. හවුල් පක්ෂ 9 නියෝජනය කරන අතාවුල්ලා සහභාගි නොවූ අතර, ඔහු කලින්ම දැනුම් දී තිබුණේ තම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවය. ඔහුගේ තීරණයට ප්‍රධාන ලෙසම බලපෑවේ නැගෙනහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඩලස්ට සහාය ලබාදීමට ගෙන ඇති තීන්දුව ය.


ඒ අතර ඩලස් සහ සජිත් එදින රාත්‍රියේ හමුවී තීන්දුවකට පැමිණියේ, සමගි ජන බලවේගය ඩලස්ට සහය ලබාදෙන්නටය. පහුවදා පාර්ලිමේන්තුවේ දී ඩලස්ගේ නම සජිත් විසින් යෝජනා කරන්නත්, මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ස්ථිර කරන්නත් එහිදී තීන්දු විය. නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනා එක්ව පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය හමුවක් පවත්වන්නට ද එහිදී තීරණය වූයේ, දෙදෙනා අතර එකඟත්වයක් ඇති ව තිබෙන බව ප්‍රකාශ කරන්නටය. අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා තුනක් යෝජනා විය. ඒ රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර දිසානායක යන තිදෙනාගෙ නම් ය. ඒත් සමගම ජනාධිපතිවරණ සටන උණුසුම් වූයේ තිරය පිටුපස බොහෝ දෑ සිදු වෙමින් තිබූ බැවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින් සිටියේ කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ නොකිරීමේ තීරණයක ය. ඩලස් හා සජිත් එකඟතාවකට පැමිණීමත් සමඟ ශ්‍රීලනිපයේ තීන්දුව වෙනස් විය.


මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවත් පාර්ලිමේන්තු කණ්ඩායමත් වරින්වර රැස්විය. ඩලස් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට ගොස් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හමුවිය. චන්න ජයසුමන, චරිත හේරත්, උදයන කිරිඳිගොඩ ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඩලස් සමග පැමිණියහ. ඩලස් කීවේ ප්‍රධාන තනතුරු දෙක සාකච්ඡාවෙන් බෙදාගන්නට සජිත් සමඟ ද සාකච්ඡා කරන බවය. ශ්‍රීලනිපය එහිදී දැනුම් දී තිබුණේ පක්ෂය මේ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කර තීන්දු කරන බවය.


ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමත්, මධ්‍යම කාරක සභාවත්, දහනව වෙනිදා හවස රැස්විය. ශ්‍රීලනිපයේ ඉතුරු වී සිටින මන්ත්‍රීවරුන් නවදෙනාගෙන් අටදෙනකු ඊට සහභාගි වූ අතර, ජගත් පුෂ්පකුමාර අසනීප බව පවසා ඊට සහභාගී නොවීය. ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෛත්‍රී කරුණු පැහැදිලි කළ අතර, තිලංග සුමතිපාල කීවේ පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදිය යුතු බවය. ධම්ම දිසානායක ද කීවේ මේ අවස්ථාවේ ශ්‍රීලනිපය ප්‍රගතිශීලි පිල නියෝජනය කරන ඩලස්ට සහාය දිය යුතුය යන අදහස ය. මන්ත්‍රීවරයකු කිව්වේ ඡන්දයක් නිසා ප්‍රසිද්ධියේ මතය ප්‍රකාශ කිරීම ගැටලු‍වක් විය හැකි බවය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ පක්ෂයක් හැටියට මතය ප්‍රකාශ කිරීම ගැටලුවක් නොවන බවය.


අනතුරුව කතා කළේ ෂාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාය. ඔහු පක්ෂය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි කෙනෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කවුරු ජනාධිපති වුණත් අපේ ඉදිරි කටයුතු කිරීමේ දී විපක්ෂයේ පොදු මතය ඉතා වැදගත්. පහුගිය කාලේ පක්ෂයේ පොදු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී මන්ත්‍රීවරුන් ඒ තීන්දුවත් එක්ක හිට ගත්තේ නෑ. පක්ෂයක් කටයුතු කිරීමේදී තීන්දු ගත යුතු වෙලාවේ තීන්දු නොගත්තොත් ඒක පක්ෂයේ ගමනට බාධාවක්. ෂාන් කීවේය. අවසානයේ තීන්දු කළේ ඩලස්ට සහාය දීමේ තීන්දුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නට ය. මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ නායකයාත්, දයාසිරි ජයසේකර මහලේකම්වරයාත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ පක්ෂය ඩලස්ට සහාය දීමට තීරණය කළ බව ය.
අඟහරුවාදා රාත්‍රිය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදියුදීන්ගේ පක්ෂය ඇතුළු පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් ඩලස්ට සහාය දෙන්නට තීරණය කර තිබිණි. ඒ අනුව බොහෝ දෙනා සිතුවේ රනිල් වික්‍රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම අතර කරට කර තරගයක් ඇතැයි කියාය. අවසානයේ සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබීමය. ඩලස්ගේ ඡන්ද ප්‍රමාණය 82 දක්වා පහළ බැසීය. අනුර දිසානායකට ලැබුණේ ඡන්ද තුනකි. අනුරගේ ඡන්ද 3 බොහෝ දෙනා අපේක්ෂා කළ ප්‍රතිඵලයකි. දැනගන්නට ඇති පරිදි, පොහොට්ටුවෙන් ද හිතුව තරම් ඡන්ද ප්‍රමාණයක් ඩලස්ට ලැබී නැත. එමෙන්ම සමගි ජන බලවේගයේ ද පිරිසක් රනිල්ට ඡන්දය දී ඇති බව පැහැදිලිය. දෙමළ ජාතික සන්ධානයත් රවුෆ් හකීම් ගේ පක්ෂයත් රිෂාද් ගේ පක්ෂයත්, අනුර යාපාගේ කණ්ඩායමත් ඩලස්ට සහාය දෙන බව ප්‍රකාශ කළද එම පක්ෂ හා කණ්ඩායම්වල ද පිරිසක් ඡන්දය දී ඇත්තේ රනිල් ට ය. පක්ෂ නවයේ කණ්ඩායම නියෝජනය කරන එක්තරා පක්ෂයක මන්ත්‍රීවරයකු ද රනිල්ට සහය දී ඇති බව පැවසේ. ඔහු පසුගිය කාලය පුරා පැවති කිසිදු සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බවද දැනගන්නට ඇත.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඩලස්ට සහාය දෙන බවට පක්ෂයක් වශයෙන් තීන්දු කළ ද එහි වැඩි දෙනෙකු ඡන්දය දී ඇත්තේ රනිල් ට ය. නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවට කලින් එකතු වූ මන්ත්‍රීවරුන් හය දෙනාට අමතරව තවත් පිරිසක් ද රනිල්ට සහාය ලබා දී ඇත. පක්ෂයෙන් ලැබෙන ආරංචි අනුව, ඩලස්ට ඡන්දය දී ඇත්තේ ශ්‍රී ලනිපයේ මන්ත්‍රීවරුන්ගේ සිව් දෙනෙකු පමණක් බව ද පැවසේ.

 

 

සජිත්ට සජබෙන් බලපෑම්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ තරගයට විපක්ෂ නායක සජිත් ඉදිරිපත් වන බව මුලදී ප්‍රකාශ කළේය. ඒ අතරතුර සර්වපාක්ෂික එකඟතාවක් උදෙසා වූ වැඩපිළිවෙළ ද ඊට සමගාමීව දියත් විය. එහිදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායම සමඟ ද සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කටයුතු කළහ.


ඒ අතරතුර කණ්ඩායම් රැස්වීම් කිහිපයක්ම පැවැත්වීමට ද විපක්ෂ නායකයා කටයුතු කළේය.
දිනෙන් දින මොහොතින් මොහොත වෙනස් වන දේශපාලන තත්වයන් අනුව උපායශීලීව දේශපාලන උපාය උපක්‍රම තෝරා ගැනීමට සමගි ජන බලවේගය උත්සාහ කළේය.
එක් අතකින් ප්‍රතිවාදී මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමත් අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීම සඳහා වූ මෙහෙයුමත් ක්‍රියාත්මක විය.


කෙසේ වෙතත්, 18 වැනි දා පෙරවරුවේ කණ්ඩායම් රැස්වීම් දෙකක් තැබීමට සජිත් කටයුතු කළේය.
”‍හැමෝටම තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඕන තරම් තියෙනවා. අපි දිගටම සාකච්ඡා කරලා ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ගමු”‍ සජිත් තම කණ්ඩායමේ සාමාජිකයන් ට කීවේය.
”‍අපි හැමෝම වගේම රටම දන්නවා, ඔබතුමා කිසිම වෙලාවක මේ රටේ අරගලය පාවා දුන්නේ නෑ. ඒ වගේම පස්ස දොරෙන් ගිහින් තනතුරු ගත්තෙත් නෑ. හැබැයි මේ වෙලාවේ ඉල්ලනවා ඔබතුමාව.මොකද මේ අයට මේක කරන්න බෑ කියල ඔප්පු වෙලා ඉවරයි. එනිසා අපි කියන්නේ ඔබතුමා මේකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න ඕන’’ කාවින්ද ජයවර්ධන කීවේය.


‘‘අපිත් කියන්නේ මේ අවස්ථාව ඔබතුමා මගහරින්න එපා. අපි රාජපක්ෂලා ඉන්න වෙලාවේ කිව්වා එයාලා ඉන්න නිසා ආණ්ඩුව ගන්නෙ නෑ කියලා. ඔවුන් යනකල් අපි තනතුරු ගන්නේ නෑ. ආණ්ඩුව ගන්නේ නෑ කිව්වා. දැන් ගෝටා ගිහින් ඉවරයි. ඔබතුමා වගකීම ගන්න”‍ මුජිබුර් රහුමාන් කීවේය.
‘‘නායකතුමනි, රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ රාජපක්ෂලාගේ අවතාරයක්. එයා ආවොත් මේ රට ඉවරයි. ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාවේ ඔබතුමා ඉදිරිපත් වෙන්න. ප්‍රධාන තනතුරු දෙකෙන් එකක් හරි ගන්න. එහෙම නොවුණොත් මින් ඉදිරියට මම නම් දේශපාලනය කරන්නේ නැහැ”‍ අශෝක් අබේසිංහ කීවේය.
සියලු‍ දෙනාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව සජිත් කතාකරන්නට පටන් ගත්තේය.
‘‘මං අවුරුදු දහයක් අගමැතිවරයෙක්ගේ පුතෙක් විදියට අත්දැකීම් අරන් තියෙනවා. අවුරුදු දෙකකට වැඩි කාලයක් ජනාධිපතිවරයෙකුගේ පුතෙක් හැටියට අත්දැකීම් අරගෙන තියෙනවා. අවුරුදු විසි දෙකක් දේශපාලනය කරලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලනයේ ගොඩක් දේවල් මටත් තේරෙනවා. මං කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව. හැමෝගෙම අදහස්වලට මම ඉඩ දෙනවා. ගේට්ටුවෙන් එළියේ ඉඳගෙන තීන්දු අරගෙන මම ඇතුළට එන්නේ නැහැ. පළවැනි වතාවට මම මෙතනදී ඔබතුමාලට කියනවා, අපි වගකීම බාරගන්න ලෑස්තියි. 1 හෝ 2 තනතුරු දෙකෙන් එකකට ගිහිල්ලා අපි මේ රට ගොඩනඟමු”‍
සජිත් සිය තීරණය දැනුම් දීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සතුටින් ඔල්වරසන් දුන්හ.
”‍දැන් canversing කරන්න. අද දවල් අපි ඩලස් ඇමැතිතුමා හම්බවෙනවා. හවස තව කණ්ඩායම් කීපයක් හම්බවෙනවා. අද රෑ වෙනකොට අපිට අන්තිම තීරණය ගන්න පුළුවන්”‍
මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
ජනාධිපතිවරණ මෙහෙයුමට අදාළව ස්ථාන කිහිපයකදීම මන්ත්‍රීවරුන් මුණ ගැසීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කටයුතු කළහ.


බලය ලබා ගත්තොතින් ඉදිරියට රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් එක්ව වැඩපිළිවෙළක් සකසා තිබුණි.
මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සාකච්ඡා කණ්ඩායම් මෙහෙයවමින් විශාල වෙහෙසක් ගත්තේය.
19 උදේ 7.30 වනවිට සජිත් පාර්ලිමේන්තු ආවේය. 9 වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විය.
ඒ සමගම අමුත්තෙක් ඊට එක්විය. ඔහු ඩලස් අලහප්පෙරුම ය.
මන්ත්‍රී කණ්ඩායම අත්පොළසන් දී ඔහු පිළිගත්තේය.


‘‘අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක්. දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙනවා. අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ රටත් ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත්තා. මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවෙනවා.”‍ ඩලස් අලහප්පෙරුම කීවේය.
‘‘මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත්තා. මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය.”‍සජිත් කීවේය.


පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ සැනින් විපක්ෂ නායක සජිත් නැගී සිටියේය. ඔහු අනුප්‍රාප්තික ජනාධිපති වරයාගේ නම ලෙස”‍ ඩලස් අලහප්පෙරුම යන නම යෝජනා කළේය.
මෙය බොහෝ දෙනාගේ විස්මයට හේතුවක් වූ අතර ආණ්ඩු පක්ෂය පවා එයින් තැති ගත්තේය.
”‍ඔබතුමාගේ කැපකිරීම පුදුමාකාරයි”‍
බොහෝ දෙනා සජිත්ට කීහ.


20 පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය පැවති අතර එදින ද සජිත් අටටත් පෙරාතුව පාර්ලිමේන්තු ආවේය.
කෙසේ වෙතත් රහස් ඡන්ද විමසීමෙන් සිය අපේක්ෂකයා වූ ඩලස් අලහප්පෙරුම පරාජයට පත් වුවද සජිත් පවසා සිටියේ පාර්ලිමේන්තුවේ පවතින විකෘතිය විසින් එළියේ ජනමතය නියෝජනය නොවූ බවය. 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමේදී පක්ෂයෙ කටයුතු සාර්ථකව ඉටු කරමින් පක්ෂ නායකයාට අනගි සහායක් ලබාදුන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා තම නායකයා විධායක ජනාධිපති පුටුවට පත්වීම ගැන දැඩි සතුටට පත්ව සිටියේය.
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම මත ප්‍රතිඵල නිකුත් වනතුරුම රුවන් විජයවර්ධන මහතා තම නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නිහඬව විශාල කැප කිරීමක් කර තිබුණි. ඡන්දය ප්‍රකාශ කළ දා පාර්ලිමේන්තු සභාවේ කටයුතු සජීවීව විකාශය වෙද්දී රුවන් නොඉවසිල්ලෙන් ප්‍රතිඵල ලැබෙනතුරු බලා සිටියේය. ජයග්‍රහණය ගැන රුවන් තුළ කිසිදු සැකයක් නොතිබුණත් ප්‍රතිඵල සැක හැර දැන ගැනීමට අවශ්‍ය විය.
විධායක ජනාධිපති තනතුරට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම ගංගාරාම විහාරස්ථානයට ගොස් වැඳපුදා ගත්තේය. රුවන් විජයවර්ධන මහතාද ඒ අවස්ථාවට සහභාගි විය.


ඒ අවස්ථාවට පැමිණ සිටි කෝකිලා ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධ, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද යන මැති ඇමැතිවරුන් රුවන් විජයවර්ධන මහතා වටකර ගත්හ. ජනාධිපතිතුමාගෙ පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී තනතුරට සුදුසුම පුද්ගලයා ඔබ තමයි ඔවුහු ප්‍රකාශ කළහ.
එයට සිනාසෙමින් පිළිතුරු දුන් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ‘‘ඒක පක්ෂය ගන්න තීරණයක්’’ යනුවෙනි.
පසුවදා පාර්ලිමේන්තුවේදී විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට ද රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අසල සිටි විජයවර්ධන මහතා දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයාට සුභ පැතුවේය.


විධායක ජනාධිපතිධුරය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව පිළිබඳව දුරකතන ඇමතුම් ගණනාවක් ලැබී තිබුණි. සියලු දෙනාම පාහේ ඔහුගේ කතාවට ප්‍රශංසා කර තිබුණි.
ඡන්ද තුනක් පමණක් ලැබී තිබීම පිළිබඳව කිසිසේත් ගැටලුවක් කර නොගත් ඔහු සිරිත් පරිදි පක්ෂ මූලස්ථානයට ගොස් ඉදිරි වැඩ කටයුතු කර ගෙන ගියේය.
විධායක ජනාධිපතිධුරයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළත් ඔහු ඡන්ද ලබා ගැනීම සඳහා කිසිම දේශපාලනඥයකුට කතා කළේ නැත. දුරකතන ඇමතුමක් වත් දුන්නේ නැත. තම පක්ෂයේ අනෙක් දෙදෙනාගේ ඡන්ද ගැන ඔහු තුළ දැඩි විශ්වාසයක් පැවතුණි. අඩු වශයෙන් පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාම පවා ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියේ නැත.


අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති තනතුරට තරග කරන බව අනාවරණය වීමෙන් පසු, ගිය සතියේ දී රජයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඔහුට දුරකථනයෙන් කතා කර ඔබ වැනි කෙනෙක් රටට අවශ්‍ය වුණත්, මේ මොහොතේ පක්ෂයේ තීරණයෙන් පිට යා නොහැකි බව ප්‍රකාශ කර සිටියේය.
ඡන්ද විමසීමට පෙර හා පසුවත් මේ ආකාරයට දුරකතන ඇමතුම් රැසක් ලැබී තිබිණි.
ඡන්ද විමසීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් කීප දෙනෙක් හමුවී පක්ෂයේ පොදු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම පිළිබඳවද සාකච්ඡා කළේය. ඉදිරියට කළ යුතු වැඩ කටයුතු තීරණය කිරීම සඳහා පක්ෂ නායකයන් ලබන සතියේ රැස්වීමට ද තීරණය කර ඇත.

 

ගජබා