කලබල අස්සේ හැදෙන අලුත් පක්ෂ


සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව තවමත් ඇත්තේ සාකච්ඡා මට්ටමේ ය. සාකච්ඡා අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන දිනය සම්බන්ධයෙන් තාම නිශ්චිත තීන්දුවක්ද නැත. ඒ හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කෙරෙන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් ද තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතිය පුරා ද විවිධ පක්ෂ හා කණ්ඩායම් ජනාධිපති කාර්යාලයට ගෙන්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, අනුර ප්‍රියදර්ශන යාපාගේ කණ්ඩායම මෙන්ම, සී.වී. විග්නේෂ්වරන් ගේ පක්ෂය ද කැඳවා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

 

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසකට  අගමැති කාර්යාලයෙන් වාහන

කැබිනට් මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඉකුත් සඳුදා හැන්දෑවේ රැස්විය. එදින කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූ සංදේශ අතර, දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ මන්ත්‍රීවරුන් පස්දෙනකුට අගමැති කාර්යාලයෙන් තවදුරටත් ප්‍රවාහන පහසුකම් ලබා දීම වෙනුවෙනි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය අවස්ථාවේ මන්ත්‍රීවරුන් පිරිසකට ආරක්ෂිතව පාර්ලිමේන්තුවට පැමිණීමට අගමැති කාර්යාලයෙන් වාහන ලබාදී තිබිණි. අගමැති දිනේෂ් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබුණේ එසේ ලබාදුන් මන්ත්‍රීවරුන් අතරින් පස් දෙනකුට ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා තෙක් අගමැති කාර්යාලයෙන් තවදුරටත් ප්‍රවාහන පහසුකම් ලබා දීමටය. ඡන්දය පැවති අවස්ථාවේ මෙම මන්ත්‍රීන්ට ආණ්ඩුවෙන් වාහන දුන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බව දිනේෂ් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි.

 

ආණ්ඩු පක්ෂය මාස තුනකට පසුව  ජනාධිපති කාර්යාලයේ රැස්වෙයි

කැබිනට් රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. ගාලු‍මුවදොර පැවති අරගලය හේතුවෙන් පසුගිය කාලය පුරාම ජනාධිපති කාර්යාලයට මන්ත්‍රීවරුන්ට යාමට හැකියාවක් නොවිණි. ගිය සතියේ සඳුදා ආණ්ඩු පක්ෂ රැස්වීම ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ කැඳවා තිබිණි. ආණ්ඩුපක්ෂ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ තරමක අඩුවීමක් දක්නට ලැබුණු අතර, ඊට හේතු වූයේ මැයි මස නව වැනි දා පැවති අරගලය අතරේ ප්‍රචණ්ඩකාරීන් විසින් මරාදැමුණු අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ තුන්මාසේ දානය පසුගිය දිනට යෙදී තිබීම නිසා මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගී වී සිටීමය. ආණ්ඩුපක්ෂ රැස්වීම ආරම්භයේදීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය. “අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා ඝාතනය වෙලා හෙටට මාස තුනක් වෙනවා. එතුමාගේ නිවසේ පැවැත්වෙන දානයට සහභාගි වීමට මන්ත්‍රීවරුන් පිරිසක් එහි ගිහින් තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරුන් පිරිසක් මේ රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා” යැයි ප්‍රසන්න කීවේය.
ඒ සමගම ආණ්ඩු පක්ෂ රැස්වීමේ මාතෘකාව බවට පත්වූයේ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙනි. ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා කීවේ “අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඝාතනය මහා අවාසනාවන්ත සිද්ධියක්. මේකට සම්බන්ධ අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන”‍ යනුවෙනි. ඒ සමගම ඔහු යෝජනා කළේ මෙම නඩුව දිගටම විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත් කළ යුතු බව ය. අනතුරුව මධුර විතානගේ මන්ත්‍රීවරයාද කතා කළේය. අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනයත් සමඟ ඔහුගේ පවුලේ සියලු‍ දෙනා අසරණභාවයට පත්ව ඇති බව මධුර කීවේය. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විනිසුරු මඬුල්ලක් පත් කර නඩුව විභාග කරන අතර, පවුලේ අය සම්බන්ධයෙන් ද වැඩි අවධානය යොමු කළ යුතු යැයි මධුර විතානගේ කියා සිටියේය. උපුල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ඝාතනයට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙනවා සේම, මෙම ඝාතනය වැළැක්වීමට පියවර නොගත් අය සම්බන්ධයෙන් ද නීතිය වහාම ක්‍රියාත්මක විය යුතු බවය. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් දැක්වීය. ඔහු කියා සිටියේ මෙම ඝාතනය ඉතාම කනගාටුදායක මෙන්ම බරපතළ තත්ත්වයක් බව ය. ඊට සම්බන්ධ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, විනිශ්චකාරවරුන් තිදෙනෙකුගෙන් යුත් විශේෂ අධිකරණයක් පත් කිරීම වඩා සුදුසු බවත් ඔහු කීවේය. ඒ සම්බන්ධයෙන් තමා නීතිපතිවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කීවේය. අමරකීර්ති ඝාතනය සම්බන්ධයෙන් පමණක් නොව එදින සිදු වූ අනෙකුත් ක්‍රියා සම්බන්ධයෙන් ද වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව කී ජනාධිපතිවරයා එදින නිවාස, දේපළ හානි වූ අනෙකුත් සියලු‍ දෙනා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීම සඳහා තමා බටගොඩ කමිටුව පත්කර ඇති බව කීවේය.

 

ජනපතිට කංචනට ජගත්ගෙන්  ප්‍රශංසා

ඉන්ධන හා ගෑස් පෝලිම් අඩු කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාටත් විදුලිබල ඇමති කංචනටත් ප්‍රශංසා පළකරමින් කතාව පටන් ගත්තේය. “පහුගිය කාලේ අපි ගිනි කන්දක් උඩ හිටියේ. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නිසා අපට පාරට බරින්න බැරි තත්ත්වයක් තිබුණා. ෂෙඩ් එකක් ළඟින් යනකොට ගහලා මරයි ද කියලා බයෙන් තමයි අපි ගියේ. ඉන්ධන අර්බුදයයි, ගෑස් අර්බුදයයි ගොඩක් දුරට විසඳිලා තියෙන්නේ. රට ඇතුළේ නීතිය හා සාමය ක්‍රියාත්මක ​ෙවනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් අපේ කංචන විජේසේකර ඇමැතිතුමාටත් ස්තූතිය පළ කරන්න ඕනැ” යැයි ජගත් කියද්දී අනෙකුත් මැති ඇමැතිවරු ද මේසවලට තට්ටු කරමින් ප්‍රසාදය පළ කළහ.


ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා ගැනද මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. “අපි මේ සම්බන්ධයෙන් සියලු‍ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරනවා. මේ සතියේ සාකච්ඡා ඉවර කරලා අපේ වැඩපිළිවෙළ මේකයි කියලා අපි ඉදිරිපත් කරනවා. ජේවීපී එකත් එක්කත් හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය ආණ්ඩුවට එකතු වෙලා සහාය දෙන්න ලෑස්තියි. තවත් අය එළියෙ ඉඳන් උදව් කරන්නම් කියනවා. ඒ අතර සමහරුන් ආණ්ඩුවේ ඇමති ධුර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කැමැතියි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික වැඩපිළිවෙළක් කියලා අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ සියලු‍ දෙනාටම එකතුවෙන්න පුළුවන් නිසයි. ජනාධිපතිවරයා කීවේය.


චීන නැව සම්බන්ධ කාරණය පසුගිය සතියේ මෙරට දේශපාලන කරළිය මෙන්ම, කලාපයේ දේශපාලනය ද ගිනියම් කළේය. චීන නැව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය ගැන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද දීර්ඝ ලෙස කතා බහට ලක්වූ අතර, සරත් වීරසේකර මන්ත්‍රීවරයා නැව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි විමසා සිටියේය. ඒ අනුව නැව සම්බන්ධ ප්‍රශ්නය ගැන ඇමති අලි සබ්රි දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ආණ්ඩුව සිටින්නේ නොබැඳි ප්‍රතිපත්තියක බව සදහන් කරමිනි. ඒ සමඟම අලි සබ්රි කීවේ නැව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ පසුගිය ජුලි 9 වැනිදා බවය. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ජූලි දොළොස් වැනි දා අවසර දී ඇති බවත් ඔහු කීවේය. මේ අවස්ථාවේ රජය කුමක් කළත් වැරදිකරුවන් වෙන්නේ ආණ්ඩුව බවත්, එය වැළැක්විය නොහැකි බවත් ඔහු කීවේය.


සබ්‍රිගේ කතාවෙන් අනතුරුව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය. “නව වෙනිදා ඉල්ලපු එකට දොළොස්වැනිදා අවසර දීලා. ජූලි නවයේ ඉඳලා දොළොස් වැනි දා කියන්නේ මේ රට ගිනි ගත්ත වෙලාවක්. කිසිම අමාත්‍යාංශයක වැඩ කෙරුණේ නෑ. එහෙම වෙලාවක නැවට එන්න මේ විදියට අවසර දුන්නේ කොහොමද? අමාත්‍යාංශවල වැඩ නතර වෙලා තියෙද්දි මේක විතරක් මෙහෙම වුණේ කොහොමද කියලා හොයන්න වෙනවා.”‍ ප්‍රමිත කීවේය. අලි සබ්රි කිව්වේ ප්‍රමිතගේ ප්‍රශ්නය ඉතා හොඳ එකක් බවය. ඒ සඳහා අවසර දී ඇත්තේ නිලධාරි මට්ටමින් බව කී විදේශ කටයුතු ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලමින් සිටින බව සඳහන් කළේය.


මේ අතර, සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩු පක්ෂ රැස්වීම තරමක් උණුසුම් විය. චීනයට අයිති වරායකට නැවක් එද්දි විරුද්ධ ​ෙවන්නේ කෙසේද කියා ඔහු විමසා සිටියේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රාඝවන් ගේ අදහසට විරුද්ධ විය.”‍ හම්බන්තොට වරාය අපිට අයිති එකක්. ඒක ආර්ථික කටයුතුවලට විතරයි චීනයට දීලා තියෙන්නෙ. ඒක නිසා ඔබතුමාගේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්. ඒක වහාම ඉල්ලා අස් කර ගන්න යැයි ජනාධිපතිවරයා සුරේන් රාඝවන් ට කීවේය. ඒ අනුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තේ ඒ සම්බන්ධයෙන් කනගාටුව ද පළකරමිනි.

මෛත්‍රි නිසා බේරුණු හැටි  රනිල් කියයි

ජනාධිපතිවරයා ජූලි නම වැනිදායින් පසුව ඇති වූ සිද්ධි ගැන නැවතත් පැහැදිලි කිරීමක් කළේය. ඔහු කීවේ ප්‍රකෝපකාරී පිරිස් සූදානම් වූයේ පාර්ලිමේන්තුවේ බලය ද අල්ලා ගැනීමට බවය. “වැඩබලන ජනාධිපති විදියට මට දිවුරුම් දෙන්න තැනක් තිබුණෙ නෑ. මම වාලු‍කාරාමෙ දිවුරුම් දුන්නේ. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට මමත් යන්න හිටියේ. නමුත් වෙනත් කටයුත්තක් සඳහා මගේ නෝනා මට එන්න කියපු නිසයි මම ඒකට නොගියෙ. එතනට ගියානම් ප්‍රචණ්ඩකාරීන් හැදුවේ මාත් හිරකරලා පාර්ලිමේන්තුවේ බලය අල්ල ගන්නයි. ඒ නිසා මට දැන් හිතෙනවා නෝනලාගේ කතාවලටත් ඇහුම්කන් දෙන එක හොඳයි කියල. ඔබතුමාලාත් නෝනලා යමක් කිව්වහම ඒ ගැනත් පොඩ්ඩක් අහන්න”‍
ජනාධිපතිවරයා කීවේ හැමෝම හිනස්සමිනි.

 

 

දිනේෂ් පොහොට්ටු කාර්යාලයට

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සති අන්තයේ බත්තරමුල්ල ජයන්තිපුර නෙලු‍ම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයට ගියේ තමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දුන් සහාය අගය කිරීමක් වශයෙනි. පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම, ජාතික සංවිධායකවරයා ද වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර, පියල් නිශාන්ත, සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ, ඉන්දික අනුරුද්ධ, ජගත් කුමාර ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. නෙළුම් මාවතට වැඩිපුර නොයන ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ද එදින පැමිණ සිටියේය. බන්දුල දේශපාලනයට අත්පොත් තැබුවේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණෙනි. ඒ අනුව දිනේෂ් බන්දුලගේ මුල්ම නායකයා ය. බන්දුල පොහොට්ටු කාර්යාලයට පැමිණීමට ප්‍රධාන හේතුව ද එයයි. නව අගමැතිවරයාට පොහොට්ටු කාර්යාලයේ දී මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. පසුගිය කාලයේ සිදුවූ අකරතැබ්බයන්ට මුහුණ දුන් ආකාරය සහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට ගත් වෙහෙස සම්බන්ධයෙන්ද එහිදී කතාබහට ලක් විය.

 

හවුල් පක්ෂ එක්ක  කරළියට එන අලු‍ත් පක්ෂය

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු කණ්ඩායම එක්ව අලු‍ත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට මේ වන විට කටයුතු කරගෙන යයි. අලු‍ත් පක්ෂය එන්නේ හවුල් පක්ෂවල නව එකතුවක් ලෙසිනි. ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ හා කණ්ඩායම් එක්ක මෙම නව දේශපාලන පක්ෂය පිහිටුවනු ලබන අතර, එය ලබන විසි එක් වෙනිදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතය. දැනගන්නට ඇති පරිදි මේ නව පක්ෂයේ දේශපාලන නායකයකු නොමැති අතර, සභාපති, ලේකම් ඇතුළු නිලධාරි මණ්ඩලයක් සහ විධායක සභාවක් පත්කිරීමට යෝජනා වී ඇති බව පැවසේ. නව පක්ෂය පිහිටුවීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ පැවැත්විණි. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.
විමල්ලා, ගම්මන්පිලලා වාසුලා එසේ අලු‍ත් පක්ෂයකට කල එළි බහිද්දී ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු කණ්ඩායමද අලු‍ත් වැඩකට සූදානම් ​ෙවන බව පැවසේ. ඒ එම කණ්ඩායම ද එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙනි. මේ සඳහා ​ෙවන සාකච්ඡා කතාබහ ද මේ ​ෙවන විට තැනින් තැන සිදුවන බව පැවසේ. මේ අතර, ඩලස් ජීඑල් ඇතුළු කණ්ඩායමෙන් සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරවීමට ද මේ ​ෙවනවිට තීරණය කර තිබේ.
අරගලකරුවන් වරින්වර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙන්ම, දිනපතා තැනින් තැන හමුවන මළ සිරුරු සම්බන්ධයෙන් ද මේ කණ්ඩායමේ කතාබහට ලක්විය. මේ සිදුවීම් හරහා රටේ නීතිය හා සාමය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව මහාචාර්ය ජී.එල්. පීරිස් කීවේය. මේවා සුළු කොට තැකිය නොහැකි බව ඔහු සඳහන් කළේය.

 

නිමල් සිරිපාල ජනපතිගේ ගුණ වයයි

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ලද රජයේ වැඩපිළිවෙළ සම්බන්ධ විවාදය ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු මෙන්ම, පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මහත් ප්‍රසාදයෙන් කතා කිරීමය. ඔහු කීවේ රනිල් වික්‍රමසිංහ මහතා යුග පුරුෂයකු බවය. ජනාධිපතිවරයා ඡන්දයකට ගියොත් ජනතාවගේ ප්‍රසාදය ඉහළින්ම හිමි වන බවද නිමල් සිරිපාල කීවේය. නිමල්ගේ කතාව ඇසූ සමහරුන් කීවේ නිමල් සිරිපාල ඇමැතිවරයා යූඑන්පී කාරයින්ටත් වඩා එහාට ගොස් ජනාධිපතිවරයා වර්ණනා කරන බවය.

 

මෛත්‍රී සමාජ මාධ්‍ය ගැන කතා කරයි

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගිය සතියේ පක්ෂ මූලස්ථානයේ දී නව මාධ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළේය. ඊට සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වත්මන් තත්ත්වය මෙන්ම සමාජ මාධ්‍ය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ අතේ සතයක් නැතිව රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්ස තමා ජනාධිපති කළේත්, අවසන් කාලයේ තමා නැත්තටම නැති කළේත් මේ රටේ සමාජ මාධ්‍ය බවය.

 

සර්ව පාක්ෂික වැඩපිළිවෙළට  සජබෙ සහාය නැද්ද?

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවතියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ ඊට සම්බන්ධ විවාදයේ දී සමගි ජනබලවේගය ගත යුතු ස්ථාවරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
“රට මේ තරම් බරපතළ තත්ත්වයකට වැටුණේ පහුගිය ආණ්ඩුව අරගෙන ගිය වැරදි ප්‍රතිපත්ති නිසා. ඒක වහන්න කාටවත් බැහැ. ඒකට මේ රටේ ඉන්න හැමෝම වගකියන්න ඕන නැහැ.”‍ රාජිත කීවේය.
“ජනාධිපතිවරයා කතා කරලා තියෙන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සම්බන්ධ වෙන්න කියලා. කවුරුත් මතක තියාගන්න ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. මේ වෙලාවේ තනතුරු අරගෙන කරන නාඩගම් වලට රටේ මිනිස්සු කැමති නැහැ. සර්වපාක්ෂික වැඩපිළිවෙළකට අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙමු”‍ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


“ඔව්, පාර්ලිමේන්තුවේ විධායක කාරක සභා ක්‍රමය ශක්තිමත් වෙන්න ඕනැ. ඒක බලවත් කාරක සභාවක් බවට පරිවර්තනය වෙන්නත් ඕනෑ. එහෙම නැතිව සර්ව පක්ෂික වැඩපිළිවෙළක් සාර්ථක වෙන්නේ නැහැ.”‍
විපක්ෂ නායක සජිත් කීවේය.


ඉන් අනතුරුව නැගී සිටියේ හර්ෂ ද සිල්වා ය. තමන් ආණ්ඩුවට එක්වන බවට ඇතැම් පිරිස් බොරු කටකතා යවමින් සිටින බවත් ඒ කටකතාවල කිසිදු සත්‍යතාවක් නැති බවත් ආචාර්ය හර්ෂ පැවසීය.
“මම දෙපිටකාට්ටු වැඩ කරන්නේ නෑ. හදවතින් හිතලා කතා කරනකොට කෙනෙක් ඒක වැරදියට ගන්න පුළුවන්. නමුත් කවදාවත් අපි පක්ෂයෙන් ආණ්ඩුවට යන්නෙ නෑ. අපි නායකතුමා එක්ක එක මතයක ඉන්නවා.


හැබැයි අපේ රට වෙනුවෙන් වැඩක් කරන්න ඕන. අපි හැමෝම එකට එකතු වෙලා කරන්න ඕන. ආණ්ඩුවේ ඇමති තනතුරු ගන්න එකක් ගැන නෙවෙයි මම කියන්නේ. ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා හරි අපි මේ රට ගොඩනගන්න එකට එකතු වෙමු. ඒ විතරක් නෙවේ, ආණ්ඩුවට ජනමතයක් නෑ. ආණ්ඩුව කෘතිමව ජනමතය අල්ලාගෙන ඉන්න උත්සාහ කරනවා. කළ යුතු එකම දේ ඉතා ඉක්මනින් ඡන්දයක් පැවැත්වීමයි. ඒ හරහා නව ජනමතයකට යා යුතුමයි.” යැයි හර්ෂ පැවසීය.


ඉන් අනතුරුව හර්ෂ පුවත්පතක පළවී තිබූ ප්‍රවෘත්තියක් පිළිබඳව අවධානය යොමු කළේය.
“පෞද්ගලීකරණය සම්බන්ධයෙන් අපේ තිස්ස අත්තනායක ඇමතිතුමා කරපු ප්‍රකාශයක් පත්තරේක පළ වෙලා තියෙනවා. ඒකෙ තියනවා අපි සහමුලින්ම පෞද්ගලීකරණයට විරුද්ධයි කියලා. පක්ෂය හැටියට අපි ආර්ථික කාරණා සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන කොට සාකච්ඡා කරලා ප්‍රකාශ නිකුත් කරමු”‍ හර්ෂ කීවේය.
“හර්ෂ ඇමතිතුමා, ඇත්තටම මම කියපු දේ නෙවේ පුවත්පතේ හෙඩිමේ තියෙන්නෙ. නමුත් වාර්තාව කියවපුවම මම අදහස් කරපු දේ තියෙනවා.”‍ තිස්ස කීවේය.


“සමහර වෙලාවට, සමහර මාධ්‍ය තමන්ට ඕන විදිහට උපුටා දැක්වීම් කරනවා. cut and paste සිස්ටම් එක ගොඩක් මාධ්‍යවල තියෙනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා. අපි අපේ වැඩපිළිවෙළ මේ රටේ ජනතාව එක්ක කරමු”‍ සජිත් කීවේය.


“ඔය වගේ plant වලට ඒ අය හරිම දක්ෂයි. ජනාධිපතිවරයා තෝරන ඡන්දෙදි රනිල්ට ඡන්දෙ දුන්න කියලා සමහරු කිව්වා. ඒව නිවුස් විදිහට ප්ලාන්ට් කළා. ඇත්තටම මොකද්ද වුණේ අපේ කවුරුවත් ඡන්දෙ දුන්නෙ නෑ එයාලට. දැන් මොකද කරන්නේ, දැන් කියනවා අපේ අය එහෙට යනවා ලු‍. ආණ්ඩුවේ එදාවේලට ඔය වගේ බොරු ප්ලාන්ට් කරන එක හොඳ ඇති. හැබැයි ඒකෙන් රටට හොඳක් වෙන්නේ නෑ”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
“පාර්ලිමේන්තුවේ ඇතුළේ ඔළුගෙඩි වල විකෘතියයි, එළියේ ජනමතයයි අතර තියෙන්නෙ පරස්පරතාවක්. ඒක ඡන්දෙකදී බලාගන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් වැඩ කරමු”‍ සජිත් කීවේය.
පසුගිය 9 දින පාර්ලිමේන්තුව අබියසදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු නිහඬ විරෝධතාවයක යෙදුණි. ඒ, රාජ්‍ය මර්දනය නවතා දමා හදිසි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් ය.
එළඹෙන දොළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව මේ රටේ හිරගෙවල් තරුණයින්ගෙන් පිරවීමට කටයුතු කරනවා දැයි යන්න සැකයක් පවතින බව පැවසූ සජිත්, ආණ්ඩුව විසින් කරනු ලබන මේ මර්දනය වහා නවතා දැමිය යුතු යැයි ද පැවසීය. ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මේ මර්දනය සහ රාජ්‍ය මිලේච්ඡත්වය, සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් තරයේ හෙළා දකින බව පැවසූ සජිත්, අභිරහස් ලෙස තරුණයින් අතුරුදන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු යැයි ද පැවසීය.
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය නීතියට රට පත් කළ යුතු යැයිද එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

සේනානායක පරපුරේ අනුග්‍රහය ලැබූ රාමඤ්ඤ නිකාය

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගිය සතියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා හමුවී තිරසාර සංවර්ධනය හා දේශපාලන විපර්යාස සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කළේය.


ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුවේ දී දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම පිළිබඳ සාකච්ඡා විය.


මීට අමතරව රුවන් විජයවර්ධන මහතා ගිය සතියේ දී රාමඤ්ඤ මහ නිකායේ නාරාහේන්පිට පිහිටි මූලස්ථානයට ගියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එහි පැමිණීමට නියමිතව සිටි නිසා කල් ඇතිව එහි ගිය රුවන් විජයවර්ධන මහතා එහිදී මහනායක මකුලෑවේ විමල නාහිමියන් හා නැදිගමුවේ විජය මෛත්‍රි අනුනායක හිමියන් බැහැ දැක්කේය.


මෙහිදී නැදිගමුවේ විජය මෛත්‍රි හිමියන් ප්‍රකාශ කර සිටියේ රාමඤ්ඤ නිකාය සේනානායක පරපුරේ අනුග්‍රහය ලැබූ නිකායක් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පැතීමෙන් පසු පිරිත් නූල් බැඳීමේ අවස්ථාවේ දී මකුලෑවේ විමල නාහිමියන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේ රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ උප ලේකම්වරයා වන්නේ රුවන් විජයවර්ධන මහතා බවය.
ගිය බදාදා දවස පුරාම රුවන් විජයවර්ධන මහතා ගත කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේය. එහිදී පාක්ෂිකයන් විශාල පිරිසක් හමු වූ රුවන් විජයවර්ධන මහතා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ කටයුතුවල නිරත වී සිටියේය.

සමීක්ෂණයකින් මුල්තැන ජවිපෙ නායකයාට

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්‌යේෂණ අංශය මගින් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කාලය තුළ රටපුරා පවත්වන ලද සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමේ දී දැනට සිටින නායකයන්ගෙන් ප්‍රමුඛතම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැයි ජනතාව පවසා ඇති බවය.


මේ සමීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබලයන් සාකච්ඡා කර ඇති අතර දේශීය ආර්ථිකයට මුල්තැන දෙමින් රටේ ආර්ථිකය ගෙනයන වැඩපිළිවෙළට ජනතාව දැඩි ප්‍රතිචාරයක් දක්වන බව මෙයින් පෙන්නුම් කරන බව ඔවුන් පෙන්වාදී ඇත. සියලු දේ පිටරටින් ගෙන එනතෙක් බලා නොසිට මෙහි නිපදවන දෑ කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.
මේ අතර ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ගිය සතියේ දී රැස්ව සාකච්ඡා කළේය. එහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ සර්ව පාක්ෂික රජයක් සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන නැති බවය.


දැන් පවතින්නේ පොහොට්ටු රජයේම දිගුවක් වන නිසාත් එකම කාසියේ දෙපැත්ත වන නිසාත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු නොවීමට තීරණය කළ බව මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය.
මේ තත්ත්වය හමුවේ බොහොම කෙටිකාලයකින් මහ මැතිවරණයක් පවත්වා කැමැති රජයක් පිහිටුවා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවද ඒ මහතාගේ මතය විය.

 

22 ගැන ජනපති හා අධිකරණ ඇමැති සමග කරු කතාබහක

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. හිටපු කතානායක කරු ජනාධිපතිවරයා සමග මෙන්ම අධිකරණ අමාත්‍යවරයා සමග වාර ගණනාවක්ම කතාකර තිබේ. එහිදී ජනාධිපතිවරයා මෙන්ම අධිකරණ අමාත්‍යවරයාද කරුට ස්ථිරසාරවම තහවුරු කර ඇත්තේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නට කටයුතු කරන බවය. ඒ සමග සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සංශෝධනය ඒකමතිකව සම්මත කර ගැනීමට පියවර ගන්නා ලෙසය.

 

 

ගජබා