ආණ්ඩුවේ නියෝජිතයන් එද්දී මන්ත්‍රීවරු හැංගිලා


 

අර්බුද, ගැටලු‍ රැසක් මැද අලු‍ත් අවුරුදු උත්සවය අවසන් විය. වෙනදා අලු‍ත් අවුරුද්ද ඉහළින්ම සමරන නමුත් මෙවර අලු‍ත් අවුරුද්ද නමට පමණක් සමරන්නට බොහෝදෙනාට සිදුවූයේ රට වැටී ඇති ආර්ථික අර්බුදය හේතුවෙනි. අවුරුදු දින දෙකේ පවා බොහෝ දෙනා හිටියේ ඉන්ධන පෝලිම් වල ය. නැත්නම් ගෑස් පෝලිම් වලය. තවත් පිරිසක් ගාලුමුව​ෙදාර අරගලයේ ය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලු‍ත් අවුරුද්දේ සිටියේ කොටුව ජනාධිපති මන්දිරයේ ය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙක් ජනාධිපතිවරයා හමුවන්නට 14 වැනිදා උදේ වරුවම වෙන්කර තිබිණි. ඒ අනුව, මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරයට 14 වැනි දා පෙරවරුවේ පැමිණ ජනාධිපතිවරයා හමුවී සුබපැතූහ. මහින්දානන්ද අලු‍ත්ගමගේ හිටපු ඇමතිවරයා ආණ්ඩුව බේරා ගැනීමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින්නෙකි. ඔහු 14 වැනිදා උදේ වරුවේම ජනාධිපති මන්දිරයට වී සිටියේය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ද ජනාධිපතිවරයා හමුවන්නට ජනාධිපති මන්දිරයට පැමිණියහ. ලලිත් එල්ලාවල ජගත් කුමාර ඇතුළු මන්ත්‍රීවරු ද ජනාධිපතිවරයා එදින හමුවී නව වසරට සුබ පැතූහ.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි තංගල්ලේ කාල්ටන් නිවසට වී අලු‍ත් අවුරුද්ද සැමරුවේ ය. වෙනදා මෙන් මහ ඉහළින් අලු‍ත් අවුරුද්ද සැමරුවේ නැති වුවද අගමැතිවරයා බලන්නටද, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව, ප්‍රදේශයේ බොහෝ දෙනෙකු පැමිණ සිටීම විශේෂත්වයක් විය.

 

කැබිනට් මණ්ඩලයට අලු‍ත් මුහුණු

 

 

අවුරුදු නිවාඩුව පසු වුවද ආණ්ඩුවේ අර්බුදය ද තවමත් විසඳෙන පාටක් පෙනෙන්නට නැත. ඉකුත් හතරවැනිදා ඉවත් වූ කැබිනට් මණ්ඩලය වෙනුවට තවමත් සම්පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කර නැත. ජනාධිපතිවරයා කියා ඇත්තේ අලු‍තින් මුහුණු කිහිපයක් දමා නව කැබිනට් මණ්ඩලයක් අද හෙටම පත් කරන බව ය. මේ තත්ත්වය තුළ හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙකුටම මෙවර තනතුරු අහිමි වීමේ අවදානමක් පවතී.


මේ අතර, ජනාධිපතිවරයා ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඉකුත් සිකුරාදා පස්වරුවේ ජනාධිපති මන්දිරට කැඳවා ඇතැයි වාර්තා විය.

 

ආණ්ඩුව ශ්‍රීලනිපයට කොකා පෙන්නයි

 

ආණ්ඩුව හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවැති හොඳ හිත ද මේ වන විට අවසන් වී ඇත්තේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය හේතුවෙනි. රට වැටීතිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කිරීමට හවුල් පක්ෂ කළ යෝජනාව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඉකුත් ඉරිදා රාත්‍රියේ හවුල් පක්ෂවල නියෝජිතයින් අරලියගහ මන්දිරයට කැඳවීය. 


සාකච්ඡාවට යාමට පෙර හවුල් පක්ෂවල සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අතර හමුවීම් කිහිපයක්ද පැවැත්විණි. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සිටින විද්වතුන් සමඟ පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වීය. ඊට ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාට අමතරව, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ධම්ම දිසානායක, ආචාර්ය චමිල ලියනගේ සහ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ. අනතුරුව එදින සවස 3ට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී හවුල් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු හමුවූහ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් දාහතර දෙනා ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, විජයදාස රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සහභාගී වූහ.


එහිදී කතාබහට ලක්වුණේ එදින රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙනි. ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් එක් දෙනාම ගොස් ජනාධිපතිවරයා කලින් හමුවී සාකච්ඡා කළ නිසා, එදින රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් 16 දෙනෙකු පමණක් සහභාගිවීමට එහිදී තීරණය විය. ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට සහ සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හා දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා විය. විශ්වාසභංග යෝජනාවට හා දෝෂාභියෝගයට එකඟ වන්නේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කර ඇති අන්තර්කාලීන යෝජනාවට සජබය එකඟ වන්නේ නම් පමණක් බවට ද ඔවුන්ගේ තීරණය විය.


 සාකච්ඡාව යන අතරේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකුගෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුණේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බවකි.


අනතුරුව තවත් සාකච්ඡාවක් පැවැත්වුණේ ස්වාධීන පක්ෂවල මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ය. ඊට සජිත්ට අමතරව රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද සහභාගි විය. සජිත් පාර්ශ්වයෙන් යෝජනා කළේ විශ්වාසභංග යෝජනාව සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අවශ්‍ය බවකි. අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව ගැන සජිත් නිශ්චිත තීන්දුවක් නොදුන්නේය.


මේ සාකච්ඡාවෙන් අනතුරුව හවුල් පක්ෂ වල පිරිස ජනාධිපතිවරයා හමුවන්නට ජනාධිපති මන්දිරයට ගියහ. කොටුව ජනාධිපති මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවට මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න, ටිරාන් අලස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී ඔවුන්ගේ මූලික ඉල්ලීම වී තිබුණේ අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරීමටත්, ඒ යටතේ අලු‍ත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටත් ය. 


අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ජාතික සභාවක් යටතේ සිදුකළ යුතු බවටද එම මන්ත්‍රීවරු කියා සිටියහ. එහෙත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළ නොකළේය. 19 සංශෝධනය යළි බලාත්මක කිරීම හා විසිවැනි සංශෝධන​ෙය් ඇතැම් කරුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟ වුව ද අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළේ නැත. ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.


ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවකින් තොරවය.


කෙසේ වුවද අඟහරුවාදා රාත්‍රී හතට නැවත හමු වී සාකච්ඡා කරන්නට තීරණය විය.

 

මහින්දට ඉල්ලා අස්වැන්නයි  ගම්මන්පිල හා විමල් කියති

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් සදුදා හැන්දෑවේ අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූයේ විශේෂ පණිවුඩයක් රැගෙන ය. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ අගමැතිවරයාට තාවකාලිකව තනතුරෙන් ඉවත් ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩකඩ සලසා දෙන ලෙසය. එය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් එක්දෙනාගේ යෝජනාවකි. එහෙත් අගමැතිවරයා ඊට එකඟතාව පළ කළේ නැත. ඔහු කියා සිටියේ මීට වඩා අර්බුද වලට තමා මුහුණ දී ඇති බව ය. එබැවින් මේ අර්බුදය විසඳා ගැනීමට හැකියාව ඇති බව අගමැතිවරයා කීවේය. විමල් සහ ගම්මන්පිල දෙදෙනා අගමැතිවරයා සමඟ ඊට එහා දෙයක් ගැන සාකච්ඡා කරන්නට ගියේ නැත.


මේ කතාබහ අතර අරුම පුදුම සිද්ධියක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන වූ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන එදිනම රාත්‍රියේ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමය. ආණ්ඩුව හා හවුල් පක්ෂ අතර එතෙක් ගොඩනැගෙමින් තිබූ එකගතාව කඩා බිඳ දමන්නට එය හේතු විය. ඒ අනුව හවුල් පක්ෂ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් ඉවත් වීමට තීරණය කළ අතර, අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද වර්ජනය කරන්නට තීන්දු විය. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාද ස්වාධීන කණ්ඩායම සමඟ එක්ව සිටිය ද ඔහු පසුගිය කාලය පුරාම ආණ්ඩුව සමඟ ඇයි හොඳයි කමින් සිටි බව ප්‍රකට රහසකි. ශාන්ත බණ්ඩාර යළි ගෙන්වා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමි මෙහෙවරක් කලේ මහින්දානන්ද අලු‍ත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන දෙදෙනා බව වාර්තා වේ.


මේ අතර, ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පිරිස නැවත ආණ්ඩුවට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ වී ඇත්තේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගයෙනි. ඒ සඳහා එස් බී දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ද එක් වී සිටින බව වාර්තා වේ.
හවුල් පක්ෂ නියෝජනය කරන අසංක නවරත්න මන්ත්‍රීවරයාට ද ගිය සතියේ ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඇරයුමක් ලැබුණේ ආණ්ඩුවට එක්වී ඇමැති ධුරයක් බාර ගන්නා ලෙසය. එම පණිවුඩය රැගෙන, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරු දෙදෙනා සහ පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා අසංක නවරත්නගේ කුරුණෑගල පිහිටි නිවස බලා දහතුන් වැනිදා අලු‍යම දෙක පමණ විට පිටත්ව ගියහ. අසංක ගේ නිවස ඔවුන් නොදැන සිටි අතර, ඒ සඳහා විස්තර ලබාගෙන ඇත්තේ පොලිසියෙනි. ඔහුගේ නිවසට යන විට රෑ දෙක පමණ වී තිබිණි. එහෙත් අසංක නිවසේ නොසිටියේය. අනතුරුව පිරිස අසංකගෙ මවගේ නිවසට ගොස් ඔහු ගැන තොරතුරු විමසා සිටි අතර ඇයගේ මාර්ගයෙන් ඔවුහු අසංක සම්බන්ධ කරගත්හ. ඒ අනුව දැනගන්නට ලැබුණේ අසංක මේ වන විට සිටින්නේ වෙනත් නිවසක බවය. පිරිස ඔහුගේ නිවෙස සොයා ගිය අතර, එහිදී ඔවුන් කියා තිබුණේ ආණ්ඩුව වැටෙන්නේ නැති බවය. එබැවින් ආණ්ඩුවට පැමිණ තනතුරක් බාරගන්නැයි ඔවුන් ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති අතර, අසංක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා තිබුණේ ආණ්ඩුවට එක් වීමේ සූදානමක් නොමැති බවය. අසංක ආණ්ඩුවට එක් කර ගැනීමට කුරුණෑගලට ගිය පිරිස හිස් අතින්ම කොළඹ බලා පිටත්ව ආහ.


මෙහෙයුම එතනින් නතර නොවීය. ආණ්ඩුවේ පාර්ශ්වය විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂය නියෝජනය කරන උද්දික ප්‍රේමරත්න සහ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරුන්ටද දුරකථනයෙන් කතා කළේය. බුද්ධිකට කියා තිබුණේ සංස්කෘතික ඇමැතිකම භාරගන්නා ලෙසය. එහෙත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාට ද කතා කර තිබිණි. ඔහුට පසු දින පැමිණ ඇමති ධූරයේ දිවුරුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා තිබූ අතර, ජනාධිපතිවරයාද ඔහුට ඇමතුමක් ගෙන තිබූ බව වාර්තා විය. කෙසේ වුව ද ජගත් ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා විය.


මේ අතර නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසකට ද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දුරකථන ඇමතුම් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවට එක්ව ඇමැතිධුර ලබා ගන්නා ලෙසය. නිමල් සිරිපාල ඇමැතිවරයාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදීමට ද යෝජනා වී ඇත. එසේ නමුත් ඔවුන් කිසිවකුත් ඒ සඳහා කැමැත්ත පළ කර නැති බව ද වාර්තා විය.


එසේ වුවද මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම තවමත් අවසන් නැත. හවුල් පක්ෂ වල නියෝජිතයන්ට ද දිගින් දිගටම කතා කරමින් ඔවුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.


මේ අතර, නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව අද හෙටම කැබිනට් මණ්ඩලය පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. ජනාධිපති වරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇත්තේ, ඇමතිවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බැවින්, අලු‍ත් මුහුණු කිහිපයක් ඒ සඳහා පත්කර ගත යුතු බව ය. ආණ්ඩුවේ කලින් සිටි ඇමැති ධුර හෙබවූ කිහිප දෙනකුට ඇමැති ධූර නොදීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇතත්,එම පිරිසට ඇමති ධුර අවශ්‍ය බව අගමැතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වී ඇතැයි දැනගන්නට ඇත.


ඔවුන් කිහිප දෙනෙකුට අමාත්‍යධුර නොදී තරුණ කිහිප දෙනෙකු කැබිනට් මණ්ඩලයට එක්වනු ඇතැයි දැනගන්නට ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හිටපු කැබිනට් ඇමතිවරුන් සිකුරාද හැන්දෑවේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා ඇති බව ද වාර්තා විය.


ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ගාලු‍මෝදර පිටියෙන් ආරම්භ වූ විරෝධතාවට අදට දින 8කි. එම විරෝධතා මෙතරම් දුරට ඇදෙනු ඇතැයි ආණ්ඩුව ද විශ්වාස නොකළ නමුත්, විවිධ පිරිස් එකතුවීමෙන් අරගලය දිගටම යන බවක් පෙනෙන්නට තිබේ. මේ අතර ආණ්ඩුවේ ද ඇතැම් මැති ඇමැතිවරුන් සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන් ද වරින් වර හොර රහසේ ගොස් මෙම විරෝධතාව දැකබලා ගෙන පැමිණි බවට ද වාර්තා විය. ඔවුන් වාහනවලින් ගොස් වාහනයටම වී සිට සිද්ධිය බලා නැවත පිටත්ව ආ බව දැනගන්නට ඇත.

 

සජබ ඓතිහාසික  වාර්තාවකට සැරසෙයි

 

ආණ්ඩුව මේ වන විටත් අර්බුදයේ කරවටක් ගිලී සිටී. එක් අතකින් ආණ්ඩුවට එරෙහිව ජන අරගලය මහ පාරට පැමිණ ඇති අතර පාර්ලිමේන්තුව තුළ ද මොහොතින් මොහොත ආණ්ඩුවේ බලය හීන වෙමින් තිබේ.
මේ අතර විපක්ෂ​ෙය් ප්‍රධානම පක්ෂය වන සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කර ඇත.


‘‘ජනාධිපති රාජපක්ෂ ඇතුළු සියලු‍ම රාජපක්ෂවරුන් නැති වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි එකතුවෙනවා”‍  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


මේ අතර පාර්ලිමේන්තුව පැවති දිනට පෙර දිනයේ මන්ත්‍රී කණ්ඩායම හමු වූ සජිත් ඔවුන්ට උපදෙස් දුන්නේ ආණ්ඩුවට එරෙහිව වහාම දෝශාභියෝගයක් සහ විශ්වාසභංගයක් ගෙන එන ලෙසය. ඒ අනුව පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් සභාව අමතන අතරතුර හරින් සහ මනූෂ එක්ව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහ ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයට අත්සන් එකතු කරනු ලැබූහ.


‘‘මේ වෙලාවේ පාර්ලිමේන්තුව හරහා සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ගන්න ඕනෑ”‍ රාජිත කීවේය.
‘‘ඔව්, ඒ වගේම ආණ්ඩුව එලවන්නත් ඕනෑ. අපි එළියේ ජන මතය වටහාගන්න ඕනෑ”‍ හරින් කීවේය.
‘‘රාජපක්ෂලා එක්ක කිසිම සටන් විරාමයක් නෑ. මොකද ජනතාව එක හඩින් කියන්නේ රාජපක්ෂලා යන්න කියලා”‍ සරත් ෆොන්සේකා කීවේය.


‘‘අනිවාර්යයෙන්ම. ඒ වගේම මම කියනවා අපි ඉක්මනින්ම 20 අහෝසි කරලා 19 ආපහු ගෙනෙමු. සංශෝධනත් ගේමු”‍ සජිත් කීවේය.


‘‘මේ අර්බුදය වෙලාවේ නායකතුමා විපක්ෂ නායකයා හැටියට ඉතාම ප්‍රශස්ත විදිහට වැඩ කළා. ඒක රටම දන්නවා”‍ ​අශෝක් අබේසිංහ කීවේය.


‘‘ඒක හරි. මේ අරගලය වෙලාවේ සමහර දේශපාලන පක්ෂ කර ඇරියා. සමච්චල් කළා. නිවේදන පවා දැම්මා. ඔබතුමා මුල ඉඳලම එක ස්ථාවරයක හිටියා.”‍ ගයන්ත කීවේය.
‘‘සමහරු මේ අර්බුදය වෙලාවේ එක එක හීන දකිනවා. හැබැයි එදා ඉදලා ඔබතුමා කීව සේරම අද ඇත්ත වෙලා”‍ හේෂා කීවේය.


‘‘ආණ්ඩුවට විශ්වාසභංගයක්, ජනාධිපති ට දෝෂාභියෝගයක් එකවර ගෙනාව ඉතිහාසයක් නෑ. සජබ ඒ වාර්තාව තිබ්බා”‍  මහලේකම් රංජිත් කීවේය.


මේ අතර විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීම සජිත් මහලේකම් රංජිත් ඇතුලු‍ කණ්ඩායමකට භාර දුන්නේය. සජිත් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළේය.


‘‘රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරමු. විධායකය අහෝසි කරමු”‍ යැයි සජබ ප්‍රධාන සටන් පාඨය විය.
විපක්ෂ නායක සජිත් දෙහිඅත්තකණ්ඩියේ ගොවි රැලියට එක්වූයේ ඒ අතරය.


‘‘ජනතාවට වින කළ, රටට විනාශය රැගෙන ආ, රාජපක්ෂ පරපුරත්, රාජපක්ෂ ආණ්ඩුවත් ඒකාන්තවම ගෙදර යවනවා’’ සජිත් ප්‍රේමදාස එහිදී කීවේය.


සමගි ගොවි බලවේගය විසින් දෙහිඅත්තකණ්ඩිය නගරයේ සංවිධානය කර තිබූ ගොවි ජන රැළියට දහස් ගණනින් ජනතාව එක් ව සිටියහ.


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අත ඔසවා ඔබේ සහයෝගය ලබාදෙන්න යැයි සජිත් එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටි අතර රැලියට එක් ව සිටි ජනතාව දෑත් ඔසවමින් ඊට තම ප්‍රතිචාර දැක්වීය.

 

විදේශ දූතයන් කරු හමුවේ

 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට මෙන්ම එහි සභාපති කරු ජයසූරිය මහතාටද ගෙවුණ සතිය අනෙකුත් කාලයන්හිදී මෙන්ම කාර්යබහුල විය. රටේ පවත්නා අර්බුදය පිළිබඳව මෙන්ම එහිදී ගතයුතුව ඇති මත පිළිබඳව කෙරෙන අවධානය තුළ විවිධ පාර්ශ්ව කරු සමඟ අදහස් හුවමාරු කරගැනීමට බලවත් උනන්දුවක් දැක්වීය. ඒ අනුව අලුත් අවුරුද්දේ ඇරඹුමට ආසන්න වූ පසුගිය 12 වැනිදා සිවිල් සමාජ කණ්ඩායම් රැසක් කරු සමඟ පුළුල් සාකච්ඡාවක නිරත විය.


එයට අමතරව රටේ දේශපාලන පක්ෂ ගණනාවකම නායකයන් හා නියෝජිතයන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගන්නා ලදී. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිසක් කිරුළපන පිහිටි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කාර්යාලයටම පැමිණ සාකච්ඡාවක නිරත වූහ. එයට අමතරව විදේශ තානාපති කාර්යාලද කරු සමඟ අදහස් හුවමාරු කරගැනීමට බලවත් උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට තිබිණ. පසුගිය සතිය තුළ දී පමණක් විදේශ රටවල් 7 කට අයත් දූත මණ්ඩල සාමාජිකයන් කරු හමුවිය. ඔවුන් සියල්ලන්ම උනන්දුවක් දක්වන ලද්දේ මේ අර්බුදය හමුවේ කරු සතු වැදගත් භූමිකාව පිළිබඳවය.

 

තරුණ අරගලය ගැන එජාප නායක කී කතාව

 

 

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින ගණනාවක් තිස්සේ පවතින විරෝධතාව හා විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට මහබැංකුව ගත් තීරණය ඉකුත් සතියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ලෙස සාකච්ඡාවට භාජනය විය.


එකදිගටම නිවාඩු දින කීපයක් පැවතුනත් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැස්වී පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළහ.


මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ පවතින ක්‍රමවේදය වෙනස් කළයුතු නම් එය ව්‍යවස්ථාව තුළින්ම කළයුතු බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ තරුණ පිරිස් සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ගැන ප්‍රශංසා කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පෙරැළියක් කිරීමටත් තරුණ පිරිස දේශපාලන පෙරැළියක් කිරීමටත් බලාපොරොත්තු වන බව මෙහිදී නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.


නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, විදේශ ණය නොගෙවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් රට බංකොලොත් බව අනාවරණය වූ බවය.


මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් කතාකර විශ්වාසභංග යෝජනාව පිළිබඳව ප්‍රකාශ කර සිටියේය. එම විශ්වාසභංග යෝජනාවට හා ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට දැන් අත්සන් ගනිමින් සිටින නිසා එයට අත්සන් තබන්නැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නොකළ රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේශපාලන කරුණු ගැන කතාබහක නිරත විය.

 

විශ්වාසභංගයට-දෝෂාභියෝගයට ජවිපෙ සහාය

වත්මන් රජය පෙරළීම සඳහා ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට හා විශ්වාසභංග යෝජනාවට සහාය දැක්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ​යෝජනාවට ජවිපෙ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සහාය පළ කළේය.


රජය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළත හා පාර්ලිමේන්තුවෙන් පිටත අරගලය පැවැත්වීමේ අවශ්‍යතාවද මෙහිදී නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.


පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉකුත් සතියේදී රැස්වී 17, 18 හා 19 දිනවල පැවැත්වෙන පාගමන පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට පක්ෂයේ තරුණ, ශිෂ්‍ය හා කලා සංවිධාන දායකත්වය දක්වන බව මෙහිදී අනාවරණය විය. එම උද්ඝෝෂණයට අවශ්‍ය බඩු බාහිරාදිය පිළිබඳව එම සංවිධාන දැනුම් දී ඇති බැවින් විදේශගත සාමාජිකයන් සමඟ සාකච්ඡා කර එම අවශ්‍යතා ලබාදෙන ලෙස බිමල් රත්නායක මහතාට බාර කෙරිණි.


පක්ෂයේ කලා සංගමයේ සංවිධායක ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා මෙහිදී අදහස් දක්වමින් උද්ඝෝෂණයේ යෙදී සිටින පිරිස දිරිමත් කිරීම සඳහා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් යෙදවීම පිළිබඳව යෝජනා කළේය.


මෙතෙක් ඇති නොවූ වෙනස්ම ආකාරයක අරගලයක් වන මෙය අඩපණ නොකර රඳවා ගතයුතු බවටද මෙහිදී සාකච්ඡා වීය. මීට අමතරව ජාතික විද්වත් සංගමයේ සාමාජිකයන් වූ මහාචාර්ය අනිල් ජයරත්න, මහාචාර්ය උපාලි පන්විලගේ, නීතිඥ උපුල් කුමාරගේ, හර්ෂ නානායක්කාර යන මහත්වරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයට සහභාගී වී ඇති බවටද ප්‍රකාශ විය.


‘‘ජන පීඩක රජය පන්නා දමව්’’ යන ​තේමාව යටතේ කළුතර සිට කොළඹ නගර ශාලා ප්‍රදේශය දක්වා පාගමනක් පැවැත්වීමට සංවිධානය කර ඇත. කළුතරින් 17 වැනිදා ආරම්භ කෙරෙන පා ගමන සංවිධාන කටයුතු නලින්ද ජයතිස්ස සහ ලාල් කාන්ත යන හිටපු මන්ත්‍රීවරුන්ටද, කොළඹ සංවිධාන කයුතු ලක්ෂ්මන් නිපුනාරච්චි, සුනිල් හඳුන්නෙත්ති හා විජිත හේරත් යන හිටපු මන්ත්‍රීවරුන්ට පැවරීමටද මෙහිදී තීරණය විය.
පා ගමන පළමු දින බේරුවල සිට වාද්දුව දක්වාද, දෙවැනි දිනයේ වාද්දුවේ සිට මොරටුව දක්වාද, තුන්වැනි දිනයේ මොරටුවේ සිට කොළඹ දක්වා ද පැවැත්වේ.


මෙහිදී පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා යෝජනා කළේ පක්ෂ පාට භේදයකින් තොරව සෑම දෙනාටම මෙම පාගමනට සහභාගී විය හැකි ලෙසට සංවිධානය විය යුතු බවයි. ඒ අනුව ‘‘පීපල්ස් මාච්’’ යනුවෙන් නම් කරනු ලබන පාගමන සඳහා පක්ෂයේ ලාංඡනය හා පක්ෂයේ නම නොමැතිව පැවැත්වීමටද තීරණය කරනු ලැබිණි.

 

 

-ගජබා-