අයි එම් එෆ් උදව්වට එද්දීත් ආණ්ඩුවේ හා විපක්ෂයේ මත ගැටුම්


සර්වපාක්ෂික ආණ්ඩුවේ ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීම තවදුරටත් කල්යන බවක් පෙනෙන්නට තිබේ. ඒ වෙනුවට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (05) දිනයේ දී බොහෝ දුරට සිදුවීමට නියමිතය. දැනගන්නට ඇති පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීම ප්‍රමාද වී ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යවා ඇති නම් අතර ඇති කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ඇතිව තිබෙන විරෝධය බව පැවසේ. මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් පොහොට්ටුවෙන් යවා ඇති බව දැන ගන්නට තිබේ. කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

මේ වසරේ ඉදිරි මාස 4 සඳහා වන අතුරු අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැය ඉදිරිපත් කළ ඉකුත් අඟහරුවාදා හවස්වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද පාර්ලිමේන්තුවේ කමිටු අංක එකේ දී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩු පක්ෂ රැස්වීමට විශේෂ අමුත්තෙක් ද කැඳවනු ලැබ සිටියේය. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. ජනාධිපතිවරයා අය-වැය සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළේය. අයවැය ගැන දීර්ඝ විස්තරයක් කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි. අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ගැටලු‍ ආදිය සම්බන්ධයෙන් ද විස්තර කරන්නට අවස්ථාව ලැබිණි. ආණ්ඩුපක්ෂ රැස්වීම තරමක් උණුසුම් වූයේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා යවා තිබූ ලිපියක් හේතුවෙනි. ඉන් කියා තිබුණේ මන්ත්‍රීවරුන්ගේ බල ප්‍රදේශවල පාරවල් අලු‍ත්වැඩියා කිරීමට තිබේනම්, නම් කර එවන ලෙසය. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රී වරයා විමසා සිටියේ පාරවල් හදපු කොන්ත්‍රාත්කරුවන්ට තාම මුදල් ගෙවා නැති තත්ත්වයක් තුළ අලු‍තින් පාරවල් හදන්නේ කොහොමද කියාය. ඔහු කීවේ ඒවාට මුදල් නොගෙවීම නිසා මන්ත්‍රීවරුන් ද අපහසුතාවට පත්වන බවය. බන්දුල ඒ ගැන පැහැදිලි කිරීමක් කළේය. ඔහු කීවේ තමා කී දේ වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය. මම කිව්වේ අලු‍තින් පාරවල් නම් කරන්න කියලා නෙමේ. නතර වෙලා තියෙන ඒවා විස්තර දෙන්න කියලා, බන්දුල කීවේය. ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා කීවේ කලවානේ පාරවල් බාගෙට හදලා දැන් අසනීප කාරයෙක් වත් රෝහලකට ගෙනියන්න විදියක් නෑ කියාය. පවිත්‍රා ද වක්කුඹුර ගේ අදහස අනුමත කළාය. ඇය කීවේ ජානක කියන කතාව ඇත්ත බවය. ප්‍රාදේශීය සභා වලින් කරපු වැඩවලට ද තවම සල්ලි ගෙවන්න ඇති බව ඇය කීවාය. අනතුරුව ඩී.බී. හේරත් කතා කළේය. ඔහු කීවේ අලු‍තින් සහනාධාර දෙන්න අයවැයෙන් යෝජනා කරල තියෙනවා. ඒක හොඳයි. ඒත් සහනාධාර දෙන්නෙ කොහොමද? තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඔහු කීවේය. ජගත් කුමාර මන්ත්‍රීවරයා කතා කරමින් 2002 සුභසාධන පනත ගෙනෙද්දී විරුද්ධ වූ හේතුව ගැන පැහැදිලි කළේය. වැරදි තොරතුරු දී සහනාධාර ගත්තොත් මාස හයකට හිරේ යන්න පුළුවන් කියලා ඒ පනතේ තිබුණා. අපි ඒකට විරුද්ධ වුණේ. සහනාධාර දෙනවට විරුද්ධ නෑ ජගත් කීවේය. ජනාධිපතිවරයා කීවේ’’ සහනාධාර දෙන්න තෝරනකොට හරියට තෝරන්න වැරදි තොරතුරු දුන්නොත් තමයි හිරේ යන්න වෙන්නේ’’ කියාය.
මේ අතර පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් සඳහා වැඩ මුළුවක් ගිය බදාදා පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.මේ සඳහා විශේෂ අමුත්තකු ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ සිටියේය. ”‍පහුගිය අවුරුදු දෙකේ ඩොලර් බිලියන 12 ක් ණය ගෙවල තියනවා ‘‘ණය අරන් ණය ගෙවපු එක වැරදි තීන්දුවක්. ණය අරන් ණය ගෙවීමත් එක්ක ආර්ථිකය සම්පූර්ණයෙන් හිර වුණා’’ යැයි අධිපතිවරයා කීවේය. ඡන්ද කාලවල දී සහන දෙන්න දේශපාලන පක්ෂ තීන්දු ගන්නවා. ඊට වඩා බුද්ධිමත්ව තීන්දු ගන්න ඕන කියලයි මම කියන්නෙ”‍ මහ බැංකු අධිපතිවරයා කීවේය. පහුගිය කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය නොගත්තේ ඇයි දැයි සරත් වීරසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා කීවේ ඒ වෙලාවේ හිටපු අධිපතිවරය යි මුදල් මණ්ඩලයයි තීන්දු ගන්න ඇත්තේ ණය නොගෙන ඉස්සරහට යන අදහසක ඉඳලයි කියාය. ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඔබතුමා කිව්වට පහුගිය කාලේ ආර්ථිකය සම්බන්ධයෙන් හරි අදහස් ඉදිරිපත් කළේ නෑ කියලා, අපි ඔය ගැන දිගින් දිගටම කිව්වා. ඒත් ඇහුවෙ නෑ. යැයි හර්ෂ ද සිල්වා කීවේය. හර්ෂ ද සිල්වාගේ අදහසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ‘‘දැන් මෙතන දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ, ඕවා හැමෝම දන්නවා. ඒ නිසා ඔයා දේශපාලනය ගැන කතා කරන්න එන්න එපා යැයි කියමින් ආණ්ඩු පක්ෂයේ අය විරෝධය පළ කරන්නට වූහ. හර්ෂ ද සිල්වා සභාවෙන් පිටව ගියේ ඔයගොල්ලෝ කරගෙන යන්න කෝ එහෙනම්’’ කියාය. හර්ෂ පිටව යද්දී මහින්දානන්ද කීවේ ‘ඔයා ලොක්කා වෙන්න එපා’ යනුවෙනි.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ද බදාදා පැවැත්විණි. විපක්ෂයට ගොස් සිටින ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට වේලාව ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කිව්වේ. ඒ ගොල්ලො දැන් විපක්ෂයේ නිසා විපක්ෂය කට්ටිය එයාලට වෙලාව දෙන්න ඕන. අපෙන් දෙන්න බෑ කියාය. පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එකපාරටම ඒක කරන්න අමාරුයි. අපි ප්‍රොබේෂන් පීරියඩ් එකක් දෙන්න ඕනෑ කියාය.


ඩලස්ලා විපක්ෂයට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු කණ්ඩායම බදාදා විපක්ෂයට ගියහ. ඔවුහු ආණ්ඩුව සමඟ නොසිටිය ද පහුගිය කාලයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටියහ. විපක්ෂයට යාම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම ඔවුන්ගේ කණ්ඩායම තුළ පසුගිය සතියේ පැවැත්විණි. ඒ පිළිබඳ අවසන් සාකච්ඡා පැවැත්වුණේ අඟහරුවාදා රාත්‍රී මහාචාර්ය ජී.එල් පිරිස් ඇමතිවරයාගේ නාරාහේන්පිට පිහිටි නිවසේය. මන්ත්‍රීවරු දහතුන් දෙනාම එක්ව සිටියහ. දේශපාලන ආදර්ශයක් පෙන්විය යුතු බව ඩලස් කීවේය. දේශපාලන සදාචාරය ආරක්ෂා කරන්න ඕන. සාකච්ඡා කරලා වැඩි දෙනෙක්ගේ අදහස ක්‍රියාත්මක කරන්න ඕනෑ යැයි ඩලස් කියද්දී ඩිලාන් පෙරේරා කීවේ අපේ පක්ෂයේ තිබූ ලොකුම දුර්වලකම තමයි පක්ෂයේ ප්‍රධාන තොරතුරු කීපයක් ඇරෙන්න මධ්‍යම කාරක සභාවක් විධායක සභාවක් රැස්වෙලා තීරණ ගැනීමක් ගැන කවදාවත් අහන්න ලැබිල නැහැ යනුවෙනි.
එදින තීරණය කරගත් පරිදි ඩලස්ලාගේ කණ්ඩායම බදාදා උදේ විපක්ෂයට ගියේය. විපක්ෂයට යාමට පෙර මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයා විපක්ෂයට යාම සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ඔහු කීවේ පොහොට්ටුව කටයුතු කරන්නේ ජනමතයට විරුද්ධව බවය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයත් එළියේ ජනමතයක් අතර කිසිදු ගැලපීමක් නැති බව ඔහු කීවේය.
මේ අතර ඩලස්, ජී.එල් කණ්ඩායමේ නව කාර්යාලයක් ඉකුත් සිකුරාදා උදේ නාවලදී විවෘත කෙරිණි. මන්ත්‍රීවරු දහතුන් දෙනාම සහභාගි වී පක්ෂ කාර්යාලය විවෘත කළ අතර, අනතුරුව මාධ්‍ය හමුවකට ද එක් වූහ.


ශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනයට නිමල් සිරිපාලලාගෙන් විරෝධය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71වැනි සංවත්සරය ඉකුත් සිකුරාදා හවස පැවැත්වුණේ මහරගම යොවුන් රඟහලේ දී ය. පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද නියමිතව තිබූ අතර න්‍යාය පත්‍රය සහ ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව කලින් දින හැන්දෑවෙ පක්ෂ මූලස්ථානයේ දී රැස් විය.ඒ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩුවට ගොස් සිටින නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු පිරිස මෙන්ම, ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර ශාන් විජයලාල් ඇතුළු මන්ත්‍රීවරු දහතුන් දෙනාම ඊට සහභාගි වූහ. පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් 6 දෙනෙක් විරුද්ධව අදහස් දැක්වූහ. ඒ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක යන හය දෙනාය. නිමල් සිරිපාල කීවේ ව්‍යවස්ථා සංශෝධනය හරහා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බවය. මෙය සම්මත වුවහොත් නායකයන්ගේ කුක්කන් වෙන්නට සිදුවන බව ඔහු කීවේය. අමරවීර ද විරෝධය පළ කර ඇති අතර, දුමින්ද දිසානායක ද පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවේචනය කළේය. ඔහු කීවේ මේ සහභාගි වන්නේ අන්තිම මධ්‍යම කාරක සභා රැස්වීම වෙන්නත් පුළුවන් කියාය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ පක්ෂ නායකයාගේ බලතල ශක්තිමත් නොවීම පසුගිය කාලයේ තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බවය. මේ අතර දයාසිරි ජයසේකර ද පැහැදිලි කළේය. දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ආණ්ඩුවේ ඇමතිකම් නොගන්න පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තට පස්සේ කට්ටිය ගිහින් ඇමතිකම් ගන්නවා. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය. දයාසිරි කීවේය. ව්‍යවස්ථා සංශෝධනය සංවත්සරයට ඉදිරිපත් කරන්නට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබිණි. ජන්දය විමසන අවස්ථාවේ දී නිමල් ඇතුළු හය දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටිය අතර අනෙක් පිරිස ඡන්දය දුන්හ.
මේ අතර හවුල් පක්ෂ අටේ දේශපාලන සභාගය එළිදැක්වීමද අද පස්වරුවේ මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වේ. කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. නව සන්ධානය ව්‍යවස්ථාව සහ තනතුරු බෙදී යාම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදුවිය. නව දේශපාලන සභාගයේ සභාපති විමල් වීරවංශය. මහලේකම් වෛද්‍ය ජී. වීරසිංහය. උදය ගම්මන්පිල ජාතික සංවිධායකවරයාය, වාසුදේව නානායක්කාර භාණ්ඩාගාරිකය. අනෙක් පක්ෂවලට ද එහි ප්‍රධාන තනතුරු රැසක් හිමිවීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද දිස්ත්‍රික් මට්ටමින් නායකයන් කැඳවා නෙළුම් මාවත කාර්යාලයේ දී මේ දිනවල රැස්වීම් පවත්වයි.

 


එම රැස්වීම පැවැත්වෙන්නේ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්ච් ඇතුළු කණ්ඩායමකගේ සහභාගිත්වයෙනි. දවසකට දිස්ත්‍රික්ක දෙකක හෝ තුනක පිරිස් කැඳවා පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සිදුවිය. බදාදා හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නායකයන් කැඳවා තිබූ අතර, එම සාකච්ඡා දෙකටම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය. එහෙත් මේ කිසිදු සාකච්ඡාවකට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවීය.


අයිඑම්එෆ් නියෝජිතයින්ට  සජිත් කී දේ!


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන නියෝජිත පිරිසක් (30) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සජිත් හමුවිය.ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.


එය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡාවක් විය.
‘‘මේ වෙලාවේ අපේ රට පත්වෙලා තියෙන තත්ත්වය ඉතාම බැරෑරුම්. විශේෂයෙන්ම මේ රටේ දරුවන් වර්තමාන අර්බුදය හමුවේ විශාල පීඩනයකට ලක් වෙලා ඉන්නවා. යුනිසෙෆ් සංවිධානය මේ සම්බන්ධයෙන් බරපතළ වාර්තාවක් එළි දක්වලා තියෙනවා. අපි මේ වැටී තියන තත්ත්වයෙන් ගොඩ එන්න අවශ්‍යයි. එතනදී දේශපාලන මතවාද පැත්තකින් තියන්න අපි සූදානම්. මෙරට ගොඩනැඟීම වෙනුවෙන් ඔබේ සහයෝගය අපිට දෙන්න.”‍ සජිත් එම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.


‘‘ඇත්ත වශයෙන්ම නිසි වැඩපිළිවෙළක් ඔස්සේ මේ රටේ සංවර්ධන කටයුතු සහ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැටියට අපගේ සහයෝගය දෙන්න සූදානම්.”‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානී Peter Breuer පැවසීය.


‘‘ඇත්ත වශයෙන්ම මේ ගෙවෙමින් ඉන්නේ බොහොම අසීරු කාල සමයක්. විශේෂයෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය මේ වෙලාවේ වැදගත්. අනෙක් පැත්තෙන් ඉතාම බරපතළ පීඩාවකට පත් වෙලා ඉන්නේ සාමාන්‍ය ජනතාව. එ් නිසා සද්භාවයෙන් මේ කටයුත්ත වෙනුවෙන් ඔබේ සහයෝගය දෙන්න”‍ සජිත් ඉල්ලා සිටියේය.


‘‘ඇත්තටම අපි දිගින් දිගටම කරපු සාකච්ඡා සෑම සාර්ථක මට්ටමක තිබෙනවා. අපි හිතනවා සුබවාදී තත්ත්වයක් ඔබේ රට වෙනුවෙන් ඇති කරන්න අපට පුළුවන් වෙයි කියලා”‍ නියෝජිත පිරිස සජිත්ට කීවේය.
නියෝජ්‍ය ප්‍රධානි Masahiro Nozaki, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත Tubagus Feridhanusetyawan යන මහත්වරු සමග මේ සාකච්ඡාව පැවැත්විණි.
ඊට පසුදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයින් අතර පැවති සාකච්ඡා කිසියම් යහපත් තත්ත්වයකින් අවසන් වීම පිළිබඳව සජිත් බෙහෙවින් සතුටට පත්විය.
‘‘අපිට මතකයි යුද්ධෙ කාලෙ සමහරුන්ගේ හැසිරීම. ඒවා හරි ආත්මාර්ථකාමීයි. කැතයි.
අපිට එහෙම හැසිරෙන්න බැහැ. අපිට වැදගත් වන්නේ මේ රටේ මිනිස්සු.”‍
සජිත් සිය මන්ත්‍රීවරුන් සමග කීවේය.


ජනපතිගේ ආජි තපර ගීතයට සජිත්ගෙන් ධම්මපදයෙන් උත්තර!


සජිත් අය-වැය විවාදයේ දී කරනු ලැබූ කතාව පිළිබඳව බොහෝ දෙනා වඩාත් ප්‍රශංසාවෙන් කතා කරනු දක්නට ලැබුණි.


‘‘දැන් ගරු ජනාධිපතිතුමා පටන් අරගෙන තියෙන්නේ මෙන්න මෙහෙම. තුන්වෙනි පිටුවෙ ද කොහෙද තිබෙනවා ගින්දර රත්වෙන තුරු හැළියේ සතුටින් දිය කෙළින කකුළුවෝ... දැන් අපි බලමු කවුද මේ ගින්දර නිර්මාණය කළේ. ගින්දර රත්වෙන රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව ආණ්ඩුව. ඉතින් මන් දන්නෑ කවුද මේ කතාව ලියලා දුන්නේ කියලා ජනාධිපතිතුමාට. ගින්දර රත්වෙන, රත්වෙන ගෙදරක් මේ රටේ මහා ගිනි ජාලාවක් මහා ආර්ථික සමාජීය දේශපාලනික ගිනිකන්ද නිර්මාණය කළේ කවුද? රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටු ආණ්ඩුව. ගොවියා, ධීවරයා, කම්කරුවා දුප්පතා, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයා, ව්‍යවසායකත්වය, සංචාරක ක්ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය, අම්මලා, දරුවො, රාජ්‍ය සේවය මේ ගිනිකන්ද මේ ගින්දර රත් කළේ මේ වසර දෙක හමාරක තුනක දූෂිත පාලනය. එතුමා ඒ වගේම කියනවා සතුටින් දිය කෙළින කකුළුවෝ. කවුද සතුටෙන් දිය කෙළින කකුළුවෝ. මැයි නව වෙනිදා සාමකාමීව ක්‍රියාත්මක වුණු ප්‍රජාතන්ත්‍රවාදී පොදුජන ව්‍යාපාරයට අරලියගහ මන්දිරයේ ඉඳලා ම්ලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරපු රාජපක්ෂ හොර හවුල ඇයි සතුටින් දිය කෙළින කකුළුවෝ කියන්නේ? දැන් ඊයෙත් මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ පොහොට්ටුවේ සාමාජිකයෝ පොදුජන එක්සත් පෙරමුණේ කාර්යාලයේ ඉඳගෙන හිනහ වෙවී බොහොම සතුටින් ඉන්නවා. මුළු රටම වැලපෙනවා. ඒක ඇස් පෙනෙන බොහෝ දෙනෙක් ඒක ඊයෙ ප්‍රවෘත්ති දැක්කහම ඇති ඇස් පේනවා නම්, කන් ඇහෙනවනම් ඒවා අපිට ඇස්වලින් දැක්කා. කන්වලිනුත් ඇහුණා.”‍ සජිත් කීවේය.


එමෙන්ම සජිත් ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ආජි තපර ලාහිලා ගීතයට දුන්නේද අපූරු උත්තරයකි.
‘‘ගරු ජනාධිපතිතුමා කතාව අවසන් කරනකොට මන් දන්නෑ කවුරු මේ කතාව ලියලා දුන්න ද කියලා. මේකේ එතුමා කියනවා ආජි තපර ලාහිලා. එක තැන කැරකීම. අපි තනිකර ලෝකය දිව යන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මොකක්ද මේ වෙලා තියෙන්නෙ. මොකක්ද මේ එක තැන කැරකැවීම කියන්නේ? පොහොට්ටුව ජනාධිපති තුමාව එකතැන කරකෝනවා. ඒකයි මේ කියන්නේ. ඇයි? පොහොට්ටුවේ එවන නම් ලයිස්තුවට ඇමතිකම් නෑ. පොහොට්ටුවේ අසූවක් අත්සන් කරලා එවලා තියනවා අවුරුදු දෙකහමාර බෑ හතරහමාර කරන්න ඕනේ කියලා. ඉතිං ජනාධිපතිතුමාව පොහොට්ටුව එකතැන කරකනවා. ඊට පස්සේ එතුමා කියනවා අප තනිකර ලෝකය දිව යන්නේ. මම ජනාධිපතිතුමාට පුංචි අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. අපි තනිකර නෙමෙයි. ජනාධිපතිතුමාව තනි කරලා තමයි පොහොට්ටුව ඉදිරියට දිව යන්නේ.”‍
ඔහු කතාව අවසන් කළේ ධම්මපදයේ ගාථාවක් උපුටා දක්වමිනි.


කතානායකතුමනි අවසාන වශයෙන් මම කැමතියි අපේ ජනාධිපතිතුමා නම් කතාව අවසන් කලේ ආචි තපර ලාහිලා කියලා. මම කැමතියි ධම්මපදයෙන් මගේ කතාව අවසන් කරන්න.


‘‘පවට ලැජ්ජාවක් නැති, කපුටෙකු මෙන් අනුන්ව සූරා කන ගුණමකු හිතුවක්කාර කෙනෙක් ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන. දැන් අපේ රටේ කවුද කපුටො මෙන් ගසා කන්නේ, කවුද අනුන්ව සූරා කාලා ගුණමකු හැටියට කටයුතු කරන්නේ, කවුද සන්තෝසම් ලබාදීලා මේ 225 මුදලට ගන්නට කටයුතු කරන මහා හොර කප්පිත්තෝ ටික. ලාභ සත්කාර මධ්‍යයේ පහසුවෙන් ජීවත් වන්නේ කවුද?”‍


සජබ මන්ත්‍රී රැස්වීමට මහාචාර්යවරු කණ්ඩායමක්!

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.
එහි දී ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණේ ජනාධිපතිවරයාගේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවය.
ආර්ථිකය පිළිබඳව විශාල ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්යවරුන් කිහිප දෙනෙක්ම එම අවස්ථාවට කැඳවීමට සජිත් පියවර ගෙන තිබුණේය.


”‍අයවැය තත්ත්වය පිළිබඳව ඔබතුමන්ල ඇත්ත පැහැදිලි කරන්න”‍
සජිත් ඉල්ලා සිටියේය.


අයවැය පවතින අඩුපාඩු, එහි බරපතළ දෝෂ පිළිබඳව ඔවුන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
”‍මේ අයවැය මොන කාරණා තිබ්බත් ජනාධිපතිවරයාට මේ අයවැය සාර්ථක කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. පොහොට්ටුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සිරකරුවෙක් වෙලා ඉවරයි.”‍ හර්ෂ ද සිල්වා කීවේය.
‘‘අයවැය යෝජනාවලියේ සමහර කරුණු හොඳයි. අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු කීපයකුත් එතන තියෙනවා. හැබැයි මේවා ප්‍රායෝගික තලයට ගෙන එන්න එතුමාට කිසිසේත්ම පුළුවන් වෙන්නේ නැහැ.”‍ සජිත් කීවේය.


‘‘අපිට බැහැ අයවැයේදී කිසිම විදිහකට ආණ්ඩුවට සුදු හුණු ගාන්න. මොකද ජනාධිපතිවරයා සම්පූර්ණම පොහොට්ටුවේ වහලෙක්. එතුමා හදලා තියෙන්නේ අපේ ආණ්ඩුවක් නෙමේ. එතුමා හදලා තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක්. ඊළඟ මැතිවරණයේ දී එතුමාලා ඉදිරිපත් වෙන්නේ ඒකට. ඒ කියන්නේ ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවයි යූඑන්පී එකයි එකට තමයි තරග කරන්නේ.”‍ රෝහණ බණ්ඩාර කීවේය.
‘‘ඔව්, අයවැයේදී අපිට ආණ්ඩුව හුරතල් කරන්න බෑ. සර්වපාක්ෂික කතාවලට ආරාධනා කරන ගමන් ආණ්ඩුව කරන්නේ දේශපාලන මර්දනය. එහෙව් මර්දනයක් කරන ආණ්ඩුවකට එහෙයි කියන්න අපි ලෑස්ති නෑ.”‍ මුජිබර් රහුමාන් කීවේය.


මහා සම්මේලනයට එජාපය සැරසෙයි


කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අනිද්දා (6) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 76 වැනි සම්මේලනයේ සංවිධාන කටයුතු පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පැවරී තිබුණි. පසුගිය සතියේ වැඩි කාලයක් එම සම්මේලනයේ සංවිධාන කටයුතු සඳහා වැය කළ ඔහු පක්ෂයේ මධ්‍යම කාර්යාංශය සමග සාකච්ඡා කළේය. පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක ඇතුළු මධ්‍යම කාර්යාංශයේ නියෝජිතයන් හමුවූ රුවන් විජයවර්ධන මහතා සම්මේලනයේ වැඩ කටයුතු සංවිධානය කිරීම ගැන සාකච්ඡා කළේය.


වේදිකාව සැරසීම සඳහා එක්වෙමු යන තේමාව පිළිබිඹු වන ආකාරයට සැරසිලි කිරීම හා ආරාධිතයන්, රැස්වන පිරිස ගැනත් සුබසාධන කටයුතු, ආරක්ෂාව ආදී සියලු කටයුතු පිළිබඳව සාකච්ඡා කර තීරණවලට එළඹීමට රුවන් කටයුතු කළේය. මීට අමතරව සම්මේලනය පැවැත්වෙන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු රුවන් විජයවර්ධන මහතා එහි කාර්ය මණ්ඩලය සමග ද සාකච්ඡා කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි පාක්ෂිකයන්ගේ අවශ්‍යතා සඳහා ඉකුත් අඟහරුවාදා දිනය ගත කළ ඔහු පාක්ෂිකයන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට ​ වෙහෙස විය.


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සංවිධානය කර තිබූ උත්සවයකට රුවන් විජයවර්ධන මහතාට ද ආරාධනා කර තිබූ අතර ඔහු ඒ සඳහා ද සහභාගි විය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ආයෝජන සිතියම ජනගත කිරීම මෙහිදී සිදුවිය.


පාඩුලබන රාජ්‍ය ආයතන ගැන ජවිපෙ විමසුමක


පාඩු ලබන රාජ්‍ය ආයතන පාඩු ලැබීමට හේතු වූ කරුණු විමර්ශනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේදී තීරණය කළේය. ඒ සම්බන්ධයෙන් ආචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය ජනත් කුමාරසිංහ, ආචාර්ය දයානන්ද අම්බලංගොඩගේ, ආචාර්ය ශාන්ත ජයරත්න යන ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා කර වාර්තාවක් ලබාදෙන ලෙස හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට භාර දුන්නේය. මේ භාර කිරීම සිදු වූයේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.


අපේ රටේ පාඩු ලබන ආයතන මිලදී ගැනීම සිදු කරන්නේ චීනය හෝ ඉන්දියාව බව මෙහිදී පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා එම රටවල රාජ්‍ය ආයතන ලාභ ලබන බව පෙන්වා දුන්නේය. මෙරට පාඩු ලබන ආයතන එම පාඩු ලැබීමට හේතුව දේශපාලන බලපෑම්, වංචා, දූෂණ, අක්‍රමවත් පාලනය යන හේතු නිසාද යන්න පිළිබඳව කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතාට පැවරුවේය. මේ අතර රටේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ​මේ මස මැද සිට ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කර ඇත.


තරුණ කණ්ඩායම් මර්දනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නීතිඥ සුනිල් වටගල මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මාතෘකා කීපයක් ඔස්සේ කරුණු පැහැදිලි කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා අයවැය යෝජනාවලිය රටේ ආර්ථිකය, ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ආර්ථික අපහසුතා ආදී කරුණු ගණනාවක් මූලික කර ගනිමින් ඔහු කතා කළේය.


මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා ඇදි ඇදී යන බවය. දූෂණ තුරන් කරන ලෙසටත්, රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරන ලෙසටත් ඔවුන් ඉල්ලා තිබෙන බවද ඔහු කීවේය. මෙවර අයවැය ලේඛනයේ වැඩි වශයෙන් සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්​දේසි ක්‍රියාත්මක කළ හැකි ආකාරයට බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.


තානාපති කාර්යාල ගණනාවකින් රටේ දේශපාලන තත්ත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම යන මාතෘකා යටතේ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ සම්බන්ධයෙන් දින වෙන්කර ගෙන සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය විය.
බැංකු පොලිය වැඩිවීම නිසා රජයේ විශ්‍රාමික සේවකයන් අසීරුවට පත්වී ඇති ආකාරය පිළිබඳව ඔවුන්ගේ වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ට කරුණු පෙන්වා දී තිබුණි.


ජාතික ජනබල​වේගයේ මෙහෙයවීමෙන් ආසන සමුළු මේ මස 25 වැනිදා අකුරැස්සේදී පැවැත්වීමටද ගිය සතියේදී තීරණය කරනු ලැබීය.


කරුගෙන් ආයාචනයක් 


මුහුණ දී ඇති දැවැන්ත අර්බුදය තේරුම් ගෙන ඉන් රට මුදා ගැනීමට නම් අවුරුද්දක කාලයකට හෝ සමගියෙන් කටයුතු කරන ලෙස කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වෙතින් නැවත වතාවක් ආයාචනය කර තිබේ. කරු එකී ආයාචනය මෙවර සිදුකර ඇත්තේ පසුගිය සති අන්තයේ රත්නපුරයේ දී පැවැති මහජන සංවාදයකදීය.

 

 

ගජබා