ජීවිතේ කවදාවත්ම අමතක නොවන පාඩමක් ආරක්ෂක නිලධාරියකුගෙන් ඉගෙන ගත් ගුරුවරියන් දෙතුන් දෙනෙකු පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.
මේ විදුහලේ සෞන්දර්ය ඒකකය පවත්වාගෙන ගියේ වෙනම ගොඩනැගිල්ලකය. එය තට්ටු කිහිපයකින් සමන්විතය. සංගීතය වැනි සෞන්දර්ය විෂයන් ඉගැන් වුණේ ඉහළ මාලවලය. ඒ නිසා එම විෂයයන් උගන් වන ගුරුවරියන් වැඩියෙන්ම ගැවසුණේ ද එම මහල වලය.
එදා සිකුරාදා දිනයකි. එදින පාසල් කාලය අහවරය. ගුරුන්, සිසුන් ඇතුලු සියලු දෙනාම නිවෙස් කරා ගොසිනි. ආරක්ෂක නිලධාරියා පාසල වටා රවුමක් ගියේ අමතකවීමකින් නොවසා ගිය පන්ති කාමර සහ ගොඩනැගිලි වසා දැමීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහලේ සෞන්දර්ය ඒකකයට ඇතුළුවීමට තිබූ පළමු මහලේ දොර වසා නොතිබිණි. යතුර ද දොර කටේය. එය දුටු ආරක්ෂක නිලධාරියා එදින එය භාවිත කළ ගුරුවරුන්ට හා සිසුන්ට සිතෙන් බැන බැන එහි දොර වසා දමා යතුර සිය ආරක්ෂක නිලධාරී කුටියට ගෙන ගියේය. සිය දවසේ රාජකාරිය නිම කළ ආරක්ෂක නිලධාරියා දවාලට කෑම කා විවේකයෙන් සිටියේය.
එදා එම විදුහලේ සෞන්දර්ය ඒකකයේ ගුරුවරියන් කිහිප දෙනෙකු සෞන්දර්ය ඒකකයේ උඩ මහලවල විනාඩි කිහිපයක් රැඳී සිටියේ අවශ්‍යතාවන්ටය. එම කාර්යයන් නිමවී ඔවුන් පහත මාලයට පැමිණියේ නිවෙස් කරා යාමටය. ඔවුන්ට දෙවියන් බුදුන් සිහිවූයේ පළමු මහලයේ දොර වසා දමා දොරේ යතුරත් රැගෙන ගොස් ඇති අයුරු දැකීමෙනි.
කරන්නට කිසිම දෙයක් නැත. ආරක්ෂක නිලධාරියා පේනතෙක් මානයේ නැත. මේ ගුරුවරියන් පිරිස ආරක්ෂක නිලධාරියාට මහ හයියෙන් කතා කළහ. විදුහලේ ප්‍රධාන ගේට්ටුවේ කුටියේ ඉන්න ආරක්ෂක නිලධාරියාට ඔවුනගේ ඒ හඩ ප්‍රමාණවත් නොවීය. ඒ එක්කම ගුරුවරියන්ගේ හිස් ගිනි ගෙන තිබිණි. දැන් මෙතනින් යන හැටි කුස ගින්නේ සිටි ඔවුහු කල්පනා කළහ.
එක ගුරුවරියක් ළග තිබූ ජංගම දුරකතනයෙන් හතර වටේටම කතා කළේ ආරක්ෂක නිලධාරියාට තමන් සිටි නිවාස අඩස්සියෙන් මුදවා ගැනීමටය. මේ ක්‍රියාන්විතයට බොහෝ වෙලාවක් ගතවී තිබිණ. යම් හෙයකින් මේ පිරිස ළඟ ජංගම දුරකතනයක් නොතිබුණේ නම් හෝ තිබුණු ජංගම දුරකතනවල බැටරි බැස තිබුණේ නම් මේ අයට සෞන්දර්ය ඒකක නිවාස අඩස්සියෙන් නිදහස් වන්නට වන්නේ සඳුදා උදේය. එසේ වූවානම් මේ සිද්ධිය වාර්තා වනුයේ මොන ආකාරයකින් දැයි කිව නොහැකි බව මේ සිදුවීම දත් බොහෝ අය කීහ.
කරන්දෙණිය එම්.සුසිල් පියන්