කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
හතර පෝයටම සිල් සමාදන් වෙන ‘‘මසුරු සිටාණන්” කෙනකුගේ කපටි කයිරාටික ක්‍රියාවක් පිළිබඳ එම මසුරු සිටාණන්ගේ නැන්දම්මාගෙන් දැනගත් අපූරු පුවතක් රජරට පළාතේ එක්තරා ගමක ‘‘රහසක් නැති රහසක්” බවට පත් වී ඇතැයි දැනගැනීමට ලැබුණි.
සිද්ධිය මෙසේය.
උපන් ගෙයි ”කුණු ලෝබයෙකු” වූ අප කියන මේ මසුරු සිටාණෝ විවාහ වී සිටින්නේ එම ගමේ වැන්දඹු කාන්තාවකගේ දියණියක සමඟය. වැන්දඹු කාන්තාව වන ඔහුගේ නැන්දම්මා වයෝවෘද්ධ තැනැත්තියක වන අතර ඇයට සැමියාගෙන් උරුම වූ කුඹුරු අක්කර ගණනක් ඇත. එම කුඹුරු අඳේට දීමෙන් ඇයට සැලකිය යුතු ආදායමක් හිමිවේ. ඇය, ඇයගේ බාලම දියණිය සැමියා සහ දරුවන් සමඟ මහ ගෙදර ජීවත් වුවත්, ඇය උයා පිහා ගන්නේ වෙනමමය.
බෑනා සහ දුව නැන්දම්මාගේ නිවස ආසන්නයේ ඔවුන්ගේ නිවසක ජීවත් වෙති.
නැන්දම්මාත් හතර පෝයට සිල් සමාදන් වන උපාසිකාවක මෙන්ම, නොයෙකුත් දාන මාන ආදී පින්කම් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරන්නියකි. අප මුලින් සඳහන් කළ ‘උපන් ගෙයි කුණු ලෝබ බෑනාට’ ප්‍රදේශයේ සාර්ථක ව්‍යාපාරයක් ඇත. ඔහුට ආර්ථික අතින් කිසිදු අගහිඟකමක් නැති බවත්, ඔහු එම ප්‍රදේශයේ සිටින ජනප්‍රිය “මුදලාලි” කෙනෙකු බවත්, ප්‍රදේශවාසීහු කියති.
දිනක් වයෝවෘද්ධ නැන්දම්මා ගේ සුව දුක් බැලීම සඳහා ඇයගේ ඥාති දියණියක් ඇය හමුවීමට ගියාය. ඥාති දියණිය සමග ටික වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි නැන්දම්මා, කිසිවකුටත් නොකියන ලෙස රහසක් ඥාති දියණියගේ කනේ තැබුවාය.
“මම මැරුණ දවසක මගේ මළ ගෙදරට වියදම් කරන්න කියලා බෑනයි දුවයි මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා ගත්තා. මා ළඟ සල්ලි තිබුණොත් මම එක එක දේවල්වලට වියදම් කර ගන්නවාලු. කමක් නෑ දුවේ, මම සල්ලි දුන්නා. ඒගොල්ලො ළඟ ඕනවටත් වඩා සල්ලි තියෙනවා. ඒත් මගේ මරණෙට වියදම් කරන්න මගේම සල්ලි ගත්තා. ඕක ඔයා කාටවත් කියනව එහෙම නෙමෙයි ඕං”.
ඥාති දියණිය ඇගෙන් සමුගෙන ආවාය. ඇයට එම රහස ආරක්ෂා කර ගැනීමට ඇයගේ ‘‘ඇට නැති දිව” ඉඩ නොදුන් නිසා ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා කම්මුලට අත තබාගෙන ‘‘අනේ මෙහෙම ආසාවක්. අනේ මෙහෙම තණ්හාවක්.’’ යැයි කියනවා ලු.