(ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ නැදලගමුව)
තරමක් දේපොළ ඇති ගැමි සිරිත් විරිත් ඉතා ඉහළින් අගය කරන ගම ගෙදරකින් ගුණ යහපත් මනාලියක් කැන්දාගන ආවේ මංගල යෝජනාවකිනි.
මෙම මනාලිය නිවසේම හැදී වැඩුණු එතරම් අධ්‍යාපනයක් නොලද කාන්තාවකි. තාර පාරක් අයිනේම පිහිටි නිවසකට කැන්දාගන පැමිණි ඇය ගමක කෙළවරක නිවසටම වී සිටි කාන්තාවක් වූ නිසා පාරේ යන වාහන සෙනග බැලීමට කැමැත්තක් දැක්වූයේ එය ජීවිතේ වෙනසක් වූ හෙයිනි.
දිනක් පාරේ රථ පෙරහරකින් ගමන් ගත් මනාල යුවළක් දැක ගැනීමට පාර අද්දරට දිවගිය මෙම අලුත ගෙනා මනාලියට හරි ඇබැද්දියක් සිදුවිය.
ඇගේ සැමියා ඉතා සැර පරුෂ අයෙකි. තම බිරිඳ පාරේ ගමන් ගත් මේ මනාල යුවළ දෙස බැලීමට නිවස ඉදිරිපිටට යාම සැමියා නොරිස්සුවේය. ඔහු තම බිරිඳ නිවස තුළට ඒමත් සමගම ඇයට තඩි බාන්නට විය. බිරිඳගේ කෑගැසීමත් සමග නිවසේ සිටි නැන්දම්මා ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් මේ තඩිබෑම නැවැත්වීමට මැදට පැන්නද පලක් නොවීය. එතනින් නොනැවතුණ ඔහු කුලී මෝටර් රථයක් ගෙන්වා ගත්තේ බිරිඳගේ මවුපියන් ගෙන්වා තම බිරිඳ ඔවුන්ට බාර දීමටය.
ඇගේ මවුපියන්ගේ නිවසට ගිය කුලී මෝටර් රථය සහ තවත් අයෙකු විස්තරය කියා මවුපියන් කැටුව යාමට උත්සහ කළද ඔවුන් සැලකිය යුතු පවුලක් නිසා වෙනත් කුලී මෝටර් රථයක් ගෙන්වාගන මනාලයාගේ නිවසට පැමිණියහ.
විස්තරය සවිස්තරව අසාගත් මනාලියගේ දෙමාපියෝ මනාලයා සමග උරණ වී සිය දියණිය ආපසු රැගෙන යාමට සැරසුනහ. ලේලිය ආපසු රැගෙන යාම මහත් ව්‍යසනයකට අත වැනීමක් නිසා නැන්දම්මා ලේලියගේ මවුපියන්ට වැඳ වැටෙමින් ලේලිය රැගෙන නොයන්නැයි බැගෑපත් වූවාය. කොල්ල වහබොයි මේ කෙල්ලව ගෙනිච්චොත්. මේ ළමයව ගෙනියන්න එපා, මින් පසු එවැනි සිදු වීම් සිද්ධ නොවෙන්න වග බලාගන්නා බවට නැන්දම්මා සපත වූවාය.
බෑනාගේ මව යහපත් කාන්තාවක් වූ නිසාම දියණිය රැගෙන නොයාමට තීරණය කළ ඇගේ මවුපියන් පැමිණි මෝටර් රියෙන් නිවස බලා පිටත් වූයේ බෑනා ගැන නොසතුටෙනි.