කොල්ලන් බේරන්න රා මුට්ටිය හංගද්දී ගමේ හාමුදුරුවන්ට මාට්ටු


දකුණේ දුෂ්කර ගමකට ස්ථාන මාරු වී පැමිණි ගුරු මහතකු විදුහල් භූමියෙහි දමා ගොස් තිබූ බාගෙට හිස් වූ රාමුට්ටියක්  හා පොල් කටුවක්ද රැගෙන පැමිණෙන විට ගමේ විහාරස්ථානයේ නායක හිමියන්ගේ අතටම හසු වී නිරුත්තර වී මහත් අලකලංචියකට මුහුණ පෑ සිද්ධියක්  ගැන ගැමියෝ අදත් සිහිපත් කරමින් රස විඳිති.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.
මෙය දකුණේ පිටිසරබද ගමක් වූ අතර ප්‍රදේශයේ මිනිසුන් තමාගේ කුඹුරක් පිටියක් වැඩ කර ගනිමින් හා තේ දල්ලෙන් එන ආදායමින් ජීවත් වූ පිරිසක් වූහ.
ඔවුන් වැඩි දෙනා දවසෙහි වැඩ කටයුතු නිමා කර ඇඟේ පතේ වෙහෙස නිවෙන්නට කිතුල් රා වඩියක් ගැසීමට පුරුදු වී සිටි අතර කිතුල් රා හා කිතුල් පැණි සෑම නිවසකම වැරදුනේ නැත.
මෙම විදුහලට ස්ථාන මාරුවී පැමිණි ගුරු මහතකුට සුදුසු නවාතැනක් නොවීය. එබැවින් විදුහල්පතිවරයා තම නිවසේ සිට විදුහලට පැමිණි බැවින් ගුරු නිවස හිස්ව තිබූ අතර එහි නැවතීමට මෙම ගුරුවරයාට ඉඩ පහසුකම් ලැබිණි.


ඔහු තම කුඩා දියණිය හා බිරිඳ සමඟ ගමේ අයගේද ගෞරවයට පාත්‍ර වෙමින්, දරුවන්ට මැනවින් ඉගැන්වීමේ කටයුතු සිදු කළේය. දුම්පානයෙන් හා මත්පැන් වලින් තොර දැහැමි  ගුරුවරයකු වූ බැවින් ගැමියන් මෙන්ම  දරුවෝද මොහුට මහත්සේ ආදරය කළෝය.
දිනක් මහ රෑ ගමේ  කොලු කුරුට්ටන් එක්වී විදුහල අසල වත්තක කිතුල් ගසකට නැග පැසෙමින් තිබූ රාමුට්ටියක් හොරෙන් බාගෙන පාසලේ වත්තට රැගෙන විත්  එහි තබාගෙන ඇති පදමට සප්පායම් වී පොල් කටුව හා මුට්ටියේ ඉතිරි කොටස පාසල් වත්තේම දමා ගියේ පදමට සූර්වූ බැවිනි.
පසුදා උදේ  පාසල් වත්තට පැමිණෙන විටම මෙම ගුරුවරයා රාමුට්ටිය හා පොල්කටුව දැක මහත්සේ කලබල වී දරුවන් සහ අනෙක් ගුරුවරුන් විදුහලට පැමිණීමට පෙර එය සඟවා තබන්නට සිතා රා මුට්ටිය හා පොල්කටුව දෑතට රැගෙන වහ වහා ගුරු නිවස දෙසට පැමිණෙන විට ඉදිරියට හමුවූයේ හදිසි කටයුත්තක් සඳහා විදුහලට පැමිණෙන විහාරස්ථානයේ නායක හිමියන්ය.
දෙලොව රත්වූ මෙම ගුරුවරයා මල්ගසක් මුල රාමුට්ටිය හා පොල්කටුව  තැබුවද හිමිනම එය හොඳ හැටි දුටුවෙහිය. පසුව කිසිවක් නොවූවකු සේ ඉදිරියට පැමිණ නායක හිමියන්ට වැඳ නමස්කාර කළද ඒ වන විටත් හාමුදුරුවන්ගේ රතු කට්ට පැන තිබුණි.
මහත්මයා දරුවන්ට උගන්වන්නේ  මේවා දැයි හාමුදුරුවෝ විමසුවෝය. පසුව සත්‍ය සිද්ධිය මෙම හිමියන්ට ගුරුවරයා විසින් පැහැදිලි කර දුන්නද හාමුදුරුවන් කිතුල්ගහේ නැග්ග මිනිහාටත් උත්තරයක් තිබුණ කිව්වලු‍ නේදැයි පැවසූවේ මහත් වූ කලකිරීමෙනි.
කෙසේ වුවද පසුව විදුහල්පතිවරයා විසින් විහාරස්ථානයට ගොස් සත්‍ය සිද්ධිය පැහැදිලි කළ ද මෙම ගුරුවරයා එම විදුහලේ සේවය කරන තාක්කල් පන්සලට නොගිය බව අදත් ගැමියෝ පවසති.

 

රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන