මව්වරුන් පිරිසක් ඉදිරියේ සිය දියණියගේ නැති ගුණ කීමට ගොස් පොළොව පලා ගෙන යාමට තරම් වූ ලජ්ජාවකට මුහුණ දුන් තවත් අම්මා කෙනකු පිළිබද කතාවක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයක පෞද්ගලික උපකාර පන්තියකින් අසන්නට ලැබේ.
එය දෙතුන් සීයක් ඉගෙන ගන්නා පෞද්ගලික උපකාරක පන්තියකි. ඉගැන්නුවේ උසස් පෙළ විෂයකි.
මව්වරුන් පිරිසක් මේ පන්තිය අවට තක් ගැහී සිටියේ සිය දූවරුන් පන්තියෙන් රැගෙන යාමටය. මේ අතර ආගන්තුක මවක් ද වූවාය. වෙනදා දුව එක්ක යන පියාට එදා අත්‍යවශ්‍යම වැඩක් තිබූ නිසා මේ මව සිය දියණිය රැගෙන යාමට පැමිණ සිටියාය.
පන්තිය ඉවරවන තෙක් මේ මව්වරු අල්ලාප සල්ලාපයේ යෙදුණාහ. මාතෘකාව දියණියන්ගේ ඇඳුම කැඩුම ගැනය. ඒ මාතෘකාවට පාදකවීමට ආසන්නතම හේතුව වූයේ ඒ ආසන්නයෙන් ඉතාමත් කොට ගවුමක් හැඳ ගෙන ගිය දැරියකි.
අනේ අම්මපා දූලාට මේ වගේ ඇදුම් අන්දලා එවන අම්මලාටයි ගහන්න ඕනෑ යයි මේ කාන්තා සංගමයේ අය කීහ.
හැබෑවම තමයි ගහන්න ඕනෑ ඒ ළමයට නෙමෙයි අම්මට තමයි ආගන්තුක අම්මා ද කීවාය.
අපේ දරුවා අන්න ඒකට. අපේ දරුවට නම් හරි පිළිවෙළට ඇඳුම කැඩුම තියෙන්න ඕනෑ. මමත් එහෙම තමයි. දූට ඇඳුමක් අන්දවලා පාරට බස්සන්නේ මමත් බලලා. අනෙක එයාට ඔය විකාර ඇඳුම් අල්ලන්නෙත් නැහැ යයි ද මේ ආගන්තුක අම්මා සිය දියණිය ගැන කියවාගෙන කියවාගෙන ගියාය. ඒ එක්කම පන්තිය ඇරිණි.
ඉදිරියෙන්ම ආ දැරියගේ ඇඳුමට යළිත් මේ අම්මලාගේ නෙත් දිව ගියේ ඉබේටමය. අයියෝ අර බලන්න අර ළමයාගේ ඇඳුම ඉනේ ඉඳන් වියතක් නැහැ. මේ දරුවා මේ තරම් කොට ඇඳුමක් ඇඳගෙන කොහොම පන්තියේ වාඩි වුණාද මන්ද ඔවුහු කීහ.
ආගන්තුක අම්මාගේ මුහුණ ජම්බු ගෙඩියක් තරම් රතු වූයේ මේ කතාබහ යන අතරේය. ඉදිරියට එන දැරියගේ මුහුණ සිය මුහුණේ ගැටීම වළකාලීමට ආගන්තුක අම්මා වෙර දැරුවත් ඉදිරියට ආ දැරිය ‘‘පන්ති ඇරුණා යමු අම්මේ’’ කියා ඇගේ අතේ එල්ලුණාය. අනෙක් අම්මලාගේ දෙනෙත් හොල්මනක් දැක බයවූවාක් මෙන් තිබුණ ආගන්තුක මව අඩියට දෙකට එතැනින් මාරුවීයේ කිසිවකු දෙසවත් නොබලමිනි.
කරන්දෙණිය – එම්. සුසිල් පි්‍රයන්ත